Local news

ජනතාවට විදුලි බිලෙන් සහනයක්

ජනතාවට විදුලි බිලෙන් සහනයක්

දැවිතෙල් සහ නැප්තා මිල ගණන් අඩු කිරීම සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී එම සහනය ජනතාවට ලබාදීමට කටයුතු කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

ඉදිරි විදුලි බිල සංශෝධනයේදී එම සහනය ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද විදුලිබල සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ,

“දැවිතෙල් සහ නැප්තා මිල අඩු කිරීම සැලකිල්ලට අරගෙන විදුලි බිල මිල තීරණය කිරීමේදී එහි වාසිය විදුලි පාරිභෝගිකයින්ට ලබාදීම සඳහා කටයුතු කරන්න පුළුවන්ද කියන එක අපි සලකා බලනවා.”

මේ අතර ගල්අඟුරු පිළිබඳව හිග තාවයක් පවතින්නේ නැති බවත් ගල්අඟුරු පදනම් කරගනිමින් කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

සත්‍ය බොහෝම කටුකයි.. බන්ධනාගාරයේ සිටින නාමල්ගෙන් ප්‍රකාශයක්

සත්‍ය බොහෝම කටුකයි.. බන්ධනාගාරයේ සිටින නාමල්ගෙන් ප්‍රකාශයක්

මේ වනවිට බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා ඇත.

එම සටහන පහතින්..

“වසර දෙකක් පුරාවට ඔවුන් කියා සිටියේ අපට එරෙහිව ඔවුන් සතුව සාක්ෂි තිබෙන බවයි. සොරා ගත් මුදල් නැවත ලබා ගෙන සත්‍ය හෙළි කරන බවයි.

මා සම්බන්ධව යම් සාක්ෂියක් පවතින්නේ නම්, සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයකට මුහුණ දීමට මම සූදානම්. කිසියම් වරදක් සිදු කර ඇත්නම් එයට අදාළ නීතිමය පසුබිම යටතේ කටයුතු කිරීමට මම සූදානම්.

නීතියට මුවා වී වෛරී සහගත දේශපාලන පලි ගැනීම් සිදු නොවිය යුතු බව අවධාරණය කරමි. අද දිනයේ සැප්තැම්බර් 18 දක්වා මා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

හෙට රජය බලයට පැමිණ වසර දෙකක් ගතවන මොහොතේ ජන හමු පැවැත්වීමට නියමිත අතර, ජනාධිපතිවරයා එහිදී ජනතාව අමතනු ඇත.

වසර දෙකක පාලනයෙන් පසුව ජනතාව වෙනුවෙන් සැබැවින්ම ඉටු කළේ කුමක්දැයි බරපතල ගැටළු බොහෝමයක් මතු වී ඇති අවස්ථාවක, අද මේ සිදුවීම නොසලකා හැරීම අපහසු ය.

එසේම, සැප්තැම්බර් 12 වනදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත අපගේ දැවැන්ත ජන රැළිය සඳහා දහස් ගණනින් ජනතාව එක්වීමට නියමිතය.

මා හට බිය වීමට කිසිවක් නැත. සඟවා තැබීමට කිසිවක් නැත. මා සෑම මොහොතකම විශ්වාස කළ නිවැරදි දෑ වෙනුවෙන්ද, මා නියෝජනය කරන ජනතාව වෙනුවෙන් ද පෙනී සිටින අධිෂ්ඨානයෙන් මේ සියලු අභියෝගයන්ට මුහුණ දෙමි.

මාගේ නිදහස අහිමි කළ හැක්කේ එක්තරා කාලයකට පමණි. නමුත් මාගේ හඬ, මාගේ විශ්වාසයන් හෝ මාගේ ආදරණීය මාතෘ භූමියේ ජනතාව වෙනුවෙන් මා කරන කැප කිරීම උදුරා ගත නොහැක.

දේශපාලන බලය තාවකාලිකය.
සත්‍ය සදාකාලිකය. මේ සියලු සිදුවීම් කුමක් උදෙසාද, කවදා කවුරුන් විසින් සිදු කළේද යන්න ඉතිහාසය සාක්ෂි දරනු ඇත.

මේ සියල්ලටම මම නොබියව මුහුණ දෙමි.

  • නාමල් රාජපක්ෂ”
චොකා මල්ලිට අධිකරණයෙන් තහනමක්

චොකා මල්ලිට අධිකරණයෙන් තහනමක්

මරණීය දණ්ඩනය ලබා නිදහස් කෙරුණු හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව මෙම විදෙස් ගමන් තහනම ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට ඔක්තෝම්බර් මස (21) වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසද විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

මරණීය දණ්ඩනය නියම වු ප්‍රේමලාල් ජයසේකර නිදොස් කොට නිදහස් කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව එය බල රහිත කර දඩූවම් පැමිණවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

එම පෙත්සම අද (04) අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත්තේය.

මහ රෑ වෙඩි පත්තු වෙයි.. අයෙක් මරුට

මහ රෑ වෙඩි පත්තු වෙයි.. අයෙක් මරුට

අද (04) දින රාත්‍රියේ බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙක් ඝාතනය කර ඇත.

අදාළ පුද්ගලයා සිය නිවසේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල අවියකින් වෙඩිතබා ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඝාතනයට ලක්වී ඇත්තේ අවුරුදු 74ක් වූ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කොස් මල්ලි’ නමැත්තාගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ පුද්ගලයා බව වාර්තා වේ.

ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරයි

ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරයි

දේශීය ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 20 (5) වැනි වගන්තිය යටතේ ක්‍රියා කරමින් කිසිම දේශීය සාදන්නෙකු, අසුරන්නෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් පහත සඳහන් කර ඇති ටින් කළ මාළු වර්ග පහත සඳහන් උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළෙදාම් කිරීම, වෙළෙදාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළඳාම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට මෙයින් නියම කරනු ලබන බව එහි දැක්වෙයි.

ග්‍රෑම් 155ක ටූනා ටින් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙස නියම කර තිබෙන අතර ග්‍රෑම් 425ක ටූනා ටින් එකක උපරිම මිල රුපියල් 510ක් ලෙස නියම කර ඇත.

ග්‍රෑම් 155ක මැකරල් ටින් එකක් රුපියල් 240ක් ලෙස නියම කර ඇති අතර ග්‍රෑම් 425ක මැකරල් ටින් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 540ක් ලෙස නියම කර ඇත.

ජැක් මැකරල් ග්‍රෑම් 155ක ටින් එකක් රුපියල් 260ක් ලෙස නියම කර ඇති අතර ග්‍රෑම් 425ක ටින් එකක් රුපියල් 600ක් ලෙස නියම කර ඇත.

මෙම නියෝගය 2026 සැප්තැම්බර් මස (05) වනදා සිට බලපැවැත්වෙනු ඇත.

නාමල් වෙනුවෙන් එජාපය පෙරට එයි

නාමල් වෙනුවෙන් එජාපය පෙරට එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

මේ මස (12) වැනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා රැලිය කඩාකප්පල් කිරීම මෙහි අරමුණ වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

ජොන්ස්ටන්ට අධිකරණයෙන් දුන් නියෝගය

ජොන්ස්ටන්ට අධිකරණයෙන් දුන් නියෝගය

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුද්ගලික සමාගමක හිමිකරුවකු වන හේමන්ත ලලිත් ද සිල්වා යන සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) දින නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

සැකකරුවන් රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළේය.

පොල්ගොල්ල, මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනයෙන් ඒවා මිලදී නොගෙන වෙනත් පුද්ගලික සමාගමකින් ඒවා මිලදී ගැනීමට කටයුතු සැලසීම තුළින් රජයට රුපියල් හැත්තෑ නව ලක්ෂ හැත්තෑ තුන්දහස් එකසිය දාහතරක පාඩුවක් සිදුකර දූෂණය නමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අනුව මෙම සැකකරුවන්ට එරෙහිව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ වරදක් සිදුකළ බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

අනතුරුව මෙම නඩුකරය නොවැම්බර් මස (17) වනදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

හැඬු කඳුලින් නාමල් බන්ධනාගාරයට

හැඬු කඳුලින් නාමල් බන්ධනාගාරයට

අද (04) දින අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අසංග එස් බෝදරගම හමුවට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන (18) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අසංග එස් බෝදරගම අද (04) නියෝග කළේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.

ආන්දෝලනාත්මක එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේදී අමෙරිකානු ඩොලර් ලක්ෂ 08ක් අල්ලස් ලබාගත් බවට නාමල් රාජපක්ෂල අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා විමර්ශනයට නව තාක්ෂණික පද්ධති

සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා විමර්ශනයට නව තාක්ෂණික පද්ධති

මහජන ආරක්ෂාව තහවුරු කිරීම, නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සහ පොලිස් සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු රැසක් පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය.

ඒ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී සයිබර් අපරාධ සහ නීති විරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සහ වංචාවන් මැඩලීම සඳහා පොලිසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවේ විශේෂ අවධානය යොමු වූ අතර නීති විරෝධී සූදු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි අවහිර කිරීමට පියවර ගෙන ඇති බව නිලධාරීහු සඳහන් කළහ.

සයිබර් අපරාධ සම්බන්ධයෙන් මෙරට රැඳී සිටිමින් නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ විදේශිකයන් සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගෙන ඇති බව මෙහිදී අනාවරණය වු අතර අදාළ රටවල තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් එම විදේශිකයන් පිටුවහල් කිරීම සඳහා ද කටයුතු කර ඇති බව මෙහිදී නිලධාරීන් සඳහන් කළහ.

සයිබර් අපරාධ විමර්ශන සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නීතිමය දැනුම සහිත මානව සම්පත ශක්තිමත් කිරීම සඳහා මෘදුකාංග ඉංජිනේරුවන් සහ නීතිඥවරුන් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව ද කාරක සභාව හමුවේ පැමිණි නිලධාරීහු පැවසූහ.

එසේම නව බඳවා ගැනීම් ලද නිලධාරීන් සඳහා ක්ෂේත්‍ර පුහුණුව මෙන්ම අවශ්‍ය විදේශීය පුහුණුවීම් ලබාදීමට ද කටයුතු කරමින් පවතින බව නිලධාරීහු පෙන්වා දුන්හ.

එමෙන්ම, සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා සම්බන්ධ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව තාක්ෂණික පද්ධති හඳුන්වාදීම සහ කාලීනව ක්‍රියාත්මක කළ හැකි මධ්‍යගත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

විශේෂයෙන්ම ක්‍රිප්ටෝ මුදල් භාවිතය ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් විදේශීය ආයතන සමඟ දත්ත හුවමාරු කර ගැනීමේදී පවතින බාධා අවම කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන බවද සඳහන් කෙරිණි.

තවද, මහජන ආරක්ෂක කමිටු හරහා ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් පවතින තත්ත්වය, එම කමිටු මඟින් ලැබෙන සංවේදී තොරතුරු පිටතට යාම වැළැක්වීම සහ ප්‍රජා පොලිස් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මීට අමතරව, නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පොලිස් විමර්ශන කඩිනම් කිරීම, නවීන තාක්ෂණය උපයෝගී කරගැනීම සහ මහජනතාවගේ සහාය තවදුරටත් ලබාගැනීමේ වැදගත්කම කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

අතුරුදන්ව සිටි නාවිකයාගේ බවට සැක සිරුරක් සොයාගනී

අතුරුදන්ව සිටි නාවිකයාගේ බවට සැක සිරුරක් සොයාගනී

පසුගියදා අඟුලාන මුහුදේදී සිදුවූ නාවික යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිටින නාවික හමුදා නිලධාරියාගේ බවට සැක කෙරෙන දේහය අද (04) දින සොයාගෙන ඇත.

පසුගිය අගෝස්තු මස (15) වන දින නාවික වේග ප්‍රහාරක යාත්‍රාව අඟුලාන මුහුදු ප්‍රදේශයේදී නාවිකයින් 12 දෙනෙකු සමග අනතුරට ලක්විය.

එම අවස්ථාවේදී එහි සිටි නාවික නිලධාරීන් 11 දෙනෙකු අඟුලාන පොලිසියේ සහ දේශීය ධීවර ප්‍රජාවේ සහාය ඇතිව බේරාගත් අතර එහි එක් නිලධාරියෙකු අතුරුදන් වී සිටියේය.

අනතුරුව එම අතුරුදන් නිලධාරියා සොයා අවට මුහුදු ප්‍රදේශවල සහ වෙරළ තීරයේ, පානදුර සිට කොළඹ හරහා හලාවත දක්වා විහිදෙන පුළුල් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කළ බව නාවික හමුදාව සඳහන් කරයි.

Follow WhatsApp Channel