අලුත් අවුරුද්දෙන් පසු රට තුළ අනපේක්ෂිත දේශපාලන පෙරළියක්.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ඇතිව තිබෙන දේශපාලන ගැටුම් හේතුවෙන් එළඹෙන අලුත් අවුරුද්දෙන් පසුව රට තුළ දේශපාලන පෙරළි කිහිපයක් සිදුවීමට ඉඩ ඇති බව වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩි කැමැත්ත පළමුව මහ මැතිවරණයක් පැවැත්වීම වුවද පළමුව ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා පසුගියදා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබුණේය.

පළමුව මහ මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා එකඟ නොවන්නේ නම් මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය එකවිට පැවැත්විය යුතු බවට ජනාධිපතිවරයාට යෝජනා කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ ඇතුළු එම පක්ෂයේ ඉහළ නායකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ කැබිනට් අමාත්‍ය ධූර හා රාජ්‍ය අමාත්‍ය ධූර දරන කණ්ඩායම අදහස් කරන්නේ පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණවලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්ව කටයුතු කළ යුතු බවයි.

මේ අතර පොදුජන පෙරමුණ පක්ෂයේ ඇමති ධුරයන් නොදරන මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කලකිරීමට පත්ව ඇති බවත් ඔවුන් ඉදිරියේදී විපක්ෂය සමග එක්වීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

විපක්ෂ සමඟි ජන බලවේගය පක්ෂයේ පිරිසක් එළඹෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහය දීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඔවුන් ඒ සදහා එක්සත් ජාතික පක්ෂය යළි එක්වීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කරනු ලැබූ අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු පිරිසද නිමල් ලාන්සා මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් යුතු නව සන්ධානයට එක්වී ජනාධිපතිවරයාට සහය පළ කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS