Local news

රුපියල් 150ට ලක්ෂ 30ක දඩයක්

රුපියල් 150ට ලක්ෂ 30ක දඩයක්

පෞද්ගලික රසායනාගාරයකින් Full Blood Count (FBC) රුධිර පරීක්ෂාවක් සඳහා රුපියල් 550ක බැගින් අය කර ඇති බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ වැටලීමකදී අනාවරණය කරගෙන ඇත.

යාපනය, පලාලි පාර, කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනය විසින් එම පරීක්ෂාව සිදුකර ඇති අතර අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

අනතුරුව අධිකරණයේදී විත්තිකාර ආයතනය අදාළ චෝදනාවට වරද පිළිගැනීමෙන් පසුව අධිකරණය විසින් එම ආයතනයට රුපියල් ලක්ෂ 30ක, එනම් රුපියල් මිලියන 03ක දඩයක් නියම කර ඇත.

තවද, සිදුකරන ලද එම වරද සම්බන්ධයෙන් විත්තිකාර ආයතනයේම වියදමින් ප්‍රධාන පුවත්පත්වල දැන්වීමක් පළ කරන ලෙසද අධිකරණය නියෝග කර ඇත.

පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර වලින් අය කරනු ලබන ඇතැම් වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, නියමිත උපරිම ගාස්තු පනවා ඇත.

ඒ අනුව, Full Blood Count (FBC) රුධිර පරීක්ෂාවක් සඳහා පෞද්ගලික අංශයෙන් අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 400කි. එනිසා වෛද්‍ය රසායනාගාරයකින් සේවාවක් ලබාගැනීමේදී නියමිත උපරිම ගාස්තු පිළිබඳ විමසිලිමත් වන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙයි.

ඔබ ගෙවන සෑම මුදලක් සඳහාම නිවැරදි බිල්පතක් හෝ රිසිට්පතක් ලබා ගන්නා ලෙසත් එය ඔබේ පාරිභෝගික අයිතියක් වන අතර අවශ්‍ය අවස්ථාවක එය වැදගත් සාක්ෂියක් ලෙස භාවිත කළ හැකිය.

කපිල චන්ද්‍රසේනගේ මරණය – ජංගම දුරකථනය

කපිල චන්ද්‍රසේනගේ මරණය – ජංගම දුරකථනය

සැක සහිත ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය සම්බන්ධව සිදුකරන විමර්ශන පිළිබඳ තමාට සෑහීමකට පත්විය නොහැකි බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (22) දින විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.

එම විමර්ශනයට අදාළ නඩු කටයුත්ත කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මේ බව සඳහන් කළේය.

මරණය සිදුවූ ස්ථානයෙන් සොයා ගන්නා ලද හඳුනා නොගත් ද්‍රව්‍ය පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තා මෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තවමත් ලැබී නොමැති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ජංගම දුරකථන විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳව මහේස්ත්‍රාත් පසන් අමරසේන ප්‍රශ්න කළ විට පොලීසිය ප්‍රකාශ කළේ, අවශ්‍ය අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා පහසුකම් සැලසීම සඳහා උපාංගය විදේශීය ආයතන වෙත යොමු කර ඇති බවයි.

මරණ පරීක්ෂණයට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තාව හා ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනමින් අධිකරණයට ලබාදෙන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට සහ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත සිහි කැඳවීම් නිකුත් කිරීමටද කොටුව මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.

අනතුරුව මෙම නඩුව ලබන අගෝස්තු මස (19) වැනිදා යළි කැඳවිමට නියමිතය.

පොලිස් නිලධාරියෙකුගේ නිවසට වෙඩි

පොලිස් නිලධාරියෙකුගේ නිවසට වෙඩි

බෙලිඅත්ත, වලවල ප්‍රදේශයේ පදිංචි දික්වැල්ල පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.

එම පොලිස් නිලධාරියාගේ නිවසේ ගේට්ටුවට වෙඩි ප්‍රහාර පහක් එල්ල කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

යුපුන් විශාල මුදලක් ඉල්ලයි.. ඉල්ලන මුදල දෙන්න රජය බෑ කියයි

යුපුන් විශාල මුදලක් ඉල්ලයි.. ඉල්ලන මුදල දෙන්න රජය බෑ කියයි

දකුණු ආසියාවේ වේගවත්ම කෙටිදුර ධාවකයා වූ යුපුන් අබේකෝන් රජයෙන් අමෙරිකානු ඩොලර් 300,000ක මුදලක් ඉල්ලන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි.

එහෙත් යුපුන් අබේකෝන් ඉල්ලන අමෙරිකානු ඩොලර් 300,000ක මුදලක් ලබාදීමට රජයට හැකියාවක් නොමැති බවද ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු වාචිකව අමෙරිකානු ඩොලර් 300,000ක මුදලක් යුපුන් අබේකෝන්ට ලබාදෙන බවට ප්‍රකාශ කර ඇති බවද අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි.

හරීන් ප්‍රනාන්දු එසේ ප්‍රකාශ කළද යුපුන් අබේකෝන් එවැනි මුදලක් අමාත්‍යංශයෙන් ඉල්ලන බවත් එහෙත් එවැනි මුදලක් ගෙවීමට අමාත්‍යංශයට හැකියාවක් නොමැති බවද අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කළේ,

“යුපුන් අබේකෝන්ගේ කතාව, යුපුන් කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. ලංකාවට කීර්තිනාමයක් ගෙනාපු පදක්කම් අරගෙන ආපු ක්‍රීඩකයෙක්. නමුත් යුපුන් දැනට ජීවත් වෙන්නේ ඉතාලියේ.

අපි යුපුන් එක්ක සාකච්ඡා කරා. මම දිගටම යුපුන් එක්ක කතා කරා. යුපුන් අමාත්‍යංශයට ආව. මීට මාස කිහිපයකට කලින් යුපුන් පාර්ලිමේන්තුවට ඇවිත් අපි සාකච්ඡා කරා.

නමුත් යුපුන්ගේ ඉල්ලීම ටිකක් වෙනස්. ඒක අපිට අමාරුයි යුපුන්ට දෙන්න. යුපුන්ට හරීන් ඇමතිතුමා පොරොන්දු වෙලා තියෙනවා කියනවා, ඇමරිකන් ඩොලර් ලක්ෂ තුනක් එයාට දෙන්න.

ඉතින් ඒ හරීන් ඇමතිතුමා වාචිකව පොරොන්දු වෙච්ච ඩොලර් ලක්ෂ තුන අපෙන් ඉල්ලනවා. ඉතින් අපිට එහෙම සල්ලි දෙන්න බෑ.“

දේශබන්දු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරයි

දේශබන්දු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරයි

පසුගිය 2022 වසරේ පැවැති අරගල සමයේදී එවක ආණ්ඩුව විවේචනය කළ බවට චෝදනා කරමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගත්තේය.

ඒ අනුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර එලෙස අත්අඩංගුවට ගැනීමෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පොලිස් පරීක්ෂක නලීන් ශ්‍රියන්ත විසින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

උසස් පෙළ විභාගය කල් දමන්න – පෙත්සමට දුන් අවසන් තීන්දුව

උසස් පෙළ විභාගය කල් දමන්න – පෙත්සමට දුන් අවසන් තීන්දුව

පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අද (23) අභියාචනාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අදාළ පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමකින් අනතුරුව මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) තීරණය කළේය.

මෙම වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පළමුවරට හා දෙවන වරට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළේය.

එල්-නිනෝ වර්ධනය වෙයි.. ලංකාවට ප්‍රබල අනතුරු ඇඟවීමක්

එල්-නිනෝ වර්ධනය වෙයි.. ලංකාවට ප්‍රබල අනතුරු ඇඟවීමක්

මේ වනවිට එල්-නිනෝ තත්ත්වය දැඩිව වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර පැමිණිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවයි.

ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසයන් ඉතා දැඩි වියළි කාලගුණ තත්ත්වයක් ඇති කාලසීමාවක් විය හැකි බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සඳහන් කරයි.

මෙම එල්-නිනෝ තත්ත්වය නොවැම්බර් මාසය වනවිට එහි උච්චතම අවස්ථාවට පැමිණිය හැකි බවද අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සඳහන් කරයි.

එයට මුහුණදීම සඳහා රාජ්‍ය අංශ ආයතනික වශයෙන් දැඩි බලගැන්වීමක් සිදුකරනු ලබන බවත් මෙම තත්ත්වය ලංකාවට පමණක් නොව ගෝලීයව බලපාන පාරිසරික තත්ත්වයක් වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම තත්ත්වයට මුහුණදීම සඳහා ජනතාවගේ සහයෝගය මෙන්ම සහභාගීත්වය ද ඉතා වැදගත් බවත් ඉදිරියේදී දැඩි නියඟයක් ඇති වීමට පවා ඉඩ ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එනිසා ජලය අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතු බවත් රැකියා සහ ආර්ථික අවස්ථා අහිමි වීම ද එල් නිනෝ බලපෑම හමුවේ සිදුවිය හැකි ප්‍රධාන තත්ත්වයක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එල්-නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

යුද ගැටුම් අස්සේ සෞදිය න්‍යෂ්ටික බෝම්බ නිපදවිම අරඹයි

යුද ගැටුම් අස්සේ සෞදිය න්‍යෂ්ටික බෝම්බ නිපදවිම අරඹයි

මැදපෙරදිග යුද ගැටුම් පවතින අවස්තාවක අමෙරිකාව සහ සෞදි අරාබිය අතර න්‍යෂ්ටික සහෝගීතා ගිවිසුමකට අත්සන් තබා ඇත.

අදාළ ගිවිසුම මඟින් සෞදි න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනට විශාල ප්‍රවේශයක් හිමිවනු ඇති බව අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම ගිවිසුම මඟින් සෞදි අරාබියාවට ඉදිරියේදී යුරේනියම්, ඉන්ධන ලෙස මෙන්ම න්‍යෂ්ටික බෝම්බ නිපදවිම සඳහා භාවිත කළ හැකිය.

මෙම ගිවිසුම මඟින් බලශක්ති ක්ෂේත්‍රයේ දෙරට අතර පවතින සහයෝගීතාව තවදුරටත් වර්ධන වී ඇති බව සෞදි ආරාබියානු රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සාමකාමී න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමක් ලෙස නම් කර ඇති මෙම ගිවිසුමට සමගාමීව ද්වීපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමක් ද අත්සන් තබා ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ නියෝගයෙන් ඉරානයට නැවතත් ප්‍රහාර

ට්‍රම්ප්ගේ නියෝගයෙන් ඉරානයට නැවතත් ප්‍රහාර

ඉරානයේ හමුදා ඉලක්ක වෙත තවත් ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් අඛණ්ඩව 12 වන දිනටත් ප්‍රහාර එල්ල කරමින් ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ නියෝගයක් මත මෙම ප්‍රහාර මාලාව අමෙරිකානු වේලාවෙන් සවස 5.30ට පමණ දියත් කළ බවද මධ්‍යම අණදෙන මූලස්ථානය සඳහන් කරයි.

කලාපීය මුහුදු මාර්ගවල වාණිජ නෞකා වෙත තර්ජනයක් එල්ල කිරීමේ ඉරානයේ හැකියාව තවදුරටත් දුර්වල කිරීම මෙම ප්‍රහාර මාලාවේ අරමුණ බවද මධ්‍යම අණදෙන මූලස්ථානය සඳහන් කරයි.

ඉරානයට බිහිසුණු ප්‍රහාරයක්.. නොපෙනෙන බලවතා නැවතත් එළියට

ඉරානයට බිහිසුණු ප්‍රහාරයක්.. නොපෙනෙන බලවතා නැවතත් එළියට

ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා වලට පහර දෙන සෑම අවස්ථාවකදීම, ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ පාලමක් හෝ බලගාරයක් බැගින් විනාශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

තවද ඉරානයේ නටාන්ස් (Natanz) පරමාණුක මධ්‍යස්ථානය අසල පිහිටි, පොළොව යට ඉදිකරමින් පවතින ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානය වෙත ඉදිරියේදී ප්‍රහාර එල්ල කරන බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ,

“මෙතැන් සිට ඉස්ලාමීය ඉරාන ජනරජය මගින් හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකාවකට මිසයිල, රොකට්, ඩ්‍රෝන හෝ වෙනත් ඕනෑම ආයුධයකින් පහර දෙන සෑම අවස්ථාවකම, අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයේ එක් පාලමක් හෝ බලගාරයක් බැගින් බෝම්බ හෙළා විනාශ කරනු ඇත.”

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් සඳහන් කළේ, ඉරානය සමග සාකච්ඡා පැවැත්වීමට අමෙරිකාවට කිසිදු උනන්දුවක් නොමැති බවයි.

මේ අතර මීට මාස කිහිපයකට පෙර අමෙරිකාව විසින් ඉරානයේ ඉස්ෆහාන් නගරය වෙත “බංකර් බස්ටර්” බෝම්බ ප්‍රහාර එල්ල කළේය.