Local news

අස්වැසුම දීමනාව මින් ඉදිරියට දුප්පත් සහ අන්ත දිළිදු පවුල් වෙත පමණයි

අස්වැසුම දීමනාව මින් ඉදිරියට දුප්පත් සහ අන්ත දිළිදු පවුල් වෙත පමණයි

අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මඟින් මින් ඉදිරියට දීමනා ගෙවීම් සිදුකරනු ලබන්නේ දුප්පත් සහ අන්ත දිළිඳු පවුල් සඳහා පමණක් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.

2023 වර්ෂයේ සිට අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ආරම්භ කළ අතර එහි දෙවන අදියර මේ වසරේ සිට ක්‍රියාත්මක කිරිමට නියමිත අතර මේ වනවිට ඒ සඳහා වන තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු සිදුකරමින් පවතී.

2023 වර්ෂයේදී කාණ්ඩ 4ක් යටතේ ලක්ෂ 16කට ආසන්න පිරිසකට අස්වැසුම දීමනා හිමිවූ අතර 2025 අප්‍රේල් මාසයේදී ඉන් සිව්වන කාණ්ඩය වන සංක්‍රාන්තික කාණ්ඩයේ ප්‍රතිලාභීන් 315,000කට ගෙවීම් නතර කර ඇත.

එහි තෙවන කාණ්ඩයට අයත් ප්‍රතිලාභීන් 425,000කට මේ වසරේ ජුනි මාසයේ සිට අස්වැසුම දීමනාව නතර කර ඇති බව වාර්තා වේ.

චරිත්ගේ පක්ෂ සාමාජිකත්වය ගැන ඉදිරියේදී තීරණයක් ගන්නවා

චරිත්ගේ පක්ෂ සාමාජිකත්වය ගැන ඉදිරියේදී තීරණයක් ගන්නවා

සමගි ජන බලවේග හොරණ සංවිධායක චරිත් අබේසිංහ ඇතුළු පිරිස සිදුකර ඇති කවර හෝ අපරාධමය හෝ සිවිල් වැරැද්දක් සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සමගි ජන බලවේගයේ කිසිදු අමනාපයක් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සඳහන් කරයි.

එහෙත් මත්ද්‍රව්‍ය සහ පාතාලය පිළිබඳ කල්තැබීමේ යෝජනාවක් ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරියක් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගන්නා අවස්ථාවේදීම මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කිරීම සැක සහිත බවද හිටපු මන්ත්‍රී බුද්ධික පතිරණ සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය කිසිවිටෙකත් වැරදිකරුවන් සුරැකීමට කටයුතු නොකරන බවත් පක්ෂයේ සාමාජිකයෙකු වුවද නීතිය උල්ලංඝනය කර ඇත්නම් ස්වාධීන අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දිය යුතු බවද බුද්ධික පතිරණ සඳහන් කරයි.

පක්ෂයේ කළමනාකරණ කමිටුව, කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ විනය කමිටුව සාමූහිකව රැස් වී ඉදිරි නීතිමය විමර්ශනවල ප්‍රගතිය දෙස බලා චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් විධිමත් තීන්දුව ප්‍රකාශයට පත් කරන බවද බුද්ධික පතිරණ සඳහන් කරයි.

හිටපු මන්ත්‍රී බුද්ධික පතිරණ සඳහන් කළේ,

“මට මතකයි 88-89 කාලේ නඩුකාර උන්වහන්සේ කෙනෙක් දවසක් තමුන්ගේ උසාවියට එනකොට,ඊට කලින් කැලෑ උසාවියක නඩුකාරයෙක් ඇවිල්ලා නඩු අහලා තීන්දු දීලා ගිහිල්ලා තිබුණා. ඒ වගේ තීන්දු ගන්නා දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි අපේ පක්ෂය. අපේ පක්ෂ ක්‍රමවේදය, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය, පක්ෂ කළමනාකරණ කමිටුව, පක්ෂයේ විනය කමිටුව, ඒ වගේම ජාතික විධායක සභාව සහ මහා සම්මේලනය තියෙනවා.

ඒ ඒ ව්‍යූහයන්ට බලය ලැබෙන නිසි ක්‍රමවේද තියෙනවා. එතකොට ඒ ක්‍රමවේද අනුව තමයි ඒ සිදුවීම් හෝ වැරදි සම්බන්ධයෙන් තීන්දු ගන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් පක්ෂ කළමනාකරණ කමිටුවත් කෘත්‍යාධිකාරී මණ්ඩලයත්තී න්දු ගන්නවා. ඒ තීන්දු ගැනීමේදී සාමූහිකව රැස් වෙලා තීන්දු ගන්නවා. සාමූහිකව රැස්වීම කියන්නේ ‘සූම්’ (Zoom) සාකච්ඡාවක් වෙන්න පුළුවන්, භෞතික මුණගැසීම් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ විදිහට මුණගැහිලා තීන්දු ගන්නවා.”

අද (25) දින පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රී බුද්ධික පතිරණ මේ බව සඳහන් කරයි.

නාමල්ගේ ක්‍රිෂ් නඩුවේ සාක්ෂිකරුවන්ට සිතාසි 

නාමල්ගේ ක්‍රිෂ් නඩුවේ සාක්ෂිකරුවන්ට සිතාසි 

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන ක්‍රිෂ් නඩුවේ ඉන්දීය සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ යටතේ විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය ප්‍රකාරව සිතාසි යැවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය.

එම සාක්ෂිකරුවන් දෙදෙනා සම්බන්ධ කරගත නොහැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදි අපර්ණා සුවඳුරුගොඩ විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට නීතිපතිවරයා පැවරූ නඩුව අද (25) කොළඹ මහාධිකරණයේදී යළි කැඳවයි.

ඉදිරි මාස කිහිපය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා

ඉදිරි මාස කිහිපය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා

ඉදිරි මාස කිහිපය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මෙම මතභේදාත්මක නීති කෙටුම්පත අවලංගු කරන අතර රට තුළ සංවිධානාත්මක අපරාධ ඵලදායී ලෙස සටන් කිරීමට සහ මර්දනය කිරීමට අවශ්‍ය ශක්තිමත් නීති රාමුවක් රජය ඒ සමග සකස් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

අද (25) දින විවාදයට ගනු ලබන විස මත්ද්‍රව්‍ය තුරන් කිරීම හා සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳව පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

ජනපති අනුර පාර්ලිමේන්තුවට

ජනපති අනුර පාර්ලිමේන්තුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු වේලාවක‌ට පෙර පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියේය.

අද දින විවාදයට ගනු ලබන විස මත්ද්‍රව්‍ය තුරන් කිරීම හා සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව‌ට පැමිණ ඇත.

ලංගමට නව බස් රථ 600ක්

ලංගමට නව බස් රථ 600ක්

ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා බස් රථ 600ක් ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමට නියමිත බව ප්‍රවහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව අධීවේගී මාර්ගවල ධාවනය සඳහා සුඛෝපභෝගී බස් රථ 200ක් සහ සාමාන්‍ය මාර්ගවල ධාවනය කිරීමට බස් රථ 400ක් ඒ අතරට ඇතුළත් වේ. එම බස් රථ එළඹෙන දෙසැම්බර් මාසය වන විට මෙරටට ලැබෙනු ඇත.

මේ අතර නව මෙට්‍රෝ බස් රථ 104 අගෝස්තු මස (15) වැනිදා වන විට දිවයිනට ලැබෙනු ඇතැයි, ප්‍රවහන සහ මහා මාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

එම බස් රථ වලට කාඩ්පත් මගින් ගෙවීම් සිදුකිරීමේ පද්ධති සකස් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස (20) වැනිදාට පෙර ධාවනයට යොමු කිරීමට නියමිතය.

භෞත චිකිත්සකවරියගේ මරණය ඝාතනයක්

භෞත චිකිත්සකවරියගේ මරණය ඝාතනයක්

පසුගිය (17) වනදා තෙල්දෙණිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ සැකකටයුතු ලෙස මියගිය 33 හැවිරිදි අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියගේ මරණය ගෙල සිරකිරීමෙන් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු කර ඇත.

මරණය පිළිබඳව ඇති වූ සැකය මත පොලීසිය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊයේ (24) අලුයම වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් ඇඟේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ හා කුඩා දරුවෙකු අත්අඩංගුවට ගත්තේය.

යාපනය, චාවකච්චේරිය කයිතඩි ප්‍රදේශයේදී බස් රථයකින් ගමන් කරමින් සිටියදී පෙම්වතා බව කියන මෙම සැකකාර 43 හැවිරිදි පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ වන 35 හැවිරිදි කොස්ගොල්ල හොරොම්බාව ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් වන අතර ඔවුන් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තේය.

අදාළ ප්‍රධාන සැකකරුට සැඟව සිටිම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත 49 හැවිරිදි රජවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු නුවරඑළිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගත්තේය.

චමින්ද විජේසිරිට අද මොකද වෙන්නේ.?

චමින්ද විජේසිරිට අද මොකද වෙන්නේ.?

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අද (25) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම සහ නිලධාරින්ට පහරදීම යන චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරු වූ මන්ත්‍රී චමින්ද විජේසිරි අද (25) දින බදුල්ල අධිකරණයට හමුවට පැමිණියේය.

ඒ අනුව එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ ඇත.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරන ලබන විමර්ශනයකට අදාළව රෝහිත රාජපක්ෂ කැඳවා ඇත.

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ අත්අඩංගුවට ගෙන ඇත.

පාතාල ක්‍රියාකාරින් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝග වලින් වෙන්කර, වෙනම බන්ධනාගාරයකට යොමු කිරීම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අල්ලස් දී ඔහුව සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 1200ක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.