Local news

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 188ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 188ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ උතුරු වෙරළ තීරයට බලපෑ ප්‍රබල භූමිකම්පන හේතුවෙන් පුද්ගලයින් 188ක් මියගොස් ඇති බවත් තවත් පුද්ගලයින් 1,520 දෙනෙකු තුවාල ලබා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද පුද්ගලයින් 157 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින අතර සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කරන පුද්ගලයින් 200කට අධික පිරිසක් සොයා මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රික්ටර් මාපක 7.2 සහ 7.5ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පනවලින් පසුව පසු කම්පන 138ක් වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් ගොඩනැගිලි 250ක් සහ වෙළඳ සංකීර්ණ 20ක් ඇතුළු යටිතල පහසුකම් ස්ථාන 346කට හානි සිදුව ඇත.

කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු කුදලාගෙන එයි

කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු කුදලාගෙන එයි

අත්අඩංගුවට ගෙන මේ වනවිට රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බවට සැක කෙරෙන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් “මාටියා” නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.

මැලේසියාවේ රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ (25) දින රාත්‍රියේ ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොටුගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක්ද නිකුත් කර තිබී ඇත.

සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර දුන් බව පොලීසිය සඳහන් කරයි.

භෞත චිකිත්සකවරිය ඝාතනය කළ පෙම්වතාට ආධාර අනුබලදුන් පොලිස් ලොක්කා අත්අඩංගුවට

භෞත චිකිත්සකවරිය ඝාතනය කළ පෙම්වතාට ආධාර අනුබලදුන් පොලිස් ලොක්කා අත්අඩංගුවට

පසුගියදා ගෙල සිර කිරීමෙන් ඝාතනය කළ භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

එම ඝාතනයේ ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

වළාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් ඔහුව අත්අඩංගුව ගෙන ඇත. 

රටේ පොදු ජනයාගේ අරගල වලට කඳුළු ගෑස් පාවිච්චි නොකරපු එකම යුගය මෙයයි

රටේ පොදු ජනයාගේ අරගල වලට කඳුළු ගෑස් පාවිච්චි නොකරපු එකම යුගය මෙයයි

මහජනතාවගේ දේපොළ සොරකම් කරමින් වංචා දූෂණ සිදු කළ අයට දඬුවම් ලබාදීම මේ රටේ පොදු ජනතාවගේ අපේක්ෂාවක් වූ බවත් වත්මන් ආණ්ඩුව එම පොදුජන අපේක්ෂාවට පණ පොවන ආණ්ඩුවක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනතාව වත්මන් රජයට ලබා දුන් ජනවරමේ හරය වන්නේ ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම බවත් කිසිවෙකුගෙන් පෞද්ගලික පළිගැනීමක් සිදු නොවන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“උද්ඝෝෂණ රැසක් ඇති වී තිබෙනවා. ලංකා ඉතිහාසයේ එක වෝටර් කැනන් එකක් අපේ පාලන කාලය මේ ජනතාවට විරුද්ධව පාවිච්චි වෙලා නෑ. කඳුළු ගෑස් ජනතාවට විරුද්ධව පාවිච්චි වෙලා නෑ. මේක එහෙම ආණ්ඩුවක්.

එක් අවස්ථාවකදී මාතරදී බන්ධනාගාරයේ ගැටුමක් ආවා. බන්ධනාගාරය කඩාගෙන යාමට ප්‍රයත්න දැරුවා. ඒ බන්ධනාගාරය තුළට පමණක් සීමා වන පරිදි කඳුළු ගෑස් පාවිච්චි කර තිබෙනවා. එහෙත් රටේ පොදු ජනයාගේ අරගලයට කඳුළු ගෑස් පාවිච්චි නොකරපු එකම යුගය මෙයයි.

වෝටර් කැනන් පාවිච්චි නොකරපු ඉතිහාසය මෙයයි. එහෙම ආණ්ඩුවක් මේක. අපි ප්‍රජාතන්ත්‍රවාදීයි. මිනිසුන් බලගන්වන රාජ්‍යයක් අපිට අවශ්‍යයි. අපිත් ඒක හදන්නේ නැත්නම් අපි දන්නවා කවුරුත් ඒක හදන්නේ නෑ. මිනිසුන්ට පාලකයා ප්‍රශ්න කරන්න ඕන. නිදහස තියෙනවා.

අයිතිය දෙන්න ඕනෙ. රටක් ලෙස ඉදිරියට යාමට නම් මිස්සුන්ට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් ලබා දෙන පාලනයක් අවශ්‍යයි. ඒ නිසා විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් ගරු කරන රාජ්‍යයක්. ඉතිහාසයේ කොච්චර මාධ්‍යවේදීන්ට තර්ජනය කර තිබෙනවාද.?

කොච්චර මාධ්‍ය ආයතනයන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබෙනවාද.? දැන් එහෙම නෑ. හැබැයි මේ සියල්ල අතරේ අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ හිමිකම් ලබන පුරවැසියනුත් තමන්ගේ ශිෂ්ටත්වයට පැමිණිය යුතුව තිබෙනවා.”

චමින්ද විජේසිරි චෝදනා හතරකට වැරදිකරු 

චමින්ද විජේසිරි චෝදනා හතරකට වැරදිකරු 

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සහ ඔහුගේ රියදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා හතරකට වැරදිකරුවන් බවට බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි තීරණය කර ඇත.

තවද ඇමති ආරක්ශක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා තුනකට වැරදිකරු බවට බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි තීරණය කර ඇත.

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම, පහරදී කැමැත්තෙන් තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරනීය තර්ජනය කිරීම සහ තුවාල සිදුකිරීම යන චෝදනා සම්බන්දයෙන් වැරදිකරුවන් බවට තීරණය කර ඇත.

කෙසේ වෙතත් මන්ත්‍රී චමින්ද විජේසිරිගේ රියදුරු බන්දුල රත්නායක මියගගොස් ඇති බව මෙහිදී අනාවරණය විය.

අනතුරුව මෙම නඩුවේ තීන්දුව ලබාදීම එළඹෙන ජුලි මස (28) වනදා දක්වා කල් තබා ඇත.

රඛිත සහ චරිත්ගේ පැටිකිරිය හෙළිවෙයි.. අධිකරණයෙන් නියෝග

රඛිත සහ චරිත්ගේ පැටිකිරිය හෙළිවෙයි.. අධිකරණයෙන් නියෝග

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත් විජයදාස රාපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂක අරුණ වරුණහැන්දි අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විජයදාස රාපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂක අරුණ වරුණහැන්දිගේ ජූලි (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

අපරාධකරුවකු වන හරක් කටාට විරුද්ධව සිදුකෙරන විමර්ශන ලිහිල් කර දෙන බව පවසා ඔහුගේ බිරිඳගෙන් සහ මිදිගම රුවන් නම් අපරාධකරුගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත්තේය.

‘හරක්කටා’ මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව රැඳවුම් නියෝගමත රඳවා සිටින විට 2023 වසරේ මාර්තු මාසයේදී විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂක අරුණ වරුණහැන්දිගේ ඩුබායි රාජ්‍යවෙත ගොස් ඇති බව අනාවරණය වී ඇත.

ඔවුන් එකම ගුවන් යානයක ඩුබායි රාජ්‍යවෙත ගොස් එහිදී හරක් කටාගේ බිරිඳවන මධුෂිකා මධුවන්ති හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මිදිගම රුවන් නැමැත්තා හමුවී ඇති බවද කොමිසම සඳහන් කරයි.

එහිදී හරක් කටා පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම, රැඳවුම් නියෝග ඉවත්කිරීම, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමුකිරීම හා විමර්ශන කටයුතුවලින් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන බව පවසා රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත.

එම මුදල ටිකෙන් ටික රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් පළමුව ලබාගෙන ඇති අතර තවත් රුපියල් කෝටි 2ක මුදලක් පසුව ලබාගෙන ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ආදළ මුදල උණ්ඩියල් ක්‍රමය හරහා මෙරටට ගෙන්වා ගෙන ඇති බව වාර්තා වන අතර රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ වරුණහැන්දිගේ යළි එකම ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

2027 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

2027 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

2027 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා අදාළ චක්‍රලේඛය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

ඒ අනුව මෙම ඇතුළත් කිරීමේ ක්‍රියාවලියට අදාළ අංක 25/2026 චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ජනපති අනුර ප්‍රංශ සංචාරයකට සූදානම්

ජනපති අනුර ප්‍රංශ සංචාරයකට සූදානම්

ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන ජුලි මස (16) වනදා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

එම සංචාරයේදී, ලෝකයේ ප්‍රමුඛ නාවික ප්‍රවාහන සමාගමක් වන CMA CGM ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රොඩොල්ෆ් සාදේ සමඟ ජනාධිපතිවරයා හමුවක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් සඳහන් කරයි.

ප්‍රංශ ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට දැඩි උනන්දුවක් පවතින බවද ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් සඳහන් කරයි.

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ ප්‍රංශ තානාපතිවරයා ප්‍රමුඛ ප්‍රංශ ආයෝජකයින් කණ්ඩායමක් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

පවුලක බලය රැකගන්න අපරාධ කළ හමුදා බුද්ධි කණ්ඩායම් ගැන ජනපති කියයි

පවුලක බලය රැකගන්න අපරාධ කළ හමුදා බුද්ධි කණ්ඩායම් ගැන ජනපති කියයි

කිසියම් පවුලක හෝ දේශපාලන කඳවුරක බලය වෙනුවෙන් අපරාධ සිදුකළ බුද්ධි අංශ හා හමුදාවල කුඩා කණ්ඩායම් වෙත නිසි දඬුවම් ලබාදීමට රජය කිසිසේත්ම පැකිලෙන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ වර්ධනය වීම පිටුපස දේශපාලන අධිකාරිය, රාජ්‍ය ආයතන, දූෂිත නිලධාරීන් සහ කුඩු ව්‍යාපාරිකයන් එකිනෙකා යා කෙරුණු බරපතළ සබඳතා ජාලයක් පවතින බවත් එම සමස්ත ජාලයම මුළුමනින්ම මැඩපැවැත්වීමට රජය ස්ථාවර තීරණයක් ගෙන ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, නීතිපති දෙපාර්තමේන්තුවේ දිලිප් පීරිස් මෙන්ම වත්මන් අධිකරණ පද්ධතිය අද වන විට විපක්ෂයේ ද්වේෂයට සහ සතුරුකමට ලක්ව ඇත්තේ රට තුළ යුක්තිය සහ ශිෂ්ටභාවය ඇති කිරීමට ඔවුන් උපරිමයෙන් ක්‍රියා කරන නිසා බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මෙරට අතීත උරුමය අශිෂ්ට රාජ්‍යයක්ව පැවති බවත් ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම්වරයාගේ සිට පහළම දේශපාලන නායකයන් හා රාජ්‍ය නිලධාරීන් දක්වා සැම දෙනාම ශිෂ්ටසම්පන්න රාජ්‍යයක කොටස්කරුවන් බවට පරිවර්තනය විය යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳව අද (25) දින පාර්ලිමේන්තුවේ පැවැති කල්තැබීමේ විවාදයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අපේ හමුදාවත්, අපේ බුද්ධි අංශයත් පිළිබඳ ගෞරවය, ඇගයීම හෘදයාංගමභාවය අප තුළ තිබෙනවා. හැබැයි අපේ හමුදාවන්, අපේ බුද්ධි අංශ විසින් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කරන ලද කැපකිරීම්වලට, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යම් කාර්යභාරයක් කරන විට කොතැනක හෝ ඔවුන් පීඩාවට පත් වෙනවා නම්, අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා.

දේශීයවත්, ජාත්‍යන්තරවත් රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් රටේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාවන් සහ බුද්ධි අංශ ක්‍රියාත්මක කර තිබෙනවා නම්, ඔවුන් ඕනෑම තැනක ආරක්ෂා කිරීමටත්, ගෞරව කිරීමටත් බැඳී සිටිනවා. අපි ඒ කාර්යය ඉටු කරනවා.

හැබැයි, ඒ හමුදාවේ, බුද්ධි අංශයේ ඉතා කුඩා කණ්ඩායම් රාජ්‍ය වුවමනාවකට යම් පවුලක බලය වෙනුවෙන්, යම් දේශපාලන කඳවුරක බලය වෙනුවෙන් කටයුතු කර තිබෙනවා නම් ඒ සඳහාත් නිසි දඬුවම් ලබා දීමට අපේ ආණ්ඩුව පැකිළෙන්නේ නැති බව මම කියන්න කැමතියි.”

චරිත්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා ලොකුම පියවර ගන්නවා

චරිත්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා ලොකුම පියවර ගන්නවා

අද (25) උදෑසන අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ පිළිබඳව අනිවාර්යෙන්ම විනය පරික්ෂණයක් සිදුකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

සමගි ජන බලවේග පක්ෂයේ වැරදිකරුවන්ට, අපරාධකරුවන්ට කිසිම අවස්ථාවක් තැනක් නැති බැවින් විනය පරීක්ෂණ පවත්වා ගන්න තියෙන ලොකුම පියවර ගන්නා බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ,

“අනිවාර්යෙන්ම විනය පරීක්ෂණ පවත්වනවා. අනිවාර්යෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා. මොකද අපේ පක්ෂයේ වැරදිකරුවන්ට අපරාධකරුවන්ට කිසිම අවස්ථාවක්, තැනක් නැහැ.”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) දින පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරයි.