ඉබෝලා වසංගතය මෙතෙක් ලෝකයේ වාර්තා වූ දරුණුතම ඉබෝලා වසංගතය පවා ඉක්මවා යෑමේ දැඩි අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
වත්මන් ව්‍යාප්තියේ වේගය අඛණ්ඩව පැවතුනහොත්, අවම වශයෙන් පුද්ගලයින් 11,000කට වැඩි පිරිසකගේ ජීවිත බිලිගත් 2014-2016 වසංගත සමය පවා මෙමඟින් ඉක්මවා යනු ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
මෙම වසරේදී වසංගතය හේතුවෙන් මේ වන විට ආසාදිතයින් 4,300කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ 2,000කට වඩා සිදුව ඇත.
මෙම වසංගතය මැයි මාසයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කළද, එයට මාස තුනකට පමණ පෙර, එනම් පෙබරවාරි මාසයේ සිට වෛරසය පැතිර යන්නට ඇතැයි සෞඛ්‍ය නිලධාරීන් අනාවරණය කර ඇත.
මෙම වසරේ වසංගතයට හේතු වී ඇත්තේ මීට පෙර 2007 සහ 2012 යන වර්ෂවලදී පමණක් වාර්තා වී ඇති දුර්ලභ ‘බුන්ඩිබුගියෝ’ (Bundibugyo) නම් ඉබෝලා විශේෂයයි.
මෙම වෛරස් විශේෂය සඳහා ලොව මෙතෙක් අනුමත කරන ලද කිසිදු එන්නතක් හෝ පිළිගත් ප්‍රතිකාර ඖෂධයක් නොමැත.
කෙසේ වෙතත්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් මෙම වෛරසය සඳහා නව එන්නතක් නිර්මාණය කර ඇති අතර එහි පළමු අදියරේ මිනිස් අත්හදා බැලීම් සඳහා බ්‍රිතාන්‍ය ඖෂධ නියාමන අංශයෙන් අවසර ලැබී ඇත.
