Local news

මුර දෙව්වර සේනා 28,000ක් ජන ජීවිත ගොඩ නගන සටනේ.!

මුර දෙව්වර සේනා 28,000ක් ජන ජීවිත ගොඩ නගන සටනේ.!

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා සඳහන් කළේ ගලවාගැනීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සෙබලුන් 28,500ක පිරිසක් තවදුරටත් සේවයේ යොදවා ඇති බවයි.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටි පුද්ගලයින් 31,057 දෙනෙකු මුදා ගැනීමට ත්‍රිවිධ හමුදාව කටයුතු කර ඇති බවද ඔහු පැවසීය.

මේ අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බිදවැටුනු විදුලි සංදේශන පද්ධතිය සියයට 75කට වඩා මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් බන්ධුල හේරත් මහතා  සදහන් කළේ බිදවැටුනු ෆයිබර් සබඳතාද යළි යථා තත්ත්වයට පත් කරමින් සිටින බවය.

මේ අතර ආපදා තත්ත්වය හමුවේ මෙරටට පැමිණි කිසිදු සංචාරකයෙකුට බරපතල බලපෑම් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසුවේ සියලුම සංචාරක ගමනාන්ත වෙත මේ වන විට ප්‍රවේශ වීමේ හැකියාව පවතින බවය.

ශ්‍රී ලංකාව නැවත ගොඩ නගන අරමුදලට රට විරුවෝ 19,000ක් මුදල් බැර කරති.!

ශ්‍රී ලංකාව නැවත ගොඩ නගන අරමුදලට රට විරුවෝ 19,000ක් මුදල් බැර කරති.!

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසන්නේ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ (Rebuilding Sri Lanka) අරමුදලට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000කට අධික පිරිසක් මුදල් බැර කර ඇති බවයි.

ඉකුත් 2 දා වන විට මේ පිරිස මුදල් බැර කර තිබූ බවද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

විපතට පත් අයට සහායක් ලබාදීම සඳහා අවස්ථාවක් දෙන්නැයි විදෙස් ගත ලාංකිකයන් සිදුකල ඉල්ලීම වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණයෙන් වැඩපිළිවෙළ දෙකක් අනුගමනය කරමින් සිටින බව සූරියප්පෙරුම මහතා සඳහන් කළේය.

එහි පළමු වැඩසටහනට අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන මූල්‍යමය සහාය වෙනුවෙන් ලංකා බැංකුවේ විශේෂ ගිණුම් අංකයක් ප්‍රකාශයට පත් කළ අතර දෙවන වැඩසටහන යටතේ මෙරටට භාණ්ඩ එවන පිරිසට අඩු ලියකියවිලි සංඛ්‍යාවකින් සහ කිසිදු ගාස්තුවකින් තොරව භාණ්ඩ එවීමේ ක්‍රියාවලිය පහසු කර තිබෙන බව කීය. එම භාණ්ඩ වලට අය කරන තීරුබදු සහ ගාස්තු ඉවත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධක බලකායක් ස්ථාපිත කර තිබෙන බව කී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා එබැවින් මෙරටට එවනු ලබන භාණ්ඩ ඉතා පහසුවෙන් නිදහස් කර ගැනීමට හැකියාව ලැබී තිබෙන බව සඳහන් කළේය.

මෙම පහසුකම ලැබෙන්නේ ආපද‍ා කළමනාකරණ මධ්‍යස්ථානයේ නමට භාණ්ඩ එවීමෙන් පමණක් වන අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රේගු වෙබ් අඩවියේ දැනටමත් සඳහන් කර තිබෙන්නේ යැයිද ඔහු කීය.

ආපදාව අස්සේ ව්‍යාපාරිකයෙක් කොල්ල කෑ පොලිසියේ දෙදෙනෙකු අත්අඩංගුවට.!

ආපදාව අස්සේ ව්‍යාපාරිකයෙක් කොල්ල කෑ පොලිසියේ දෙදෙනෙකු අත්අඩංගුවට.!

මාලබේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු ඊයේ (3) රාත්‍රී අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි.

ගමට යාමට බස් රථයක් නොමැති වීම හේතුවෙන් කඩුවෙල නගරයේ ලැගුම්හලක කාමරයක නවාතැන් ගෙන සිටි ව්‍යාපාරිකයෙකුට පහරදී මුදල් සහ රන් මුදුවක් කොල්ලකෑමේ සිදුවීමකට අදාළව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ලැගුම්හලේ කළමනාකරු සහ සේවකයෙකු වන බවද පොලිසිය පවසයි.

කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා තම දරුවා බැලීමසඳහා බියගම ප්‍රදේශයට පැමිණ නිවසට යාම සඳහා කඩුවෙල නගරයට පැමිණ බස් රථයක් නොමැති වීම හේතුවෙන් රාජ්‍ය බැංකුවක් අසල පිහිටි ලැගුම් හල වෙත ගොස් කාමරයක් කුලයට ලබාගෙන නවාතැන් ගෙන සිට ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී සැකකරුවන් සිව් දෙනා ලැඟුම් හලේ හිමිකරු සමග මත්පැන් පානය කරමින් සිට ඇති අතර කොස්තාපල් දෙදෙනා ව්‍යාපාරිකයා රැඳී සිටි කාමරයේ දොරට තට්ටු කර බලහත්කාරයෙන් දොර විවෘත කරවාගෙන ඔහුව පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා ඇතැයි ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලේ සඳහන්ය.

තමන් පැළඳ සිටි රන්මුදුවක් හා මුදල් පසුම්බියේ තිබූ රුපියල් 48000 ක මුදලක් දකොල්ලකා පහරදුන් බවත් දැඩි ආයාසයෙන් එම ස්ථානයෙන් පලා විත් යාබද ආපනශාලාවකට දිව ගොස් දිවි බේරා ගත් බවත් පැමිණිලිකාර ව්‍යාපාරිකයා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

අමෙරිකාවෙන් ඩොලර් මිලියන 2ක හදිසි ජීවිතාරක්ෂක ආධාර.!

අමෙරිකාවෙන් ඩොලර් මිලියන 2ක හදිසි ජීවිතාරක්ෂක ආධාර.!

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වු ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා හදිසි ජීවිතාරක්ෂක ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2ක් ලබාදීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත.

ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන කණ්ඩායම් වලට සහයවීමක් වශයෙන් මෙම ආධාර ලබා දෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චන්ග් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කරයි.

ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 3ක හදිසි මානුෂීය ආධාර.!

ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 3ක හදිසි මානුෂීය ආධාර.!

ආපදාවෙන් විපතට පත් ජීවිත බේරාගැනීම සහ ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 3ක හදිසි මානුෂීය ආධාර ප්‍රධානයක් සිදුකරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා සඳහන් කරයි.

පසුගියදා සිදුවු ආපදා හේතුවෙන් හානියට පත් ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් 3 සදහා ක්ෂණික ප්‍රධානයන් සිදුකිරීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර ඇත.

ජාතික ආපදා කළමනාකරණ අරමුදලට රුපියල් මිලියන 3.25ක පරිත්‍යාගයක්.!

ජාතික ආපදා කළමනාකරණ අරමුදලට රුපියල් මිලියන 3.25ක පරිත්‍යාගයක්.!

ජාතික ආපදා කළමනාකරණ අරමුදලට සහාය වීම පිණිස, රුපියල් 3,250,000.00 ක මූල්‍ය දායකත්වයක් ලබාදුන් අතර, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) විසින් (03) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී එම මුල්‍ය පරිත්‍යාගය විධිමත් අයුරින් භාර ගන්නා ලදී.

තර්ස්ටන් විද්‍යාලයීය භාර අරමුදලේ සභාපති නොයෙල් ජෝසප් විසින් මෙම පරිත්‍යාගය පිරිනමන ලදි.

තර්ස්ටන් විද්‍යාලයීය භාර අරමුදලින් රු. 2,250,000.00 ක් සහ ඕස්ට්‍රේලියාවේ සිටින තස්ටන් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ මුල්‍ය දායකත්වයෙන් රු. 1,000,000.00 ක් ද ඇතුළුව ලබාදුන් මෙම මුල්‍ය දායකත්වය ඔස්සේ ජාතික සුබසාධනය හා ආපදා කළමනා කරණ ප්‍රයත්නයන් වෙනුවෙන් තරස්ටන් විද්‍යාලීය ප්‍රජාවේ ඇති ශක්තිමත් සාමූහික කැපවීම විදහා දක්වයි.

මේ වනවිට රට පුරා ක්‍රියාත්මක ආපදා සහන සහ කළමනා කරණ මුලපිරීම් ශක්තිමත් කිරීම සඳහා ලබා දුන් මෙම කාලෝචිත හා අර්ථවත් සහයෝගය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා සිය ප්‍රශංසාව පළ කළ අතර, පරිත්‍යාගශිලීන්ගේ ත්‍යාගශීලීත්වය සහ ජාතික හැඟීම ද පැසසුමට ලක් කළේය.

ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹේ.!

ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹේ.!

ශ්‍රී පාද වන්දනා සමය අද (04) දිනයෙන් ආරම්භ වන අතර ශ්‍රී පාද වන්දනා සමය ලබන වසරේ වෙසක් පොහොය දිනය දක්වා ක්‍රියාත්මක වේ.

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භය සනිටුහන් කරමින් සධාතුක කරඩුව, ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් පෙරහැර අද (04) අලුයම සිරිපා මළුවට වැඩම කෙරුණි.

ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්.!

ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්.!

නොරොච්චෝල, නාවක්කාඩුව ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රී කාලයේ පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව පිරිමි පුද්ගලයා සහ එක් කාන්තාවක් මියගොස් ඇත.

පුද්ගලික ආරවුලක් මත මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර මියගිය පුද්ගලයා වයස අවුරුදු 38ක් බවත් මියගිය කාන්තාව වයස අවුරුදු 35ක් බව නොරොච්චෝල පොලිසිය සඳහන් කරයි.

වයස අවුරුදු 23ක් වන නාවක්කාඩුව ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර නොරොච්චෝල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශ වලට අද සිට තවත් අවදානමක්.!

සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශ වලට අද සිට තවත් අවදානමක්.!

අද (04) දිනයේ සිට ඊසාන දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශ රැසකට යළිත් වරක් අනතුරුදායක තත්ත්වයකට මුහුණ දීමට සිදුවීමේ අවදානමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින හරහා ඊසාන දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපනය විය හැකි බවත් මෙම තත්ත්වය සක්‍රීය වීමෙන් පසුව යළිත් දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශවලට වර්ෂාව ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කරයි.

ඒ අනුව මෙම තත්ත්වය බලපාන්නේ උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම හා ඌව පළාත්වලට බවත් ඊසාන දිග මෝසම (04) වනදා ආරම්භ වීමට නියමිත වුවද වැසි තත්ත්වය දෙසැම්බර් (09) වනදා සිට වර්ධනය විය හැකි බවද අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කරයි.

විශේෂයෙන් නායයාම් අනතුරු සහිත ප්‍රදේශවල සහ කඳුබෑවුම් ප්‍රදේශවල, ගංගා නිම්න ආශ්‍රිතව වෙසෙන ජනතාව ඉදිරි කාලගුණ තත්ත්වය ගැන විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු බවද අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කරයි.

IMF හයවැනි වාරිකය සති දෙකකින් ලංකාවට.!

IMF හයවැනි වාරිකය සති දෙකකින් ලංකාවට.!

දිට්වා සුළි කුණාටුවෙන් පසු තත්ත්වය තක්සේරු කිරීම සහ සහන සේවා, ගලවා ගැනීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආධාර සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් සහ ජාත්‍යන්තර ණය දෙන ආයතන එක්රැස් කරමින් මුදල් අමාත්‍යාංශය අද (03) ඉහළ මට්ටමේ පරිත්‍යාගශීලීන්ගේ රැස්වීමක් කැඳවීය.

මහ බැංකු අධිපතිවරයා සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ සම-සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර යන මහත්වරු ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ප්‍රධාන භාණ්ඩාගාර දෙපාර්තමේන්තු නියෝජිතයෝ සහභාගී වූහ.

ආපදාව හමුවේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ සිට පුළුල්, දිගුකාලීන යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමේ රජයේ අරමුණ අවධාරණය කරමින්, සුළි කුණාටුවෙන් රටේ සියලුම ක්ෂේත්‍රවලට සිදු වූ පුළුල් හානිය පිළිබඳ දළ විශ්ලේෂණයක් මහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදී.

විශේෂයෙන් ආහාර සැපයුම්, ප්‍රදාන, සහනදායී මූල්‍යකරණය සහ කෙටි කාලීන සිට මධ්‍ය කාලීන ආධාර වැනි වේගවත් මානුෂීය සහයෝගයක හදිසි අවශ්‍යතාවය ඔහු අවධාරණය කළේය.

ආර්ථික අංශ හැකිලීම සහ දේශීය ණය ගැනීම් සඳහා ඇති සීමිත ඉඩ ප්‍රමාණය හේතුවෙන් ඇති වන සීමාවන් සැලකිල්ලට ගනිමින්, බාහිර මූල්‍ය සහයෝගයේ වැදගත්කම මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තරයේ රටවල් දිරිමත් කරන ලෙසත්, සංචාරකයින් වැඩි ප්‍රමාණයක් මෙරටට යොමු කරන ලෙසත් මෙහිදී රාජ්‍ය නිලධාරීන් තානාපතිවරුන්ගෙන් සහ මහකොමසාරස්වරුන්ගෙන් ඉල්ලා සිටියහ.

මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට සහාය ලබා දීමේ සිය කැපවීම මෙහිදී නියෝජිත පිරිස තහවුරු කළහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙකු මෙහිදී සඳහන් කළේ, විස්තීරණ අරමුදල් පහසුකමේ හයවන වාරිකය වන ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 350 ක් සති දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

බලපෑමට ලක් වූ ජන ජීවිතය යළි නගාසිටුවීම සහ රෝග පැතිරීම වැළැක්වීම සඳහා ආපදා සහන මෙහෙයුම්, හදිසි සේවා සහ ආහාර, පිරිසිදු පානීය ජලය, සනීපාරක්ෂක කට්ටල, වෛද්‍ය සැපයුම් සහ හදිසි සෞඛ්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය මානුෂීය සැපයුම් ඇතුළු ක්ෂණික ආධාර සඳහා රටවල් රැසක් මේ වන විට ඉදිරිපත්ව සිටින අතර ඇතැම් රටවල් දැනටමත් ආපදා සහන සහ මානුෂීය කණ්ඩායම් මෙරටට එවා තිබේ.

ප්‍රධාන මාර්ග, පාලම්, වාරිමාර්ග පද්ධති සහ ප්‍රවාහන පද්ධතිය ඇතුළු හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සඳහා සහාය වීමට සහ පවතින ණය පහසුකම් නැවත සැලසුම් කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමු විය. දිගුකාලීන සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා නව ණය සහ ප්‍රදාන පැකේජ සඳහා විකල්ප සොයා බැලීමද සිදු කෙරිණි.

ලෝක බැංකුව දැනටමත් කඩිනම් පශ්චාත් ආපදා තක්සේරුවක් ආරම්භ කර ඇති අතර, නිවාස, යටිතල පහසුකම්, කෘෂිකර්මාන්තය සහ සේවා ආවරණය වන පරිදි පුළුල් හානි සහ අවශ්‍යතා තක්සේරුවක් පිළිබඳවද සාකච්ඡා පවත්වා තිබේ.

අත්‍යවශ්‍ය සේවා යථා තත්ත්වයට පත් කිරීම, බලපෑමට ලක් වූ පවුල්වලට සහාය වීම සහ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ සඳහා සියලුම ජාත්‍යන්තර මිත්‍ර රටවලින් ලැබෙන අඛණ්ඩ සහාය පිළිබඳ ශ්‍රී ලංකාව හෘදයාංගම කෘතඥතාව පළ කරයි.