ගාසා තීරය පුරාම පවතින දැඩි සාගින්න සහ මානුෂීය අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය යළිත් වරක් අනතුරු අඟවා ඇත.
සහන සේවා ක්‍රියාත්මක වුවද මිලියන සංඛ්‍යාත ජනතාවකට ප්‍රමාණවත් ආහාර ලබාගැනීමට නොහැකි වී ඇති බවද එම සංවිධානය සඳහන් කරයි.
ගාසා වැසියන්ගෙන් සැළකිය යුතු පිරිසක් දිනකට එක් වේලකින් පමණක් යැපෙන බවත් වගාබිම් සහ අත්‍යවශ්‍ය සේවා වෙත ප්‍රවේශ වීමට ජනතාවට දැඩි බාධා එල්ල වී ඇති බව එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ඩූජරික් සඳහන් කරයි.
ගාසා තීරයේ වෙසෙන මිලියන දෙකකට අධික ජනතාව මේ වනවිට භූමියෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයකට සීමා වී සිටින බව මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය සඳහන් කරයි.
සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර මාස හයකට වැඩි කාලයක් ගත වුවද රට තුළ මන්දපෝෂණ මට්ටම ඉහළ යමින් පවතින බවද ලෝක ආහාර වැඩපිළිවෙළ අවධාරණය කරයි.
දෛනිකව ආහාර වේල් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් ලබාදුන්නද පවතින අධික මිල ගණන් හේතුවෙන් නැවුම් ආහාර ලබාගැනීම ජනතාවට සිහිනයක් වී පවතියි.
