Local news

වරුණ ජයසුන්දර මෙම අවස්තාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ

වරුණ ජයසුන්දර මෙම අවස්තාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා ගැනීමට මෙම අවස්ථාවේ තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා අද (12) අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.

පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වා ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විසින් රිට් පෙත්සමක් ගොනු කර තිබුණි.

එම රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ශී හේරත් විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම දැනුම්දීම සිදු කළාය. 

ප්‍රථම Kfir C12 ප්‍රහාරක යානයේ පරීක්ෂණ පියාසැරිය

ප්‍රථම Kfir C12 ප්‍රහාරක යානයේ පරීක්ෂණ පියාසැරිය

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු නවීකරණය කරන ලද ප්‍රථම Kfir C12 ප්‍රහාරක යානයේ පරීක්ෂණ පියාසැරිය (11) කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී සාර්ථකව සිදුකෙරුණි.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) සහභාගී වූ අතර එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් ආරක්ෂක ලේකම්වරයා පිළිගනු ලැබීය.

වත්මන් රජය යටතේ ජනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම තුළින් ගුවන් හමුදාවේ හැකියාවන් නවතලයකට රැගෙන යාම සහ ජාතික ආරක්ෂක රාමුව (National Security Framework) ශක්තිමත් කිරීම වෙනුවෙන් රජය අඛණ්ඩව ගෙන යන උත්සාහයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙම අවස්ථාව පෙන්වා දිය හැක.

Israel Aerospace Industries (IAI) සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාව එක්ව ක්‍රියාත්මක කරන මෙම ඒකාබද්ධ ව්‍යපෘතිය මගින් නවීකරණය කරන ලද Kfir C12 ගුවන් යානය නවීන digital glass cockpit avionics පද්ධතියකින් සමන්විත වන අතර, එමඟින් නියමු කාර්යභාරය සැලකිය යුතු ලෙස පහසු කර මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවා ඇත.

එයට අමතරව වැඩි දියුණු කළ සංවේදක සහ multi-mode radar හැකියාවන් මඟින් ඉලක්ක හඳුනා ගැනීම සහ තත්ත්ව දැනුවත්භාවය (Situational Awareness) වැඩි දියුණු කර ඇත.

මෙමඟින්, මෙහෙයුම් වලදී ගුවනේ රැඳී සිටින කාලය සහ ප්‍රහාර එල්ල කිරීමේ කාර්යක්ෂමතාව සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති අතර ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භූමියෙහි අඛණ්ඩතාව සුරකිමින්, ඇතිවන සියලු ආරක්ෂක අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා මෙරට ආරක්ෂක අංශ සතු හැකියාවන් වැඩි දියුණු කිරීමද මෙහි තවත් අරමුණක් වනු ඇත.

මෙම ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ Israel Aerospace Industries ආයතනය අතර පවතින ශක්තිමත් සහයෝගීතාව මත අලුත්වැඩියා කරන ලද මෙම ගුවන් යානා වර්තමාන සහ අනාගත මෙහෙයුම් සඳහා වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත් සුවිශේෂී දායකත්වයක් සපයනු ඇත.

මෙම ප්‍රහාරක යානා 1996 වසරේදී සේවයට ඇතුළත් කළ දින සිට මෙරට ගුවන් ආරක්‍ෂක පද්ධතියේ ප්‍රධානතම අංගයක් ලෙස පැවති අතර, නවීකරණය කරන ලද මෙම Kfir C12 ගුවන් යානා, precision weapon integration සහ advanced weapons management systems මඟින් ගුවනේ සිට ගුවනට (air-to-air) සහ ගුවනේ සිට ගොඩබිමට (air-to-ground) මෙහෙයුම් දියත් කිරීමේ හැකියාවන් සැලකිය යුතු ලෙස වැඩි දියුණු කර ඇත.

මෙම නවීකරණය හේතුවෙන් Kfir C12 යානය අනාගත මෙහෙයුම් අවශ්‍යතා සඳහා සාර්ථකව මුහුණ දිය හැකි බහුකාය (Multi Role) යානයක් ලෙස පරිවර්තනය වී ඇත.

ෂාන් විජයලාල්ට දුන් නියෝගය

ෂාන් විජයලාල්ට දුන් නියෝගය

දූෂණ චෝදනාවක් සම්බන්ධව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) දින නියම කළේය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමටත් සැකකරුගේ විදේශ ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවට නියම කර ඇත.

අල්ලස් කොමිසම සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

අද ඩොලරයේ මිල ඉහළ⁣ට

අද ඩොලරයේ මිල ඉහළ⁣ට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙස සටහන් වී ඇත.

තවද එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 341.36ක් ලෙස සටහන් වී ඇත.

තායිලන්ත කුමරිය ජීවිතයෙන් සමුගනී

තායිලන්ත කුමරිය ජීවිතයෙන් සමුගනී

තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ වැඩිමහල් දියණිය වූ බජ්‍රකිටියාබා නරේන්දිරා දෙබ්යාවතී කුමරිය මියගිය බව තායිලන්ත රාජකීය මන්දිරය අද (12) නිල වශයෙන් නිවේදනය කළේය.

වසර 4කට ආසන්න කාලයක් කෝමා තත්ත්වයෙන් පසුවූ කුමරිය මිය යනවිට 47වැනි වියේ පසුවූ අතර ඇය උදරයේ අභ්‍යන්තර ආසාදනයකින්, අඩු රුධිර පීඩනය, අරිතිමියාව, රුධිර කැටි ගැසීම වැනි රෝගාබාධ රැසකින් පීඩාවිඳ ඇත.

ඇය 2022 දෙසැම්බර් මාසයේදී සංචාරයක යෙදී සිටියදී හදිසියේම හෘදයේ ඇතිවූ රෝගී තත්ත්වයකින් ඇගේ සිහිය නැතිවී ඇති අතර එතැන් සිට මියයන තෙක්ම ඇය කෝමා තත්ත්වයෙන් පසුවූවාය.

අලුත් හාට් එකක් දාලා නිසා රනිල් අවුරුදු 10කින් තරුණ වෙලා

අලුත් හාට් එකක් දාලා නිසා රනිල් අවුරුදු 10කින් තරුණ වෙලා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට මෑතකදී සිදුකළ සැත්කමෙන් පසුව අවුරුදු 10කින් තරුණ වෙලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.

සමඟි ජන බලවේගය සමඟ ඉදිරි දේශපාලන කටයුතු සාර්ථකව ඉදිරියට රැගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ සාකච්ජා කළ බවද හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) දින පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු මේ බව සඳහන් කරයි.

“අද ප්‍රථම වතාවට මාස 3කට වැසිය ප්‍රමාණයකට පස්සේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හම්බුනා. පක්ෂ ක්‍රියාකාරීත්වය සහ ඉදිරි පියවර, ඉදිරියට එනාඑක්සත් ජාතික පක්ෂයේ 80 වෙනි සංවත්සරය සම්බන්ධයෙන්, සමඟි ජන බලවේගය සමඟ ඉස්සරහට යන්නේ කොහොමද කියන කාරණා ගැන හිටපු ජනාධිපතිතුමා කිව්වා.

බයිපාස් එකෙන් පස්සේ කොන්දත් ශක්තිමත්, ඔලුව විතරක් නෙවෙයි කොන්දත් හොදට තියෙනවා කියලත් විහිලු කලා. පක්ෂ සංවිධානය වෙන හැටි, සංවිධායකවරු පත් කරන හැටි, තරුණ ස්ංගම් පටන් ගන්න හැටි, අලුත් වැඩපිළිවෙළවල්වලට යන්නේ කොහොමද කියන එක තමයි කතා කලේ අද. අලුත් හාට් එකක් දාලා නිසා අවුරුදු 10කට තරුණ වෙලා ඉන්නේ එතුමා.”

ඉරාන – අමෙරිකා යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක්

ඉරාන – අමෙරිකා යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක්

ඉරානය – අමෙරිකාව යුද්ධය අවසන් කිරීම සඳහා “විශිෂ්ට එකඟතාවක්” ඇති කරගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

එම ගිවිසුමට අදාළ ලේඛන අවසන් කිරීමෙන් අනතුරුව මෙම සති අන්තයේදී යුරෝපයේදී අත්සන් කිරීමක් සිදුවිය හැකි බවට තමන් අපේක්ෂා කරන බවද ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

උඩුගුවනේදී ශ්‍රීලන්කන් යානයක එන්ජිමකට අකුණු සැර වදී

උඩුගුවනේදී ශ්‍රීලන්කන් යානයක එන්ජිමකට අකුණු සැර වදී

කොළඹ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඊයේ (11) රාත්‍රීයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා ගමන් ආරම්භ කළ ගුවන් යානයක් හදිසියේම ගොඩ බස්වා ඇත.

යූ.එල්. 606 දරණ මෙම ගුවන් යානයේ එක් එන්ජිමකට අකුණු සැර වැදීම සිදුව ඇති අතර අනතුරුව ආරක්ෂිත පියවරක් වශයෙන් ගුවන් යානය යළි කටුනායක ගුවත් තොටුපොළ වෙත ගොඩබෑමට කටයුතු කළ බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහන් කරයි.

අකුණු සැර වැදීම හේතුවෙන් එම ගුවන් යානයේ කිසිදු මගියෙකුට හෝ ගුවන් යානයට හානියක් සිදුව නොමැති බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහන් කරයි.

අනතුරුව වෙනත් ගුවන් යානයකින් අදාළ මගීන් පිරිස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්කර ඇති අතර මේ හේතුවෙන් ගුවන් ගමන පැය 5කට අධික කාලයක් ප්‍රමාද වු බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහන් කරයි.

අද රාත්‍රියේ ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා

අද රාත්‍රියේ ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා

අද (11) රාත්‍රියේ ඉරානයට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කරන බවට ප්‍රකාශ කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

සිය Truth Social ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

ඉරානයේ නාවික, ගුවන් සහ ගුවන් ආරක්ෂක හැකියාවන් මෙන්ම බොහෝ ප්‍රහාරක ශක්තීන් ද මේ වනවිට විනාශ වී ඇති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉදිරි කාලයේදී ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන කාර්ග් දූපත ඇතුළු තෙල් හා ගෑස් යටිතල පහසුකම් සම්බන්ධ ස්ථානවල පාලනය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග එකතු වී ඉදිරි අභියෝග වලට මුහුණ දෙමු

විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග එකතු වී ඉදිරි අභියෝග වලට මුහුණ දෙමු

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද (11) පස්වරුවේදී පැවැත්විණි.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් බහුතරයකගේ සහභාගීත්වයෙන් පැවැති මේ රැස්වීමේදී වර්තමාන දේශපාලන තත්ත්වයට අදාළ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිචාරය පිළිබඳව සාකච්ජා කර ඇත.

එක්සත් ජාතික පක්ෂ සංවිධානය නැවතත් ගොඩනැංවීමට අදාළ වැඩපිළිවෙල සහ අනෙකුත් දේශපාලන පක්ෂ, බලවේග සහ සංවිධාන සමග ඉදිරි සම්බන්ධීකරණ කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇත.

තනි තනිව නොව සෑම බලවේගයක් සමගම එකට එකතු වී ඉදිරි දේශපාලන අභියෝග වලට මුහුණදිය යුතු ආකාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අදහස් දක්වා ඇත.

තවද එක්සත් ජාතික පක්ෂ සංවිධාන යළි ගොඩනැගීම සහ අනෙකුත් දේශපාලන පක්ෂ, බලවේග, සංවිධාන සමග සම්බන්ධීකරණය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගනිමින් තීරණවලට එළැඹී ඇත.