Local news

මනූෂගේ වත්කම් බැරකම් සොයයි

මනූෂගේ වත්කම් බැරකම් සොයයි

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ ඊයේ (11) දින දැනුම් දුන්නේය.

ඒ අනුව හිටපු අමාත්‍යවරයාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නියෝග ලබාදෙන ලෙසත් කළ ඉල්ලීමට අධිකරණයෙන් අවසර හිමිව ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ කාමන්ත තුෂාර විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.

තවත් වංචාවන්.. දිලිත් කොමිෂන් සභාවට කැඳවයි

තවත් වංචාවන්.. දිලිත් කොමිෂන් සභාවට කැඳවයි

සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට අද (12) දින කැඳවා ඇත.

කොටස් වෙළඳපළ තුළ සිදුවූවා යැයි කියන අක්‍රමිකතා පිළිබඳව විමර්ශනයට අදාලව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා මන්ත්‍රී දිලිත් ජයවීර එලෙස කැඳවා ඇත.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ (2010 – 2015) කොටස් වෙළදපොළේ සිදුවු වංචාවන් පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිය.

මහින්ද අල්ලස් කොමිසමට එයි

මහින්ද අල්ලස් කොමිසමට එයි

අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අද (12) දින අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත.

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලීසියෙන් අනාවරණයක්

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලීසියෙන් අනාවරණයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගොස් සිටියදී පසුගිය (08) දින පොලීසිය විසින් සොයාගත්තේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශන වලදී කපිල චන්ද්‍රසේන ගෙල වැලලා ගැනීමට යොදාගත් බව කියන පටිය, ඔහුගේ නිවසේ තිබී සේවකයෙකු මගින් ගෙන්වා ගෙන ඇතැයි අනාවරණය වී ඇත.

කපිල චන්ද්‍රසේනගේ සැක සහිත මරණය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ඇතුලු 15 දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

කපිල චන්ද්‍රසේන ඊට පෙර දින නීතිඥවරුන් සමග සාකච්ඡාවක නිරත වී ඇති බවටද අනාවරණ වී ඇතැයි, පොලීසිය සඳහන් කරයි.

ඔහුගේ මළ සිරුර සොයාගත් කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවස ආශ්‍රිත ආරක්ෂිත කැමරා පරීක්ෂාව තවදුරටත් සිදුවෙමින් ඇති බවද පොලීසිය සඳහන් කරයි.

ඉන්දීය ජාතිකයින් 110ක් ගාල්ලේදී අත්අඩංගුවට

ඉන්දීය ජාතිකයින් 110ක් ගාල්ලේදී අත්අඩංගුවට

ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉන්දීය ජාතිකයින් 110 දෙනෙකු පරිගණක අපරාධ පනතේ ගැනෙන වැරදි සිදු කිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ගාල්ල, ගල්වඩුගොඩ හා ශ්‍රී සුමේධ මාවත ප්‍රදේශ වලදී ලැගුම්හල් දෙකක් තුළ නවාතැන් ගෙන සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් අවුරුදු 19ත් 35ත් අතර වයස්වල පසුවන විදෙස් ජාතිකයින් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 58ක්, ජංගම දුරකථන 79ක්, පොලිස් භාරයට ගෙන ඇති අතර ගාල්ල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ගාල්ල වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මරුට

ගාල්ල වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මරුට

අද (12) උදෑසන ගාල්ල, දංගෙදර, ඩික්සන් හන්දිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

විදෙස් ජාතිකයින් 54ක් හික්කඩුවේදී අත්අඩංගුවට

විදෙස් ජාතිකයින් 54ක් හික්කඩුවේදී අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය විසින් පරිගණක අපරාධ වලට සම්බන්ධ බවට සැකපිට විදෙස් ජාතිකයින් 54 දෙනෙකු හික්කඩුවේ සංචාරක හෝටලයකදී (11) අත්අඩංගුවට ගෙන ඇත.

විදෙස් ජාතිකයන් පිරිසක් පරිගණක අපරාධ සඳහා හික්කඩුව, දොඩන්දූව ප්‍රදේශයේ රැඳී සිටින බවට පසුගියදා බූස්ස යුද හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් විශේෂ වැටලීම් ඒකකය හා හික්කඩුව පොලීසිය එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර විදෙස් ජාතිකයන් 54 දෙනෙකු දොඩන්දූවේ පිහිටි සංචාරක හෝටලයකදී අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයන් අතර ඉන්දීය ජාතිකයන් 35 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 19 දෙනෙකු සිටින බව එම නිලධාරින් සඳහන් කරයි.

ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන දෙසියයකට ආසන්න ප්‍රමාණයක් සහ ලැප්ටොප් පරිගණක 25ක් පොලිස් භාරයට ගෙන ඇත.

විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට.?

විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට.?

ආණ්ඩුවක් හැටියට රටේ උගත්, බුද්ධිමත්, දැනුම තියෙන, ප්‍රායෝගිකත්වය තියෙන මිනිස්සු එකතු කරලා තියෙන බවත් තවත් ඉන්න පුද්ගලයින් එකතු කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.

එනිසා විපක්ෂයේ සිටින දක්ෂයින් ආණ්ඩුවට එකතු කරගන්නා බවත් ඔවුන් සමග රට ඉදිරියට ගෙන යාමට සූදානම් බවද අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.

අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ,

“දක්ෂ මිනිස්සුන්ට අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා, විපක්ෂයේ ඉන්න තේරුම් ගත්ත මිනිස්සු අපේ යෝජනා, අදහස් එක්ක එකතු වෙලා වැඩ කරන්න එනවා නම් රට ඉස්සරහට යන්න ඒ දක්ෂ මිනිස්සු ආණ්ඩුව ඇතුළෙ අපේ වැඩවලට එකතු කරගන්නවා.”

ප්‍රසාද්ගෙන් මිලියන 500ක වන්දි ඉල්ලා කුමාරගෙන් එන්තරවාසියක්

ප්‍රසාද්ගෙන් මිලියන 500ක වන්දි ඉල්ලා කුමාරගෙන් එන්තරවාසියක්

රැස්වීමකදී සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන වෙත එන්තරවාසියක් යොමු කර ඇත.

නීතිඥයෙක් මාර්ගයෙන් යොමු කරන ලද මෙම ලිපියට අනුව, පසුගිය මාර්තු (22) වනදා හෝ ඊට ආසන්න දිනක පැවති මාධ්‍ය හමුවකදී ප්‍රසාද් සිරිවර්ධන විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මූල්‍ය අවභාවිත කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇත.

වසර 30කට අධික විධායක අත්දැකීම් සහිත සුදුසුකම් ලත් ඉංජිනේරුවරයෙකු වන කුමාර ජයකොඩි සිය වෘත්තීය සහ දේශපාලන ජීවිතය පුරා නිකැළැල් චරිතයක් පවත්වාගෙන ගොස් ඇති බව එම ලිපියේ සඳහන් වේ.

අදාළ චෝදනා පදනම් විරහිත බවත් එමගින් කුමාර ජයකොඩිගේ පෞද්ගලික කීර්ති නාමයට මෙන්ම ඔහු නියෝජනය කරන ජාතික ජන බලවේගයේ ප්‍රතිරූපයට හානි කිරීමේ චේතනාවෙන් මෙම ප්‍රකාශ සිදුකර ඇති බවද එම ලිපියේ සඳහන් වේ.

එනිසා සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක්, දින 14ක් ඇතුළත එම ගෙවීම් සිදු කරන ලෙස ප්‍රසාද් සිරිවර්ධනට දන්වා ඇත.

තවද නියමිත කාලය තුළ එම මුදල නොගෙවන්නේ නම් නෛතික පොලිය සහ නඩු ගාස්තු සහිතව එය අය කර ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද එම එන්තරවාසිය මගින් අවධාරණය කර ඇත.

“ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය ජනපති අධීක්ෂණයට

“ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය ජනපති අධීක්ෂණයට

“ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය සඳහා 2026 අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදනවලින්, මේ වන විටත් රුපියල් මිලියන 23,000ක සංවර්ධන ව්‍යාපෘති අනුමත කර, ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර තිබේ.

ජීවනෝපාය සංවර්ධනය, නිෂ්පාදන ආර්ථිකය සහ ආහාර සුරක්ෂිතතාවට අදාළව ප්‍රජා සංවර්ධන සභා මගින් ප්‍රමුඛතාගත කළ ව්‍යාපෘති වෙනුවෙන් මෙම ප්‍රතිපාදන වෙන් කර ඇත.

‘ප්‍රජා ශක්ති’ ජාතික ව්‍යාපාරයේ මෙතෙක් ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ බව අනාවරණය කෙරිණි.

ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම සහ ග්‍රාමීය ප්‍රජාව නඟා සිටුවීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය මෙහිදී විමසා බැලූ ජනාධිපතිවරයා ව්‍යාපෘතිය, ඉන් ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණය සහ ජන ජීවිතය නංවාලීම වෙනුවෙන් එය කොපමණ දායක වන්නේද යන්න පිළිබඳ නිරන්තර පසු විපරමකින් කටයුතු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ප්‍රජා සංවර්ධන සභා 13,977ක් මේ වන විට පිහිටුවා අවසන් බව මෙහිදී පෙන්වා දුන් නිලධාරීහු එම ප්‍රජා සංවර්ධන සභා වෙනුවෙන් ලබාදී ඇති මුල්‍ය ප්‍රතිපාදන පිළිබඳවද ජනාධිපතිවරයා දැනුවත් කළහ.

“ප්‍රජා ශක්ති” ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම සඳහා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා ශක්ති ඒකකවලට අවශ්‍ය පහසුකම් සැපයීමට ගෙන ඇති පියවර සහ ප්‍රජා සංවර්ධන සභාවල නිලධාරින් දැනුවත් කිරීම සඳහා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක පුහුණු වැඩසටහන් පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.