Local news

හෝමූස් පාලනය අමෙරිකානු හමුදාව යටතට

හෝමූස් පාලනය අමෙරිකානු හමුදාව යටතට

අමෙරිකානු හමුදාවන්ගේ සම්පූර්ණ පාලනය යටතේ හෝමූස් සමුද්‍ර සන්ධිය පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවකදී සඳහන් කරයි.

කෙසේ වෙතත් හෝමූස් සන්ධිය යළි විවෘත කිරීමට නම්, අමෙරිකානු යුද්ධය සහ අවහිර කිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතු බවත් අත්හිටුවන ලද ඉරාන වත්කම් මුදා හැරිය යුතු බවත් කලාපීය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ යුතු බවට ඉරානය කොන්දේසි පනවා ඇත.

මේ අතර අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් ඉරාන වරායක් වෙත ගමන් කිරීමට උත්සාහ කළ පැනමා කොඩිය යටතේ ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට මිසයිල දෙකක් අමෙරිකානු හමුදා විසින් එල්ල කර ඇත.

බැකෝ සමන්ගේ මව වෙඩිතබා ඝාතනය කරයි

බැකෝ සමන්ගේ මව වෙඩිතබා ඝාතනය කරයි

අද (12) මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ නමැත්තාගේ මව ජීවිතක්ෂයට පත්ව ඇත.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව මිද්දෙනිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.  

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර පලාගොස් ඇති අතර එම අවස්ථාවේදී මියගිය කාන්තාව පමණක් නිවසේ ඉදිරිපස සිට ඇති බව වාර්තා වේ.

ජනපති සමග සාකච්ඡා අවසන්.. ව්‍යවස්ථාව වෙනස් කිරීමට ආණ්ඩුවට බලය තියෙනවා

ජනපති සමග සාකච්ඡා අවසන්.. ව්‍යවස්ථාව වෙනස් කිරීමට ආණ්ඩුවට බලය තියෙනවා

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය සඳහන් කරයි.

ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපති නීතිඥ රජීව් අමරසූරිය සඳහන් කළේ,

අපේ ස්ථාවරය ගැන ජනාධිපතිතුමාට කතා කළා. පළමු වතාවට අපි ජනාධිපතිතුමාව මේ සම්බන්ධයෙන් හමුවුණේ. අපි කාලෙකට ඉස්සෙල්ලා සාකච්ඡාවක් ඉල්ලලා තිබුණා. අපි පැහැදිලි කරලා දුන්නා වෘත්තිය විනිසුරුතුමන්ලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ ඇයි කියලා.

මේ සාකච්ඡාවට අපේ විසි ගානක් හිටියා. ජනාධිපති නීතිඥවරු, නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරු, මහාචාර්යවරු. අපි එතුමාට පැහැදිලි කරා අපේ ස්ථාවරය. එතුමත් එතුමාගේ අදහස අපට කිව්වා. අපි අන්තිමට ඉල්ලීමක් කරා මේ වගේ වෙනස්කමක් කරනකොට පුළුල් විද්වත් සාකච්ඡාවකින් පසුව තමයි අවශ්‍ය පියවර ගත යුත්තේ කියලා. 

මේක කවුරුත් කාටවත් විරුද්ධ සටනක් නෙමෙයි. අදහස් පැති දෙකකින් ඉදිරිපත් වුණා. නීතිඥ සංගමයයි, නීතිඥ වෘත්තියේ මතයත්. අනිත් පැත්තෙන් ජනාධිපති ජනාධිපතිතුමාගේ අදහසත්. අපි බලාපොරොත්තු වෙනවා අද සාකච්ඡාව ඉදිරියට ගිහිල්ලා පුළුල් විද්වත් සාකච්ඡාවක්. නීතිඥ සංගමය විතරක් නෙවෙයි. විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ඉන්නවා.

මේ ගැන පර්යේෂණ කරපු අය ඉන්නවා. වෙන වෙන වාර්තා අපි ඉදිරිපත් කරලත් තියෙනවා. ඒවා හදපු අයත් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ සියලු දෙනාගේම අදහස් අරන් මේ තීරණය ගැන නැවත හිතලා බලලා, හරි තැනකට එන්න පුළුවන් වෙයි කියලා. අද හොඳ සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවෙන් අපි බලමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ආණ්ඩුවට බලය තියෙනවා.

ඒකට විරුද්ධ වෙලා ඒක වැරදියි කියන එක අපේ අයිතිවාසිකම. අද සාකච්ඡාවෙන් පස්සේ හොඳ අතකට හැරෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා. අපි හමුවුණේ අතිගරු ජනාධිපතිතුමා. එතුමත් පරිණත නායකයෙක්. පරිණත දේශපාලනඥයෙක්. නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අවුරුදු ගාණක් සටන් කරලා තියෙනවා. මම හිතන්නේ පාරටත් බැහැලා තියෙනවා.”

බැඳුම්කර ගිවිසුම් උල්ලංඝනය කළ පුද්ගලයින්ගෙන් මුදල් අයකර ගැනීම

බැඳුම්කර ගිවිසුම් උල්ලංඝනය කළ පුද්ගලයින්ගෙන් මුදල් අයකර ගැනීම

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) අවධානය යොමු කෙරිණි.

ඒ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (05) රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී විශ්වවිද්‍යාලයේ පරිපාලන හා මූල්‍ය කළමනාකරණය, ආයතනික පාලනය, අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය, ඩිජිටල් පද්ධති කළමනාකරණය, විනය පරීක්ෂණ, විදේශ අධ්‍යයන නිවාඩු ලබා ගත් ආචාර්යවරුන්ගේ බැඳුම්කර ගිවිසුම් සහ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ඇතුළු කරුණු රැසක් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය දේශීය ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයක පසු වුව ද, ලෝක ශ්‍රේණිගත කිරීම්වල පසුබෑමක් පෙන්නුම් කරන බව කාරක සභාව හමුවේ අනාවරණය විය.

එසේ වුවද, එය විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය පහත වැටීමක් නොව, ජාත්‍යන්තර තරඟකාරීත්වයේ වර්ධනයත් සමඟ ඇති වූ තත්ත්වයක් බව නිලධාරීහු පැහැදිලි කළහ.

විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පද්ධති සහ දත්ත කළමනාකරණය පිළිබඳව ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

ERP පද්ධතියේ ස්ථාවර වත්කම් මොඩියුලය ක්‍රියාත්මක කිරීමේදී සේවාදායක ධාරිතාව ප්‍රමාණවත් නොවීම, තොරතුරු තාක්ෂණ අංශයේ මානව සම්පත් හිඟය, පෞද්ගලික අංශය හා සසඳන විට පවතින වැටුප් විෂමතා හේතුවෙන් දක්ෂ තාක්ෂණික නිලධාරීන් රඳවා ගැනීමේ අපහසුව, පද්ධති යාවත්කාලීන කිරීමේ ප්‍රමාදයන් සහ වසර ගණනාවක් අවසන් නොකළ මෘදුකාංග ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කෙරිණි.

පද්ධති නඩත්තු කිරීම සඳහා විශ්වවිද්‍යාලය තුළම ස්ථිර හා විශේෂඥ තාක්ෂණික කණ්ඩායමක් ගොඩනැගීමේ අවශ්‍යතාවය මෙහිදී කාරක සභාව අවධාරණය කළේය.

විනය පරීක්ෂණ සම්බන්ධයෙන් ද කාරක සභාව දැඩි අවධානය යොමු කළ අතර, ඇතැම් විනය ක්‍රියාමාර්ග වසර ගණනාවක් තිස්සේ අවසන් නොවීම, නීතිමය සහ පරිපාලනමය ප්‍රමාදයන් හේතුවෙන් ආයතනයට මූල්‍ය හා පරිපාලනමය අහිතකර බලපෑම් ඇති වී තිබීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එවැනි කටයුතු කඩිනමින් නිම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව නිර්දේශ කළේය.

විදේශ අධ්‍යයන නිවාඩු ලබාගෙන නැවත සේවයට වාර්තා නොකළ ආචාර්යවරුන්ගේ බැඳුම්කර ගිවිසුම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු විය.

මේ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ බැඳුම්කර ගිවිසුම් උල්ලංඝනය කිරීම සම්බන්ධව මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

කෙසේ වෙතත්, 2025 වර්ෂයේදී පමණක් රුපියල් මිලියන 201ක මුදලක් අයකර ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමත්ව ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.

එසේම, මෙම ගැටලුව තනි විශ්වවිද්‍යාල මට්ටමින් විසඳිය නොහැකි බැවින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) මැදිහත්ව සෑම රජයේ විශ්වවිද්‍යාලයකම අදාළ වන පරිදි ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය ද කාරක සභාව අවධාරණය කළේය.

තවද, බැඳුම්කර ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පමණක් නොව, ඔවුන් ලෝකයේ කුමන රටක සිටිය ද අන්තර්ජාලය ඔස්සේ මෙරට සිසුන්ට ඉගැන්වීම් හා පර්යේෂණ සඳහා දායක කර ගැනීම වැනි විකල්ප ක්‍රමවේදයන් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.

අවසානයේදී, විශ්වවිද්‍යාලයේ පාලනය, විනිවිදභාවය සහ වගවීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විගණන නිර්දේශ සහ කාරක සභාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස COPE කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

සුගීෂ්වර එනවා.. හිනාවෙනවා.. ආපහු යනවා

සුගීෂ්වර එනවා.. හිනාවෙනවා.. ආපහු යනවා

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අද (12) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සුගීෂ්වර බණ්ඩාර අගෝස්තු මස (25) වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මරණ දඬුවම අහෝසි කරන ලෙබනනය

මරණ දඬුවම අහෝසි කරන ලෙබනනය

නිල වශයෙන් මරණ දඬුවම අහෝසි කිරීමට ලෙබනන පාර්ලිමේන්තුව තීරණය කර ඇති අතර ඒ අනුව ලෙබනනය නීතිගතව මරණ දඬුවම අහෝසි කළ පළමු මැදපෙරදිග රට බව වාර්තා වේ.

2024 වසරෙන් පසු ලෙබනනයේ කිසිදු මරණ දඬුවමක් ක්‍රියාත්මක කර නොමැති බව වාර්තා වන අතර එම මරණ දඬුවම අහෝසි කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වූ බව එරට පාර්ලිමේන්තු කථානායක කාර්යාලය සඳහන් කරයි.

ලෙබනනයේ මරණ දඬුවම නිල වශයෙන් අහෝසි කිරීමට ගත් තීරණය ඓතිහාසික පියවරක් බව ලෙබනන අධිකරණ අමාත්‍ය අඩෙල් නසාර් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සඳහන් කරයි.

තවත් මේක ඉවසන්න බෑ.. අපි උසාවි යනවා

තවත් මේක ඉවසන්න බෑ.. අපි උසාවි යනවා

රජය විසින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත පනතට එරෙහිව ලබන සතියේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කරයි.

හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් අද (12) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

ලබන සතියේ අපි උසාවි යනවා. අපි කිසිඳු සැකයකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණයට ඒත්තු ගන්වනවා මේ කරන්න හදන වැඩෙන් ගොඩ ගැහිලා තියෙන නඩු නීතියේ ප්‍රමාදය සම්බන්ධයෙන් කිසිඳු විසඳුමක් මේ තුළින් ලැබෙන්නේ නැහැ කියලා.

මොකුත්ම වෙන්නේ නෑ. සියයට 1යි නඩු තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ. කිසිම ප්‍රයෝජනයක් නෑ ඒ සම්බන්ධයෙන්.”

අපි මෙරට සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් හමුවුණා. ශ්‍රී ලංකා අධිකරණය සහ මහා බ්‍රිතාන්‍ය, පොදුරාජ්‍ය මණ්ඩලය අතර ඉතාමත් දීර්ඝ සහ ගැඹුරු සම්බන්ධතාවයක් තිබුණා.”

වසර කිහිපයකට පසු පාස්කු මහ නඩුවේ තීන්දුවට සියල්ල සූදානම්

වසර කිහිපයකට පසු පාස්කු මහ නඩුවේ තීන්දුවට සියල්ල සූදානම්

මරාගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවෝ 24 දෙනකුට එරෙහිව විභාග වන පාස්කු මහ නඩුවේ තීන්දුව ළඟදීම ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.

මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාග වේ.

වසර 5කට ආසන්න කාලයක් තුළ දින 245ක් පමණ දීර්ඝ වශයෙන් ඉදිරිපත් කෙරුණු පැමිණිල්ලේ නඩුව ඊයේ (11) රාත්‍රිය වන විට පැමිණිලි පාර්ශ්වයේ අවසාන සාක්ෂි ඉදිරිපත් කිරීම සිදුවිය.

එම පැමිණිල්ලේ නඩුව අවසන් වීමෙන් පසුව විත්තියේ සාක්ෂි විමසීම සිදුවන අතර අනතුරුව දෙපාර්ශ්වයේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමෙන් පසු තීන්දුව සඳහා දින නියම කිරීම සිදු කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු 31ක් පවරා ඇති අතර එම නඩු අතරින් නඩු 5ක් ත්‍රිපුද්ගල මහාධිකරණ හමුවේ විභාග වන අතර ඉන් නඩු 3ක තීන්දු මේ වනවිට ප්‍රකාශයට පත්කර වැරැදිකරුවන්ට දඬුවම් නියම කර ඇත.

බුද්ධි තොරතුරු ලැබී තිබියදී රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා 854කට වරදකරු කෙරුණු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කළේය.

මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා 7කට හා දේව ප‍්‍රතිමාවකට අලාභහානි කිරීම සම්බන්ධයෙන් සබරගමුව පළාත් ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාග වූ නඩුවෙන් වැරැදිකරුවන් වූ විත්තිකරුවන් 11 දෙනකුට දඬුවම් නියම කළේය.

මෙම නඩු තුනේ තීන්දු ප්‍රකාශයට පත්ව ඇති අතර තවත් නඩු තුනක තීන්දු ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අලුත්කඩේ පැරැණි මහේස්ත්‍රාත් උසාවි සංකීර්ණයේ ස්ථාපිත කළ නව ගොඩනැඟිල්ල වෙත ගෙන යෑමෙන් පසුව පාස්කු මහ නඩුව දිනපතා විභාගයට ගැනීම සිදුවේ.

බොරු අස්සේ ඇත්ත සොයා විශේෂ මෙහෙයුම්

බොරු අස්සේ ඇත්ත සොයා විශේෂ මෙහෙයුම්

පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අටපිරිකර හා පිරිකර භාණ්ඩ අලෙවියේදී නීතිමය කරුණු අනුගමන කරන්නේ දැයි පරීක්ෂණ කිරීමේ අරමුණින් විශේෂ වැටලීම් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් දිවයින පුරා මේ වනවිට විශේෂ වැටලීම් 119ක් සිදුකර ඇති අතර එම වැටලීම් වලදී අදාළ භාණ්ඩවල හෝ ඒවායේ ඇසුරුම් වල නියමිත තොරතුරු සඳහන් කර තිබේ ද යන්න සහ අදාළ නීතිමය අවශ්‍යතා පිළිපදිනවාද යන්න පරීක්ෂාවට ලක්කර ඇත.

වෙළෙඳුන් විසින් පවත්වාගෙන යා යුතු බිල්පත්, ඉන්වොයිස් සහ අනෙකුත් අදාළ ලේඛන සම්බන්ධයෙන් මෙහිදී විමර්ශනය කර ඇති අතර එහිදී නීති උල්ලංඝනයට අදාළ අටපිරිකර, සිවුරු, අදනකඩ, බඳපටි, පාත්‍ර සහ අනෙකුත් පිරිකර ඒකක 436ක් නිලධාරීන් භාරයට ගෙන ඇත.

අටපිරිකරවල දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරක් ඇතුළත් කර තිබීම, අටපිරිකරට අදාළ කොටස් අට සම්පූර්ණ නොවීම, මිල අනුව ඇතුළත් කර ඇති භාණ්ඩ වෙනස් වීම, ඇලුමිනියම්වලින් නිෂ්පාදනය කළ පාත්‍ර, තැලී ගිය පාත්‍ර සහ මළ බැදුණු දැලි පිහි ඇතුළත් කර තිබීම වැනි අක්‍රමිකතා මෙම වැටලීමේදී අනාවරණය වී ඇත.

විධිමත් ගමන් බලපත්‍රයක් භාවිතයෙන් තොරව රටින් පැන්න අයට මොකද වෙන්නේ.?

විධිමත් ගමන් බලපත්‍රයක් භාවිතයෙන් තොරව රටින් පැන්න අයට මොකද වෙන්නේ.?

යුද සමයේ රට තුළ වූ අස්ථාවර තත්ත්වය හේතුවෙන් අනුමත තොටුපොළකින් හා විධිමත් ගමන් බලපත්‍රයක් භාවිතයෙන් තොරව මෙරටින් ඉන්දියාව වෙත ගොස් අවතැන්ව සිට පසුව ඉන්දීය රජයේ සරණාගතයින් ලෙස ලියාපදිංචිය ලද තැනැත්තන් එක්සත් ජාතීන්ගේ සරණාගත මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) හරහා ස්වේච්ඡාවෙන් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටී.

ඔවුන්ට මෙරටට පැමිණීම සඳහා අවශ්‍ය ආගමන නිෂ්කාශන පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන ඇත.

නීතිපති විසින් ලබාදෙන ලද උපදෙස් අනුව පහත පියවර ගනිමින් ඉහත සඳහන් පරිදි ඉන්දියාවට ගොස් ඇති ශ්‍රී ලාංකිකයින්ට නැවත මෙරටට පැමිණීම සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

2006-08-01 දිනට පෙර අනුමත තොටුපොළකින් හා විධිමත් ගමන් බලපත්‍රයක් භාවිතයෙන් තොරව රටින් පිටව ගොස් ඉන්දියාවේ අවතැන්ව සිට එරට ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල කාර්යාල මඟින් ශ්‍රී ලාංකිකයෙකු බවට අනන්‍යතාව තහවුරු කර ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයෙන් නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීම.

ඔවුන් මිනීමැරුම්, රාජ්‍යද්‍රෝහිත්වය සහ නීතියෙන් විශේෂ විධිවිධාන සලසා ඇති හෝ නියම කරන ලද වැරදි සිදු නොකරන ලද පුද්ගලයෙකු බව තහවුරු කර ගැනීම.

අදාළ පුද්ගලයන් සඳහා තාවකාලික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කර, 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතට අනුව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් තොරව අනුමත තොටුපොළකින් රට තුළට ඇතුළු වීමට අවස්ථාව ලබාදීම.

2006-08-01 දින සිට මෙරට යුද්ධය අවසන් වූ 2009-05-19 දින දක්වා අනුමත තොටුපොළකින් හා විධිමත් ගමන් බලපත්‍රයක් භාවිතයෙන් තොරව රටින් පිටව ඉන්දියාව වෙත අවිධිමත්ව සංක්‍රමණය වූ ඉහත පරිදි අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව රාජ්‍ය බුද්ධි සේවයෙන් නිෂ්කාශන වාර්තාවක් ලබා ගන්නා ලද ශ්‍රී ලාංකිකයින්හට 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත මඟින් ආගමන හා විගමන පාලක ජනරාල් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව එකී පනත යටතේ කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් තොරව අනුමත තොටුපොළකින් රට තුළට ඇතුළු වීමට අවස්ථාවක් ලබාදීම.

මිනීමැරුම්, රාජ්‍යද්‍රෝහිත්වය සහ නීතියෙන් විශේෂ විධිවිධාන ඇති හෝ නියම කළ යුතු වැරදි සඳහා වරදකරුවන් වන පුද්ගලයන් වෙතොත්, ඔවුන් තොටුපොළේදී රඳවා ගෙන අවශ්‍ය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා අදාළ ආයතන වෙත යොමු කිරීම.