Local news

අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ස්ථීර විසඳුමක් අවශ්‍යයි.!

අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ස්ථීර විසඳුමක් අවශ්‍යයි.!

අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ සහ අර්ධ හානියට පත් නිවාස හඳුනා ගැනීම නිසි ක්‍රමවේදයකට අනුව සිදු කරන ලෙසත්, වන්දි ලබාදීම සඳහා අවශ්‍ය නිවැරදි දත්ත කාර්යක්ෂමව ලබා ගැනීම සදහා විශේෂ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානානයක සහ නිවාස සංවර්ධන අධිකාරියේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය සොයා බැලීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

මෙවැනි ව්‍යසනයකට ජනතාව නැවත ලක් නොවන අයුරින් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට දීර්ඝ කාලීන විසඳුමක් ලබා දීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ සඳහා නිවැරදි දත්ත හඳුනා ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නායයෑම් හේතුවෙන් නිවාස 1289ක් පූර්ණ හානියට සහ නිවාස 44,574ක් අර්ධ වශයෙන් හානියට පත්ව තිබෙන බව දැනට සිදුකරන ලද සමීක්ෂණවලදී තහවුරු වී ඇති බව නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.!

ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.!

ආපදාවට ලක්වූවන්ට සහන සලසමින් සිටියදී වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර ඇති රත්මලාන පිහිටි නිවසට අද (04) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වු අතර ඒ මහතාගේ බිරිඳ, දෙමාපියන්, සොහොයුරු සොහොයුරියන් ඇතුළු පවුලේ සියලු දෙනා වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඌව ගොඩනගන්න පළාත් සභා නිලධාරීන් වැටුප පරිත්‍යාග කරයි.!

ඌව ගොඩනගන්න පළාත් සභා නිලධාරීන් වැටුප පරිත්‍යාග කරයි.!

ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් එම පළාත නැවත ගොඩනැගීමේ කටයුතු වෙනුවෙන් විසින් ඔවුන්ගේ එක්දිනක වැටුපක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ ඊට පළාතේ සියලු රාජ්‍ය නිලධාරීන් කැමැත්ත පළ කර ඇති බවය.

ඊට කැමැත්ත පළ කිරීමට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර ඇත.

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබුණි.

මුර දෙව්වර සේනා 28,000ක් ජන ජීවිත ගොඩ නගන සටනේ.!

මුර දෙව්වර සේනා 28,000ක් ජන ජීවිත ගොඩ නගන සටනේ.!

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා සඳහන් කළේ ගලවාගැනීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සෙබලුන් 28,500ක පිරිසක් තවදුරටත් සේවයේ යොදවා ඇති බවයි.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටි පුද්ගලයින් 31,057 දෙනෙකු මුදා ගැනීමට ත්‍රිවිධ හමුදාව කටයුතු කර ඇති බවද ඔහු පැවසීය.

මේ අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බිදවැටුනු විදුලි සංදේශන පද්ධතිය සියයට 75කට වඩා මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් බන්ධුල හේරත් මහතා  සදහන් කළේ බිදවැටුනු ෆයිබර් සබඳතාද යළි යථා තත්ත්වයට පත් කරමින් සිටින බවය.

මේ අතර ආපදා තත්ත්වය හමුවේ මෙරටට පැමිණි කිසිදු සංචාරකයෙකුට බරපතල බලපෑම් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසුවේ සියලුම සංචාරක ගමනාන්ත වෙත මේ වන විට ප්‍රවේශ වීමේ හැකියාව පවතින බවය.

ශ්‍රී ලංකාව නැවත ගොඩ නගන අරමුදලට රට විරුවෝ 19,000ක් මුදල් බැර කරති.!

ශ්‍රී ලංකාව නැවත ගොඩ නගන අරමුදලට රට විරුවෝ 19,000ක් මුදල් බැර කරති.!

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසන්නේ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ (Rebuilding Sri Lanka) අරමුදලට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000කට අධික පිරිසක් මුදල් බැර කර ඇති බවයි.

ඉකුත් 2 දා වන විට මේ පිරිස මුදල් බැර කර තිබූ බවද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

විපතට පත් අයට සහායක් ලබාදීම සඳහා අවස්ථාවක් දෙන්නැයි විදෙස් ගත ලාංකිකයන් සිදුකල ඉල්ලීම වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණයෙන් වැඩපිළිවෙළ දෙකක් අනුගමනය කරමින් සිටින බව සූරියප්පෙරුම මහතා සඳහන් කළේය.

එහි පළමු වැඩසටහනට අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන මූල්‍යමය සහාය වෙනුවෙන් ලංකා බැංකුවේ විශේෂ ගිණුම් අංකයක් ප්‍රකාශයට පත් කළ අතර දෙවන වැඩසටහන යටතේ මෙරටට භාණ්ඩ එවන පිරිසට අඩු ලියකියවිලි සංඛ්‍යාවකින් සහ කිසිදු ගාස්තුවකින් තොරව භාණ්ඩ එවීමේ ක්‍රියාවලිය පහසු කර තිබෙන බව කීය. එම භාණ්ඩ වලට අය කරන තීරුබදු සහ ගාස්තු ඉවත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධක බලකායක් ස්ථාපිත කර තිබෙන බව කී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා එබැවින් මෙරටට එවනු ලබන භාණ්ඩ ඉතා පහසුවෙන් නිදහස් කර ගැනීමට හැකියාව ලැබී තිබෙන බව සඳහන් කළේය.

මෙම පහසුකම ලැබෙන්නේ ආපද‍ා කළමනාකරණ මධ්‍යස්ථානයේ නමට භාණ්ඩ එවීමෙන් පමණක් වන අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රේගු වෙබ් අඩවියේ දැනටමත් සඳහන් කර තිබෙන්නේ යැයිද ඔහු කීය.

ආපදාව අස්සේ ව්‍යාපාරිකයෙක් කොල්ල කෑ පොලිසියේ දෙදෙනෙකු අත්අඩංගුවට.!

ආපදාව අස්සේ ව්‍යාපාරිකයෙක් කොල්ල කෑ පොලිසියේ දෙදෙනෙකු අත්අඩංගුවට.!

මාලබේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු ඊයේ (3) රාත්‍රී අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි.

ගමට යාමට බස් රථයක් නොමැති වීම හේතුවෙන් කඩුවෙල නගරයේ ලැගුම්හලක කාමරයක නවාතැන් ගෙන සිටි ව්‍යාපාරිකයෙකුට පහරදී මුදල් සහ රන් මුදුවක් කොල්ලකෑමේ සිදුවීමකට අදාළව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ලැගුම්හලේ කළමනාකරු සහ සේවකයෙකු වන බවද පොලිසිය පවසයි.

කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා තම දරුවා බැලීමසඳහා බියගම ප්‍රදේශයට පැමිණ නිවසට යාම සඳහා කඩුවෙල නගරයට පැමිණ බස් රථයක් නොමැති වීම හේතුවෙන් රාජ්‍ය බැංකුවක් අසල පිහිටි ලැගුම් හල වෙත ගොස් කාමරයක් කුලයට ලබාගෙන නවාතැන් ගෙන සිට ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී සැකකරුවන් සිව් දෙනා ලැඟුම් හලේ හිමිකරු සමග මත්පැන් පානය කරමින් සිට ඇති අතර කොස්තාපල් දෙදෙනා ව්‍යාපාරිකයා රැඳී සිටි කාමරයේ දොරට තට්ටු කර බලහත්කාරයෙන් දොර විවෘත කරවාගෙන ඔහුව පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා ඇතැයි ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලේ සඳහන්ය.

තමන් පැළඳ සිටි රන්මුදුවක් හා මුදල් පසුම්බියේ තිබූ රුපියල් 48000 ක මුදලක් දකොල්ලකා පහරදුන් බවත් දැඩි ආයාසයෙන් එම ස්ථානයෙන් පලා විත් යාබද ආපනශාලාවකට දිව ගොස් දිවි බේරා ගත් බවත් පැමිණිලිකාර ව්‍යාපාරිකයා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

අමෙරිකාවෙන් ඩොලර් මිලියන 2ක හදිසි ජීවිතාරක්ෂක ආධාර.!

අමෙරිකාවෙන් ඩොලර් මිලියන 2ක හදිසි ජීවිතාරක්ෂක ආධාර.!

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වු ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා හදිසි ජීවිතාරක්ෂක ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2ක් ලබාදීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත.

ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන කණ්ඩායම් වලට සහයවීමක් වශයෙන් මෙම ආධාර ලබා දෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චන්ග් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කරයි.

ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 3ක හදිසි මානුෂීය ආධාර.!

ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 3ක හදිසි මානුෂීය ආධාර.!

ආපදාවෙන් විපතට පත් ජීවිත බේරාගැනීම සහ ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 3ක හදිසි මානුෂීය ආධාර ප්‍රධානයක් සිදුකරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා සඳහන් කරයි.

පසුගියදා සිදුවු ආපදා හේතුවෙන් හානියට පත් ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් 3 සදහා ක්ෂණික ප්‍රධානයන් සිදුකිරීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර ඇත.

ජාතික ආපදා කළමනාකරණ අරමුදලට රුපියල් මිලියන 3.25ක පරිත්‍යාගයක්.!

ජාතික ආපදා කළමනාකරණ අරමුදලට රුපියල් මිලියන 3.25ක පරිත්‍යාගයක්.!

ජාතික ආපදා කළමනාකරණ අරමුදලට සහාය වීම පිණිස, රුපියල් 3,250,000.00 ක මූල්‍ය දායකත්වයක් ලබාදුන් අතර, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) විසින් (03) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී එම මුල්‍ය පරිත්‍යාගය විධිමත් අයුරින් භාර ගන්නා ලදී.

තර්ස්ටන් විද්‍යාලයීය භාර අරමුදලේ සභාපති නොයෙල් ජෝසප් විසින් මෙම පරිත්‍යාගය පිරිනමන ලදි.

තර්ස්ටන් විද්‍යාලයීය භාර අරමුදලින් රු. 2,250,000.00 ක් සහ ඕස්ට්‍රේලියාවේ සිටින තස්ටන් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ මුල්‍ය දායකත්වයෙන් රු. 1,000,000.00 ක් ද ඇතුළුව ලබාදුන් මෙම මුල්‍ය දායකත්වය ඔස්සේ ජාතික සුබසාධනය හා ආපදා කළමනා කරණ ප්‍රයත්නයන් වෙනුවෙන් තරස්ටන් විද්‍යාලීය ප්‍රජාවේ ඇති ශක්තිමත් සාමූහික කැපවීම විදහා දක්වයි.

මේ වනවිට රට පුරා ක්‍රියාත්මක ආපදා සහන සහ කළමනා කරණ මුලපිරීම් ශක්තිමත් කිරීම සඳහා ලබා දුන් මෙම කාලෝචිත හා අර්ථවත් සහයෝගය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා සිය ප්‍රශංසාව පළ කළ අතර, පරිත්‍යාගශිලීන්ගේ ත්‍යාගශීලීත්වය සහ ජාතික හැඟීම ද පැසසුමට ලක් කළේය.

ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹේ.!

ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹේ.!

ශ්‍රී පාද වන්දනා සමය අද (04) දිනයෙන් ආරම්භ වන අතර ශ්‍රී පාද වන්දනා සමය ලබන වසරේ වෙසක් පොහොය දිනය දක්වා ක්‍රියාත්මක වේ.

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භය සනිටුහන් කරමින් සධාතුක කරඩුව, ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් පෙරහැර අද (04) අලුයම සිරිපා මළුවට වැඩම කෙරුණි.