Local news

තැපැල් දෙපාර්තමේන්තුව ගෙවූ ඩොලර් ලක්ෂ 6ක් අතුරුදන් 

තැපැල් දෙපාර්තමේන්තුව ගෙවූ ඩොලර් ලක්ෂ 6ක් අතුරුදන් 

තැපැල් දෙපාර්තමේන්තුව සිදුකළ විදෙස් ගෙවීමක මුදලක් අදාළ පාර්ශ්වයන්ට නොලැබීමක් සිදුවීමක් සම්බන්ධව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස හෙළිදරව්වක් සිදු කළේය.

තැපැල් දෙපාර්තමේන්තුව විසින් US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6ක මුදලක් එම දෙපාර්තමේන්තුව වෙත නොලැබී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

“මම තව එකක් කියන්නම්. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හැටියට US පෝස්ට් එකට ගෙවපු ඩොලර් ලක්ෂ 6ක් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒවා ආයතන මට්ටමින් සිදුකරගත යුතු දේවල්. ඒක කෙසේද සිදුවුණේ කියලා පරීක්ෂණයක් කරගෙන යනවා.

මේකෙදි වෙලා තිබෙන්නේ US පෝස්ට් වෙත ගෙවීමට තිබූ ඩොලර් හයලක්ෂ විසිපන්දහසක් නොලැබීම සම්බන්ධයෙන් US Post එක පැත්තෙන් කරුණු දැක්වීමක් කරලා තිබෙනවා.

එය සිදුවුණු ආකාරය සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව පැත්තෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් විමර්ශනයක් දියත් කරමින් පවතින්නේ. අවස්ථා දෙකකදි සිදුවෙලා තිබෙනවා ඒ ගැන තමයි දැන් විමර්ශන පැවැත්වෙන්නේ.”

සජබ ආරාධනයට එජාපය බෑ කියයි

සජබ ආරාධනයට එජාපය බෑ කියයි

සමගි ජන බලවේගයේ මැයි දින සැමරීම සඳහා සිය පක්ෂය සමඟ එකතු වන ලෙසට එක්සත් ජාතික පක්ෂයට කළ ආරාධනයකට පිලිතුරු දෙමින් එම පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල ලිපියක් නිකුත් කර ඇත.

මෙවර මැයි දිනය යෙදී ඇති පළමු වැනිදා පසළොස්වක පොහෝ දිනයක් බැවින් එදින දේශපාලන කටයුතුවල නොයෙදී ආගමික උත්සව සඳහා වෙන් කිරීමට එක්සත් ජාතික පක්ෂය කලින්ම තීරණය කළ බව ඇය සඳහන් කළාය.

එනිසා සමගි ජන බලවේගයේ හෝ වෙනත් පක්ෂයක හෝ මැයි දින රැලිවලට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂයට අවකාශක් නොමැති බව ඇය සඳහන් කළාය.

සමගි ජන බලවේගය එකට එකතු වී වැඩකිරීම බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව බවත් අනාගත දේශපාලන කටයුතු වලදී එකට වැඩ කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවද ඇය සඳහන් කළාය.

මාලදිවයින් ජනපති දිවයිනට

මාලදිවයින් ජනපති දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයක් මත, මාලදිවයින් ජනරජයේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මැයි (03) දින සිට (05) දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

මෙම සංචාරයේදී දෙරට අතර සහයෝගිතාව වර්ධනය කර ගනිමින් ක්ෂේත්‍රයන් ගණනාවක් ආවරණය වන අයුරින් අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

*පුහුණු වැඩසටහන් සංවිධාන කිරීම, කාර්යමණ්ඩල හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ඒකාබද්ධ පර්යේෂණ පැවැත්වීමට අදාළව මාලදිවයින් ජනරජයේ ආරක්ෂක සහ ජාතික සේවා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

*ගුරුවරුන් හා පාසල් නායකයින් පුහුණු කිරීම සහ වෘත්තීය සංවර්ධන ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා මාලදිවයිනේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ කුසලතා සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම.

*මාලදිවයින් ජනරජයේ සෞඛ්‍ය, පවුල් සහ සුබසාධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලය අතර අධ්‍යයන සහයෝගිතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.

*මාලදිවයින් ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.

*මාලදිවයින් ජනරජයේ ජාතික අධිලේඛනාගාරය සහ ශ්‍රී ලංකාවේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව අතර ලේඛනාරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.

*මාලදිවයින් ජනරජයේ තරුණ බලගැන්වීම් සහ යෝග්‍යතාව පිළිබඳ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය අතර ක්‍රීඩා සහ තරුණ සංවර්ධනය සඳහා වන අවබෝධතා ගිවිසුම.

ශානිගේ සහ රවීගේ ‍පෙත්සම විභාග කර අවසන්

ශානිගේ සහ රවීගේ ‍පෙත්සම විභාග කර අවසන්

පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධව තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තබා ඇත.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණි.

මත්තලට එන වනජීවී කාර්යාලය

මත්තලට එන වනජීවී කාර්යාලය

මත්තල ගුවන්තොටුපල පිහිටා තිබෙන ජෛව විවිධත්ව පරිසරය තුළ ඇතිවන සත්ව උපද්‍රව පාලනය කිරීමටත්, ගුවන්තොටුපළ සේවා‍ සහ මෙහෙයුම් සුරක්‍ෂිත කිරීමටත්, මත්තල ගුවන්තොටුපලේ වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් මත්තල ගුවන්තොටුපල පරිශ්‍රයේදී සිදු කළේය.

මෙම අවබෝධතා ගිවිසුම ගුවන්තොටුපල හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම සහ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන අතර අත්සන් කළේය.

සුගීෂ්වර ඇතුළු පිරිසට ගොම ප්‍රහාරයක්

සුගීෂ්වර ඇතුළු පිරිසට ගොම ප්‍රහාරයක්

මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමට විරෝධය පළ කිරීම සඳහා සුගීෂ්වර බණ්ඩාර ඇතුළු නව ජනතා පෙරමුණේ පාක්ෂිකයින් පිරිසක් අද (28) දින උදෑසන පැලවත්ත, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස අසලට ගොස් ඇත.

එහිදී නව ජනතා පෙරමුණේ පිරිස මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ නිවස අසල විරෝධය පළ කරමින් සිටියදී සුගීෂ්වර බණ්ඩාර ඇතුළු කිහිපදෙනෙකුට ගොම ප්‍රහාරයක් එල්ල කර ඇත.

අනතුරුව එහිදී දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර එම තත්ත්වය පාලයන කිරීම සඳහා පොලීසිය කැඳවා ඇත.

ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙකට ගැටෙයි

ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙකට ගැටෙයි

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර අසල සිදුවූ දුම්රිය අනතුරකින් 14දෙනෙකු මියගොස් තවත් 84දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාර්යාල දුම්රියක් සහ දුරගමන් සේවා දුම්රියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මැදිරි තුළ සිරවී සිටින මගීන් මුදාගැනීම සඳහා සහන සේවා ක්‍රියාත්මක කර ඇත.

මෙම අනතුර හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් සීමා කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ. 

මෛත්‍රී අල්ලස් කොමිසමට

මෛත්‍රී අල්ලස් කොමිසමට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අද (28) දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇත.

ප්‍රකාශයක් ලබා දීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇති බව වාර්තා වේ.

පාසල් ළමුන් රැගත් බස් රථයක් අනතුරක.. 34ක් රෝහලේ

පාසල් ළමුන් රැගත් බස් රථයක් අනතුරක.. 34ක් රෝහලේ

පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්ව ඇත.

බගවන්තලාව, රාණිකාඩු ප්‍රදේශයේ සිට බගවන්තලාව නගරයේ පිහිටි පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් 34 දෙනෙකු තුවාල ලබා ඇති බවත් තුවාල ලැබූ සිසුන් කඩිනමින් බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.

පෞද්ගලික බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය නතර කිරීමට රියදුරා බස් රථය ප්‍රධාන මාර්ගයේ පස් කන්දක ගැටීමට සලස්වා බස් රථය නතර කර ඇත.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට නිර්දේශ

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට නිර්දේශ

මෙරට මැතිවරණ වලදී විදේශගතවී සිටින ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ ප්‍රායෝගික ක්‍රමවේද සකස් කිරීම වෙනුවෙන් පත්කළ විශේෂ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත නිල වශයෙන් භාරදී ඇත.

විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 16ක පමණ අදහස් ඇතුළත් එම වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව පුළුල් ලෙස සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීමට රජය සූදානම් බව අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කරයි.

මෙම වාර්තාව සකස් කිරීමේදී විදේශගත ශ්‍රමිකයන්, ශිෂ්‍යයන්, ද්විත්ව පුරවැසියන් සහ වෙනත් අවශ්‍යතා සඳහා විදේශගත වූවන් ලෙස පුද්ගලයන් කාණ්ඩ හතරකට හඳුනාගෙන තිබෙන බව කමිටු සභාපති අතිරේක මැතිවරණ කොමසාරිස් නීතිඥ එල්.ඒ.පී.කේ. කුලරත්න සඳහන් කරයි.

එම ක්‍රියාවලිය ප්‍රධාන අංශ 04ක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති බවද අතිරේක මැතිවරණ කොමසාරිස් නීතිඥ එල්.ඒ.පී.කේ. කුලරත්න සඳහන් කරයි.

විදේශගත ශ්‍රමිකයන්, සිසුන් සහ ද්විත්ව පුරවැසියන් විධිමත් ලෙස ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය, විදේශයන්හි සිටින ඡන්ද දායකයන් සඳහා ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සහ මැතිවරණ වියදම් නියාමන පනතේ බලපෑම, තානාපති කාර්යාල හරහා, තැපැල් මගින් හෝ ආරක්ෂිත මාර්ගගත (Online) ක්‍රමවේද භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ ඇති හැකියාව සහ ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම එම ප්‍රධාන අංශ 4යි.