Advertisements

“ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය ජනපති අධීක්ෂණයට

“ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය සඳහා 2026 අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදනවලින්, මේ වන විටත් රුපියල් මිලියන 23,000ක සංවර්ධන ව්‍යාපෘති අනුමත කර, ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර තිබේ.

ජීවනෝපාය සංවර්ධනය, නිෂ්පාදන ආර්ථිකය සහ ආහාර සුරක්ෂිතතාවට අදාළව ප්‍රජා සංවර්ධන සභා මගින් ප්‍රමුඛතාගත කළ ව්‍යාපෘති වෙනුවෙන් මෙම ප්‍රතිපාදන වෙන් කර ඇත.

‘ප්‍රජා ශක්ති’ ජාතික ව්‍යාපාරයේ මෙතෙක් ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ බව අනාවරණය කෙරිණි.

ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම සහ ග්‍රාමීය ප්‍රජාව නඟා සිටුවීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය මෙහිදී විමසා බැලූ ජනාධිපතිවරයා ව්‍යාපෘතිය, ඉන් ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණය සහ ජන ජීවිතය නංවාලීම වෙනුවෙන් එය කොපමණ දායක වන්නේද යන්න පිළිබඳ නිරන්තර පසු විපරමකින් කටයුතු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ප්‍රජා සංවර්ධන සභා 13,977ක් මේ වන විට පිහිටුවා අවසන් බව මෙහිදී පෙන්වා දුන් නිලධාරීහු එම ප්‍රජා සංවර්ධන සභා වෙනුවෙන් ලබාදී ඇති මුල්‍ය ප්‍රතිපාදන පිළිබඳවද ජනාධිපතිවරයා දැනුවත් කළහ.

“ප්‍රජා ශක්ති” ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම සඳහා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා ශක්ති ඒකකවලට අවශ්‍ය පහසුකම් සැපයීමට ගෙන ඇති පියවර සහ ප්‍රජා සංවර්ධන සභාවල නිලධාරින් දැනුවත් කිරීම සඳහා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක පුහුණු වැඩසටහන් පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest