Local news

මහින්දට අත තියලා ආණ්ඩුව වැඩ වරද්ද ගන්නවා

මහින්දට අත තියලා ආණ්ඩුව වැඩ වරද්ද ගන්නවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව දේශපාලන දඩයමක් දියත් කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම්, ඊට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ මීළඟ අරගලය කුමක්දැයි ආණ්ඩුවට බලාගත හැකි බව මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ සඳහන් කරයි.

ආණ්ඩුවේ වැරදි හෙළි කරන හෝ ප්‍රධාන සාක්ෂිකරුවන් ලෙස සිටින පුද්ගලයන් අසාමාන්‍ය ලෙස මියයෑමේ ප්‍රවණතාවක් පවතින බවත් කන්ටේනර් 323 වංචාව සහ භාණ්ඩාගාර වංචා වලට අදාළ පුද්ගලයන්ගේ මරණ මීට නිදසුන් බවද මනෝජ් ගමගේ සඳහන් කරයි.

අල්ලස් කොමිසම පැලවත්තේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන බවත් ස්වාධීන කොමිසමක් ලෙස මහජන මුදල් කොල්ලකෑ සැබෑ වංචා පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙසට බලධාරීන්ට අභියෝග කරන බවද මනෝජ් ගමගේ සඳහන් කරයි.

රාජපක්ෂලාගේ කිසිදු හොරකමක් ඔප්පු කර ගැනීමට නොහැකිව ආණ්ඩුව අන්ත අසරණ වී සිටින බවත් මහින්ද රාජපක්ෂට අත තැබීමට උත්සාහ කරමින් ආණ්ඩුව වරද්දා නොගත යුතු බවද මනෝජ් ගමගේ සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් (09) දින මනෝජ් ගමගේ මේ බව සඳහන් කරයි.

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක දෙකක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඒ අනුව අද (09) රාත්‍රී 09.30 සිට හෙට (10) රාත්‍රී 09.30 දක්වා වලංගු වන පරිදි බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර සහ වැල්ලවාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටත් අදියර එක යටතේ මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

ගුටිකෑ බව කියන ටිල්වින් සිල්වා කතා කරයි

ගුටිකෑ බව කියන ටිල්වින් සිල්වා කතා කරයි

පක්ෂ කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් තමන්ට පහර දී රෝහල් ගතව සිටින බව පවසමින් පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

මෙම අසත්‍ය පුවත් පතුරුවන පිරිස් දේශපාලනිකව අවතැන් වූ බංකොලොත් මානසික ලෙඩ්ඩු පිරිසක් බවත් කිසියම් පිරිසක් රාත්‍රියට දකින හීන, උදෑසන සටහන් ලෙස සමාජ මාධ්‍ය හරහා පළ කරන බවද ටිල්වින් සිල්වා සඳහන් කරයි.

මේ වන විටත් තමන් හොඳින් සිටින බවත් සාමාන්‍යයෙන් පුවතක් වාර්තා කිරීමේදී මාධ්‍ය සදාචාරයක් පැවතිය යුතු අතර මෙවැනි සිදුවීමක් පිළිබඳ තොරතුරු ලද විගස තමාගෙන්  හෝ පක්ෂයෙන් ඒ පිළිබඳව විමසා කරුණු තහවුරු කරගත යුතු බවද ටිල්වින් සිල්වා සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කරයි.

“මිලින්ද රාජපක්ෂලා කිසිවක් දන්නේ නැතිව ප්‍රවෘත්ති සාකච්ඡා තියනවා. මේක හරියට අහස කඩා වැටෙනවා කියලා හාවා දුවපු කතාව වගේ එකක්. මෙවැනි පච ප්‍රචාර පතුරුවා ඒවා බොරු බව ජනතාවට වැටහෙන විට අවසානයේ බංකොලොත් වන්නේ ඔවුන්මයි. එවැනි අයට කවදාවත් ආණ්ඩු කරන්න ලැබෙන්නේ නෑ, මොකද මිනිස්සු ඔවුන්ව ප්‍රතික්ෂේප කරනවා.”

නව ආදිවාසී නායකයෙක් පත් කරයි

නව ආදිවාසී නායකයෙක් පත් කරයි

රතුගල නව ආදිවාසී නායකයා ලෙස දානිගල මහා බණ්ඩාරලාගේ නිශාන්ත කුමාර ඇත්තන් පත් කර ඇති අතර ඔහු මියගිය ආදිවාසී නායක සුදාවන්නිල ඇත්තන්ගේ පුත්‍රයා ද වේ.

අසනීප තත්ත්වයෙන් පසු වූ සුදාවන්නිල ඇත්තන් පසුගියදා මිය ගිය අතර එම ඇත්තන්ගේ අවසන් කටයුතු චාරිත්‍රානුකූලව  අද (09) රතුගලදී සිදු කළේය.

දේහය භූමදානය කිරීමට පෙර දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තන් භාවිත කළ දුන්න සහ කෙටේරිය නව නායකයා වෙත ලබාදෙන ලදී.

පල්ලේගම හිමිට අධිකරණයෙන් දුන් නියෝගය

පල්ලේගම හිමිට අධිකරණයෙන් දුන් නියෝගය

ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පල්ලේගම හේමරතන හිමියන් අද (09) අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පල්ලේගම හේමරතන හිමියන් එළඹෙන (12) වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

පල්ලේගම හේමරතන හිමියන්  ඊයේ (08) රාත්‍රියේ නවලෝක රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ අතර එම රෝහල් පරිශ්‍රයේදීම මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු පරීක්ෂාවට ලක් කර ඇත.

සැකකරු ලබන (12) වනදා අනුරාධපුර බන්ධනාගාරය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පල්ලේගම හේමරතන හිමියන්ව තවදුරටත් අදාළ පෞද්ගලික රෝහලේ රඳවා තැබිය නොහැකි බැවින්, වෛද්‍ය නිර්දේශ මත කොළඹ ජාතික රෝහල වෙත හෝ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර ඇත.  

5%ක පාරිභෝගිකයින්ට 18%ක විදුලි ගාස්තු වැඩිවීමක්

5%ක පාරිභෝගිකයින්ට 18%ක විදුලි ගාස්තු වැඩිවීමක්

මෙම වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු 18%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒකක 180ට අඩු ගෘහස්ථ කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

විදුලි පිරිවැය ඉහළයෑම හේතුවෙන් රුපියල් බිලියන 38ක පමණ හිඟයක් මෙම කාර්තු සහ ඉදිරි කාර්තුවට බලපෑම සහ ප්‍රධාන කාරණා 3ක් මුල්කර ගනිමින් විදුලි ගාස්තුව 18%කින් ඉහළ නැංවීමට කොමිෂන් සභාව තීරණය කර ඇත.

එහෙත් රුපියල් බිලියන 15ක සහනයක් ලබාදීමට රජය ලිඛිතව එකඟවීමත් සමග 5%කට පමණ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාවකට පමණක් මෙම වැඩිවෙන විදුලි ගාස්තුව බලපැවැත්වෙන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම විදුලි ගාස්තු වැඩිවීම 95%කටම අදාළ නොවන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

විෂ දුම් මුදාහරින වාහන හඳුනාගන්න නව ක්‍රමයක්

විෂ දුම් මුදාහරින වාහන හඳුනාගන්න නව ක්‍රමයක්

පරිසරයට අධික ලෙස විෂ දුම් මුදාහරිමින් ධාවනය වන වාහන හඳුනා ගැනීමට නවීන තාක්ෂණයෙන් සන්නද්ධ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මාර්ගයේ ධාවනය වන වාහන රහසිගතව නිරීක්ෂණය කර, ඒවායේ දුමාරය පදනම් කරගනිමින් ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කිරීම මෙහි විශේෂත්වය වන බව එහි වාහන වායු විමෝචන භාරකාර අරමුදල සඳහන් කරයි.

දිවයිනේ ප්‍රධාන නගර ආවරණය කරමින් මෙම ඒකකයේ නිලධාරීන් මාර්ගයේ රැඳී සිටිමින් අධික ලෙස දුම් පිටකරන වාහන ඡායාරූපගත කර එම ඡායාරූප සාක්ෂි පදනම් කරගනිමින් අදාළ වාහන හිමියන් වෙත එදිනම නියෝග නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

එලෙස නියෝග ලබන වාහන හිමියන් තම වාහනය නිසි පරිදි අලුත්වැඩියා කර, නියමිත දිනට වේරහැර පිහිටි වාහන වායු විමෝචන මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු බව එහි වාහන වායු විමෝචන භාරකාර අරමුදල සඳහන් කරයි.

ගම්මන්පිල පොලීසියට යයි

ගම්මන්පිල පොලීසියට යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද (09) උදෑසන කුලියාපිටිය පොලිසිය වෙත පැමිණ ඇත.

මහා භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා උදය ගම්මන්පිල අද (09) උදෑසන කුලියාපිටිය පොලිසිය වෙත පැමිණ ඇත.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදාළ මරණය සම්බන්ධයෙන් ගම්මන්පිල පසුගියදා මතභේදාත්මක කරුණු කිහිපයක් අනාවරණය කළ අතර ඒ පිළිබඳ කරුණු දැක්වීම සඳහා මෙලෙස පැමිණ ඇත.

කපිල චන්ද්‍රසේන කියන්නේ කවුද.?

කපිල චන්ද්‍රසේන කියන්නේ කවුද.?

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගොස් සිටියදී ඊයේ (08) දින පොලීසිය විසින් සොයාගත්තේය.

ඊයේ (08) දින උදෑසන කොල්ලුපිටිය, පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර පොලීසිය විසින් සොයාගෙන ඇත.

වාර්තා වන අන්දමට කපිල චන්ද්‍රසේන මියගිය එම නිවසේ හිමිකරු වන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වායි.

එම නිවසේ දෙවන මහලේ කාමරයක් තුළ තිබී කපිල චන්ද්‍රසේනගේ මළසිරුර සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

අරවින්ද සිල්වාගේ බිරිඳ වන අනුෂ්කා විජේනායකගේ බාල සහෝදරියක වන නියෝමාලි විජේනායකගේ සැමියා වන්නේ කපිල චන්ද්‍රසේනයි.

කපිල චන්ද්‍රසේන කියන්නේ කවුද.?

කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීයා වන අතර ඔහුගේ බිරිඳගේ නම ප්‍රියන්කා නියෝමාලි විජේනායක.

කපිල චන්ද්‍රසේන රාජපක්ෂ පවුලේ සමීපතම මිතුරෙක් වන අතර ඔහු 2011 වසරේ අගෝස්තු මාසයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරියා ලෙස මුලින්ම පත්වීමක් ලබනවා.

කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරියා ලෙස පත්කීරීම සිදුකළේ, මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා වන නිශාන්ත වික්‍රමසිංහ විසින්ය.

තවද මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන කාලයේ ආරම්භ කළ “මිහින් ලංකා” ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙසද කපිල චන්ද්‍රසේන කටයුතු කළේය.

කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

අත්අඩංගුවට ගනු ලැබූ කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අසාර්දින් මොයිනුධීන්ගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර ඇත.

සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC) නියෝජනය කරමින් කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්විය.

මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී සිය සහාය ජාතික ජන බලවේගයට ලබාදීමට කටයුතු කළ ඔහු අනතුරුව නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්විය.

ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයා බත්තරමුල්ල ප්‍රදේශයේදී අල්ලස් කොමිසම විසින් ඊයේ (08) අත්අඩංගුවට ගත්තේය.