Local news

ආරක්ෂක අංශයේ සියලු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කරයි

ආරක්ෂක අංශයේ සියලු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කරයි

දැනට යුධ, ගුවන් සහ නාවික හමුදාව යටතේ පවතින සියලු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කරමින් ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමෙන් එම කටයුතුවල කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නංවා ගනිමින් අපේක්ෂිත අරමුණු කරා ළඟාවිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට අද (17) දින ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ වර්තමාන ගෝලීය අභියෝග ජය ගැනීම සඳහා ආරක්ෂක අංශ නවීන තාක්ෂණය සමග වේගයෙන් ඒකාබද්ධ වීමේ සහ නවීන තාක්ෂණික උපකරණ යොදා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ආරක්‍ෂක අංශ සාමාජිකයින්ගේ වෘත්තීය කුසලතා වැඩි දියුණු කිරීම සහ නව දැනුම අත්පත් කර ගැනීම වෙනුවෙන් විදේශ පුහුණු අවස්ථා සඳහා වෙන් කරන ප්‍රතිපාදන ඉහළ නැංවීම පිළිබඳවද සාකච්ඡා විය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ මෙහෙයුම් කටයුතු පිළිබඳව මෙන්ම නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් ආරම්භ කිරීම සහ ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමත්, ඉදිරි සැලසුම් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය දිරි ගැන්වීමේ වැඩපිළිවෙළක් පිළිබඳවද වැඩිදුරටත් අවධානය යොමු කෙරිණි.

හිරුණිකාට තවත් නඩුවක්.. අධිකරණයෙන් නියෝග

හිරුණිකාට තවත් නඩුවක්.. අධිකරණයෙන් නියෝග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකාරියන් පිරිසකට අදාළ නඩුකරය අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබීය.

2022 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය පැවැති අවස්ථාවේදී කොළඹ කුරුඳුවත්ත පොලිස් වසම තුළ මංමාවත් අවහිර කරමින් පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට අදාළවයි.

එහිදී මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර උපදෙස් ලබාගැනීම සඳහා විමර්ශන ගොනු කර නීතිපතිවරයා වෙත යොමුකර තිබෙන බව විමර්ශන සිදුකරන කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

අනතුරුව මෙම නඩුව ලබන නොවැම්බර් මස (02) වනදා යළි කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසද නියෝග කළේය.

බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කරයි

බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කරයි

ඩුබායිහීදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නැමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන ඇත.

තමන් ඩුබායිහී පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිටියදී එරට පොලිසිය විසින් තමන්ව පරීක්ෂා කර අනතුරුව දුරකථනය පරීක්ෂා කිරීමේදී එහි තිබී ඉරානය විසින් ඩුබායි රාජ්‍යයට එල්ල කළ ප්‍රහාරවල රූපරාමු හමුවීමත් සමග තමන්ව අත්අඩංගුවට ගත් බව, සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත.

අනතුරුව ලංකාවට පිටුවහල් කරන තුරුම දිනපතා තමන්ගෙන් ඩුබායි පොලිසියේ නිලධාරීන් ඉරාන සබඳතා පිළිබඳව ප්‍රශ්න කළ බවත් පසුව ලංකාවට යෑම සඳහා ගුවන් ටිකට්පතක් තමන්ටම මිලදී ගන්නා ලෙසට එරට බලධාරීන් පැවසූ බවද ඔහු පවසා ඇත.

හෙට සිට දින 11ක් බාර් වැහෙයි

හෙට සිට දින 11ක් බාර් වැහෙයි

හෙට (18) දිනයේ සිට පුරා දින 11ක් මහනුවර නගර සීමාව ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයක මතපැන් අළෙවිසැල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මේ අනුව මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ සියලුම මත්පැන් අළෙවි සැල් වසා දමයි.

තවද කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නත්තරම්පොත ග්‍රාම නිලධාරි වසමේ ප්‍රධාන මාර්ගයට යාබදව ඇති ඉන්ධන පිරවුම් හල දක්වා ඇති සියලුම මත්පැන් අළෙවි සැල් වසා දමයි.

මහනුවර ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහර වීදි සංචාරය කරන හෙට (18) දිනයේ සිට පෙරහැර නිමාවට පත්වන ලබන (28) දින දක්වා සුරාසැල් වසා දමයි.

එක අමෙරිකානු සෙබළෙක් මරණ ඉරාන ජනතාවට විශාල ත්‍යාග මුදලක්

එක අමෙරිකානු සෙබළෙක් මරණ ඉරාන ජනතාවට විශාල ත්‍යාග මුදලක්

ඉරාන හමුදා ප්‍රධානී අමීර් හතාමි විසින් අමෙරිකානු සෙබළුන් ඝාතනය කරන හෝ පණපිටින් අල්ලා භාරදෙන පුද්ගලයන් සඳහා අමෙරිකන් ඩොලර් 30,000ක මුදලක් ත්‍යාගයක් ලෙස ලබාදෙන බව ප්‍රකාශ කරයි.

අමෙරිකාවේ කෙණෙහිලිකම් වලට එරෙහිව සටන් කිරීමට ඉරාන තරුණයන් ලොකු උන්නදුවක් දක්වන බවත් එය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද ඉරාන හමුදා ප්‍රධානී අමීර් හතාමි සඳහන් කරයි.

ඒ අනුව ඉරාන පිරිමි පුද්ගලයෙක් විසින් අමෙරිකා සෙබළුන් ඝාතනය කරන හෝ පණපිටින් අල්ලා භාරදීම කළොත් අමෙරිකන් ඩොලර් 30,000ක් ලබාදෙයි.

තවද ඉරාන කාන්තාවක් අමෙරිකා සෙබළුන් ඝාතනය කරන හෝ පණපිටින් අල්ලා භාරදීම කළොත් ඇයට අමෙරිකන් ඩොලර් 60,000ක් ලබාදෙන බව හමුදා ප්‍රධානී අමීර් හතාමි සඳහන් කරයි.

තවද අමෙරිකානු සෙබළෙකු ඝාතනය කිරීම සඳහා භාවිතා කරන ආයුධය, එහි වටිනාකම මෙන් දෙගුණයක මුදලකට රජය විසින් මිලදී ගෙන ඒ වෙනුවට නව ආයුධයක් ලබාදීමට කටයුතු කරන බවද සඳහන් කරයි.

පිල්ලෙයාන්⁣ට අධිචෝදනා ගොනු කරයි

පිල්ලෙයාන්⁣ට අධිචෝදනා ගොනු කරයි

සිවනේන්සතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.

අදාළ චෝදනා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු පොළොන්නරුව මහාධිකරණය හමුවේ සිදුකිරීමට නියමිතව ඇත.

පොලිස් නිලධාරීන් 4000ක් සේවයෙන් ඉවතට

පොලිස් නිලධාරීන් 4000ක් සේවයෙන් ඉවතට

විවිධ හේතූන් මත පොලිස් නිලධාරීන් 4,308 දෙනෙකු සේවයෙන් ඉවත්ව ගොස් ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

නිලධාරීන් 3,936 දෙනෙකු සහ නිලධාරිනියන් 372 දෙනෙකු පසුගිය 2020 වසරේ සිට මෙම වසරේ ජූනි (24) දක්වා වූ වසර 7කට ආසන්න කාලසීමාව තුළ එලෙස ඉවත්ව ඇත.

පසුගිය 2025 වසරේදී ඉන් වැඩිම පිරිසක් ඉවත් වී ඇති අතර එම වසරේ පමණක් නිලධාරීන් 838ක් හා නිලධාරිනියන් 49ක් ලෙස 887ක පිරිසක් ඉවත්ව ඇත.

මෙම වසරේ පළමු මාස 6ක කාලය තුළ නිලධාරීන් 699ක් හා නිලධාරිනියන් 59ක් ලෙස සමස්ත නිලධාරීන් 758ක පිරිසක් ඉවත්වී ඇති බවද සඳහන් කරයි.

සිය සේවා කාලය අවසන් වීමට පෙර විශ්‍රාම ගැනීම, විදේශ රැකියා සඳහා පිටත්ව යාම ඇතුළු විවිධ පෞද්ගලික හේතු මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

මේ අතර පොලිස් නියෝගයන්ට පටහැනි විවිධ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් නිලධාරීන් 658 දෙනෙකු සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අද සිට දිනපතා පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම

අද සිට දිනපතා පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම

අද (17) දින සිට දිනපතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්ෂි විභාගය පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ඇතැම් චූදිතයින් විත්තිකූඩුවේ සිට ප්‍රකාශ ලබාදීමට තීරණය කර ඇති අතර ඔවුන් වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් ද කැඳවීමට නියමිතව ඇති බව සදහන් වේ.

තවත් චූදිතයින් පිරිසක් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම්ව සිටින නමුත්, ඔවුන් වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් කැඳවීමට අපේක්ෂා නොකරන බව අධිකරණයට දැනුම් දී ඇත.

ශිරාන් බාසික්ගේ හෙලිකොප්ටර් පුහුණුව ගැන හෙළිවෙයි

ශිරාන් බාසික්ගේ හෙලිකොප්ටර් පුහුණුව ගැන හෙළිවෙයි

මේ වනවිට අත්අඩංගුවේ පසුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ශිරාන් බාසික් ඩුබායිහිදි හෙලිකොප්ටර් යානා පැදවීම සඳහා පුහුණුව ලබා ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇත.

තවද සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී, කොළඹ මුහුදු මාවතේ හෝටල් පහක් තමාට හිමි බවට ශිරාන් බාසික් ප්‍රකාශ කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.

පැය 72ක රැඳවුම් නියෝග යටතේ සැකකරු සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන සිදුකරයි.

ත්‍රිවිධ හමුදාවේ සහාය.. පරිසර අමාත්‍යංශය

ත්‍රිවිධ හමුදාවේ සහාය.. පරිසර අමාත්‍යංශය

වනජීවී පශු වෛද්‍යවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීම හේතුවෙන් පරිසර අමාත්‍යංශය විශේෂ තීරණයක් ගෙන ඇත.

ඒ අනුව වනජීවි හදිසි ප්‍රතිකාර කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා පශු වෛද්‍ය නිලධාරින්ගේ සහාය ලබාගැනීමට, පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, සාමාන්‍ය රාජකාරී වේලාවෙන් අනතුරුව මෙන්ම, සති අන්ත සහ රජයේ නිවාඩු දිනවලදී වනජීවී හදිසි ප්‍රතිකාර සේවා ලබාදීමේ ප්‍රායෝගික ගැටලු නිර්මාණය වී ඇත.

වසර දහයකට අධික කාලයක සිට පවතින ප්‍රධාන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි.