Local news

සියලුම ඉන්ධන මිල ඉහළ⁣ට.. නව මිල ගණන් මෙන්න

සියලුම ඉන්ධන මිල ඉහළ⁣ට.. නව මිල ගණන් මෙන්න

සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 407කි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 434කි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 478කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් ‍495කි.

ලංකා භූමිතෙල් මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 285කි.

පල්ලේගම හිමිගේ ධුරය අත්හිටුවයි.. නව අටමස්ථානාධිපති පත් කෙරේ

පල්ලේගම හිමිගේ ධුරය අත්හිටුවයි.. නව අටමස්ථානාධිපති පත් කෙරේ

අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන් තාවකාලිකව පත්කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කළ බව මල්වතු මහා විහාරය අද (30) නිවේදනය කළේය.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක හා අටමස්ථානාධිපති, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳ පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙනතුරු මෙම තාවකාලික පත්කිරීම සිදුකළ බව එම නිවේදනයේ සඳහන් වේ.

විදුලි සැපයුම ගැන දැනුම්දීමක්

විදුලි සැපයුම ගැන දැනුම්දීමක්

අද (30) දින ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් ප්‍රදේශ රැසක විසන්ධි කළ විදුලි සැපයුම නැවතත් යථා තත්ත්වයට පත් කර ඇතැයි ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම සඳහන් කරයි.

ඒ අනුව කොළඹ ඇතුළු ප්‍රදේශ 100කට පමණ විසන්ධි කර තිබූ විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම සඳහන් කරයි.

අද සවස තද වැසි

අද සවස තද වැසි

අද (30) දින ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රදේශ රැසකට විදුලිය අත්හිටුවයි

ප්‍රදේශ රැසකට විදුලිය අත්හිටුවයි

අද (30) දින ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුලු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීමට සහ අද දිනයේ පවතින අඩු විදුලි ඉල්ලුම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදුවූ බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

කෙසේ වෙතත් විදුලිය විසන්ධි කර ඇති ප්‍රදේශවල විදුලි සැපයුම යථා  තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

රට පුරාම දන්සැල්

රට පුරාම දන්සැල්

වෙසක් පොහොය නිමිත්තෙන් දන්සැල් 17,818 ක් සංවිධානය කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එම සියළු දන්සැල් අද (30) දිනයෙත් පරීක්ෂාවට ලක්කරන බව එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කරයි.

මේ අතර සාම්ප්‍රදායික බත්, නූඩ්ල්ස්, සිසිල් බීම දන්සැල්වලට එහා ගිය දන්සැල් රැසක් මෙවර වෙසක් පොහොය නිමිති කරගනිමින් දිවයිනේ විව්ධ ප්‍රදේශවල පැවැත්වේ.

ඒ අනුව අයිස් කෝපි, කප් කේක්, කොත්තු, ඩොනට්ස්, ලාවා කේක්, පැස්ටා, මැකරෝනි, තායි රයිස් යනාදී ආහාර පාන ලබා දෙන දන්සැල් මෙවර දැකගත හැකියි.

නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත්කර ඇත.

ඒ අනුව ඊයේ (29) දිනයේ සිට ක්‍රියාත්මක වෙන පරිදි එම පත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

යුද ගැටුම් අවසන් කිරීමේ ගිවිසුමට තමන් තවමත් සූදානම් නෑ

යුද ගැටුම් අවසන් කිරීමේ ගිවිසුමට තමන් තවමත් සූදානම් නෑ

අමෙරිකාව විසින් ඉරානය සමඟ පවතින ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් ගිවිසුමකට අත්සන් තැබීමට තමන් තවමත් සූදානම් නැති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා ධවල මන්දිරයේදී සිය උපදේශකවරුන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වමින් සිටින බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සිය ‘ටෲත් සෝෂල්’ ගිණුමෙහි සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සහ න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කිරීමට තාවකාලික එකඟතාවයකට පැමිණ තිබියදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කර ඇත.

ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් වේවා

ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් වේවා

බුදුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව ජීවිතය හැඩගස්වා ගනිමින්, ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් වේවායි මම ලක්වාසී සැමට ප්‍රාර්ථනා කරමි.

බාහිර ලෝකය ආලෝකවත් කරන්නා සේම, තමන්ගේ හදවත තුළ දයාව, කරුණාව සහ ප්‍රඥාව ආලෝකමත් කරගැනීමට මෙවර වෙසක් සමය අවස්ථාවක් කරගත යුතුය. ලෝභ, ද්වේශ, මෝහ යන අකුසලයන් දුරුකරමින්, සාමය හා සැනසීම උදා කරගන්නා වූ පින්බර කාලසීමාවක් බවට මෙය පත්කර ගනිමු.

​“අභිත්ථරෙථ කල්‍යාණේ” – පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු. මෙවර රාජ්‍ය වෙසක් තේමාව කාලීන සමාජ අවශ්‍යතාව මැනවින් නිරූපණය කරන්නකි. පෞද්ගලික පටු අරමුණුවලින් බැහැරව, පොදු යහපත උදෙසා කැපවෙන, ධර්මයේ බැබළෙන දේශයක් උදා කර ගැනීමට මෙම වෙසක් මංගල්‍යය අපට ආශිර්වාදයක් හා ශක්තියක් විය යුතුය.

​අතිපූජ්‍ය මහානායක ස්වාමීන්වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන රාජ්‍ය වෙසක් මහෝත්සවය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරමි.

රජය සහ බුදු දහම අතර පවතින ගැඹුරු බැඳීම තුළින්, දැහැමි පාලනයක් ඔස්සේ රටේ දියුණුව සහ සෞභාග්‍යය උදාකර ගත හැකිය. කුල, මල හෝ ආගම් භේදයකින් තොරව සැමට සාධාරණය ඉටුවන, “සියලු සත්වයෝ සුවපත් වෙත්වා” යන උදාර සංකල්පය මත පිහිටා රටක් ලෙස අප මුහුණ දෙන ආර්ථික හා සමාජීය අභියෝග ජයගැනීමට අවශ්‍ය ඉවසීම පුරුදු කිරීම මෙහිදී අත්‍යවශ්‍ය වේ.

අන්තගාමීත්වය බැහැර කොට මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරමින්, සොබාදහමට හිතැති, පරිසර හිතකාමී වෙසක් සැමරුමකට එක්වන ලෙස මම ඔබ සැමගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ප්‍රතිපත්තිගරුක සමාජයක් උදෙසා එක්ව පෙරට යමු. සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

සදහම් සිසිලෙන් සැම සිත් නිවී සැනසෙන අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා

සදහම් සිසිලෙන් සැම සිත් නිවී සැනසෙන අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා

සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් උත්සවය ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවගේ උතුම්ම මංගල්‍යයයි. බෞද්ධ උරුමයන්ගෙන් සුපෝෂිත ප්‍රෞඪ සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකේය ජනතාව ලෝකවාසී බෞද්ධයන් සමඟ එක්ව මෙම උතුම් තෙමඟුල බැතියෙන් සමරති.

බුදු දහම යනු සමස්ත ලෝකයටම ප්‍රායෝගික වූත්, සර්වකාලීන වූත් සාමයේ පණිවිඩය රැගෙන ආ ශ්‍රේෂ්ඨතම දාර්ශනික ඉගැන්වීමකි. ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සමස්ත ධර්මස්කන්ධයම ගොඩනැගී ඇත්තේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණයන් මූලික කරගනිමිනි.

එමෙන්ම සාමය, සහජීවනය සහ සංහිඳියාව පිළිබඳ පරමාදර්ශී පාඩම බුදුන් වහන්සේ මෙන්ම සියලු ශාස්තෘන් වහන්සේ අනුදැන වදාළ ධර්මයයි. බාහිර ලෝකයේ සාමය ස්ථාපිත කිරීම සඳහා ප්‍රථමයෙන් පුද්ගලයාගේ අභ්‍යන්තර ආධ්‍යාත්මික සාමය තහවුරු විය යුතු බව බුදු දහම පෙන්වා දෙයි.

පොදු යහපත් අරමුණු වෙනුවෙන් සමාජය පෙළගැසීමට බුදු දහමින් පෙන්වා දෙන මෙම අභ්‍යන්තර සාමකාමී ප්‍රවේශය අන් කවරදාටත් වඩා අදට අදාළ වන බව අප පසක් කොටගත යුතුය. පසුගියදා මෙරට පාද යාත්‍රාවේ නිරත වු වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින්ද ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූයේ එම පණිවිඩය බව මම විශ්වාස කරමි.

එමෙන්ම, වෙසක් සැමරුම ආගමික උත්සවයක් මෙන්ම වසර දහස් ගණනක් පුරා ශ්‍රී ලාංකේය අනන්‍යතාව, සාමූහිකත්වය සහ කලාත්මක නිර්මාණශීලීත්වය විදහා දක්වන විශිෂ්ට සංස්කෘතික මංගල්‍යයක්ද වේ.

වෙසක් සැමරුම හා සමගාමීව ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සංවිධානය කෙරෙන දාන, ශීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහන් මෙන්ම ආමිස පූජාවන්ට මුල් තැන දෙමින් සංවිධානය කෙරෙන දන්සැල්, බොදු බැති ගී, අලංකාරවත් පහන් කූඩු, දර්ශනීය තොරණ, සැරසිලි ආදිය බෞද්ධයන් පමණක් නොව සියලු ආගම් වලට අයත් ලාංකිකයන්ගේ එකමුතුවෙන් විචිත්‍රවත් වේ.

ඒ අනුව සියලු ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, එකමුතුව සහ සහජීවනය වර්ධනය කෙරෙන වෙසක් සැමරුම සංහිඳියාවේ සංකේතයක් බවද අවිවාදිතය.

අවිහිංසාව, දයාව සහ සියලු සත්වයන් කෙරෙහි පවතින අප්‍රමාණ මෛත්‍රිය පෙරදැරි කරගත් සම්බුදු දහමේ හරයන් තවදුරටත් අප ජීවිතවලට එක් කර ගැනීමට සියලු දෙනාට ආරාධනා කරමින් සදහම් සිසිලෙන් සැම සිත් නිවී සැනසෙන අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා’යි ශුභාශිංසනය කරමි.