Local news

මුදල් මංකොල්ල කාපු හිටපු ඇමති පුතාගෙන් ප්‍රශ්න කරයි

මුදල් මංකොල්ල කාපු හිටපු ඇමති පුතාගෙන් ප්‍රශ්න කරයි

රුපියල් මිලියන 20ක මුදලක් කොල්ලකෑමට අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ දෙවනි පුත්‍රයා වන අනුද බණ්ඩාර පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහෙස්ත්‍රාත්වරයා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට (CCIB) අද (22) අවසර ලබාදී ඇත.

චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් මිලියන 20ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධව හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ දෙවනි පුත්‍රයා වන අනුද බණ්ඩාර ඊයේ (21) දින අත්අඩංගුවට ගත්තේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) සිදුකරන බව පොලීසිය සඳහන් කරයි.

හිනාවෙවී ආ සුගීෂ්වර හඬාගෙන යයි

හිනාවෙවී ආ සුගීෂ්වර හඬාගෙන යයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම් සුගීෂ්වර බණ්ඩාරට එරෙහි නඩුව අද (22) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවයි.

අනතුරුව සුගීෂ්වර බණ්ඩාර ලබන (30) වැනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) දින නියෝග කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ එම කාල වකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

විමල්ගේ සහෝදරයා නැවතත් හිටපු තැනටම

විමල්ගේ සහෝදරයා නැවතත් හිටපු තැනටම

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ අද (22) කොළඹ කොටුව මහේස්ත්‍රත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

අනතුරුව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ නැවතත් ලබන (28) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රත් අධිකරණය නියෝග කළේය.

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ආචාර්ය (ඉංජිනේරු) ආසිරි කරුණාවර්ධන පත්කර ඇත.

ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඔහු වෙත ප්‍රදානය කරන ලදී.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කළ ආසිරි කරුණාවර්ධන මීට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර ඇත.

මගේ නඩුව විභාගයට ගන්න එපා – යෝෂිතගෙන් අභියාචනයක්

මගේ නඩුව විභාගයට ගන්න එපා – යෝෂිතගෙන් අභියාචනයක්

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව යෝෂිත රාජපක්ෂ විසින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥවරු කළ ඉල්ලීමට නීතිපතිවරයා අද (22) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධය පළකර ඇත.

යෝෂිත රාජපක්ෂ ඉදිරිපත් කර තිබෙන එම අභියාචනය අද සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර විසින් මෙම විරෝධය මතු කරනු ලැබුවෙිය.

හිටපු කාලයේ කරපු වැඩ හෙළිවෙද්දි අකිල අතුරුදන්

හිටපු කාලයේ කරපු වැඩ හෙළිවෙද්දි අකිල අතුරුදන්

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අකිල විරාජ් කාරියවසම් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සේවකයින් බඳවාගෙන, ඔවුන් සිය පෞද්ගලික සහ දේශපාලන කටයුතු සඳහා යොදාගැනීම මගින් දූෂණයක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇත.

අකිල විරාජ්ට එරෙහිව සිදුකරන මෙම විමර්ශනයට අදාළව වැඩිදුර ප්‍රකාශ ලබාගැනීම සඳහා ඊයේ (21) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දන්වා තිබුණද ඔහු කොමිසම හමුවට පැමිණ නැත.

කොමිසම හමුවට නොපැමිණීම සම්බන්ධයෙන් අකිල විරාජ් කොමිසමේ බලධාරීන්ට කිසිදු පූර්ව දැනුම් දීමක් සිදුකර නොමැති බවද අල්ලස් කොමිසම සඳහන් කරයි.

රජයේ සේවකයින් පෞද්ගලික හෝ දේශපාලන අරමුණු සඳහා අවභාවිත කිරීම අල්ලස් පනත යටතේ දූෂණ වරදක් ලෙස සැලකෙයි.

ශම්මි සිල්වාටත් වැඩ වරදින ලකුණු

ශම්මි සිල්වාටත් වැඩ වරදින ලකුණු

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය තුළ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය දූෂණ, වංචා සහ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන දනිෂ් අලි විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

හිටපු සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ පරිපාලනය යටතේ සිදු වූ බව කියන දූෂණ මෙන්ම, තිලංග සුමතිපාලගේ පාලන සමයේ සිදු වූ බව පැවසෙන මූල්‍ය වංචා සහ අක්‍රමිකතා පිළිබඳව මෙම පැමිණිල්ල මගින් කරුණු ඉදිරිපත් කර ඇත.

2023 සැප්තැම්බර් (11) වැනි දින නිකුත් කරන ලද විශේෂ විගණන වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් විස්තරාත්මක ප්‍රකාශයක් ලබාදීම සඳහා දනිෂ් අලිට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

අධිකරණය මගහරින ජාලිය වික්‍රමසූරිය වහාම අත්අඩංගුවට ගන්න

අධිකරණය මගහරින ජාලිය වික්‍රමසූරිය වහාම අත්අඩංගුවට ගන්න

මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) දින යළි වරෙන්තු නිකුත් කළේය.

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධ මෙම නඩුකරය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන දෙසැම්බර් මස (09) වනදා අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

තරුණයින් 11ක් පැහැරගැනීම – හිටපු නාවික හමුදාපතිට දුන් නියෝගය

තරුණයින් 11ක් පැහැරගැනීම – හිටපු නාවික හමුදාපතිට දුන් නියෝගය

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු 2008 වසරේදී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්, සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.

අනතුරුව නඩුව විභාගය සඳහා දෙසැම්බර් මස (09) වනදා කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ශන්ත බණ්ඩාර වගේම වූ මංකොල්ල කාපු පුතා

ශන්ත බණ්ඩාර වගේම වූ මංකොල්ල කාපු පුතා

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ දෙවනි පුත්‍රයා වන අනුද බණ්ඩාර ඊයේ (21) දින පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අද (22) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

ඔහු ඊයේ (21) කොල්ලුපිටිය පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.