Local news

සිරඳඩුවමට එරෙහිව හිරුණිකා.. පෙත්සමට නියෝගයක්

සිරඳඩුවමට එරෙහිව හිරුණිකා.. පෙත්සමට නියෝගයක්

පසුගිය 2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙක් ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ සිද්ධිය සම්බන්ධව කොළඹ මහාධිකරණය මගින් පනවන ලද දඬුවමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පෙත්සමක් ගොනු කර තිබුණේය.

අදාළ පෙත්සම කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ (06) දින කැඳවනු ලැබුවේය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය සැප්තැම්බර් (23) වනදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය (06) නියෝග කළේය.

2024 ජූනි (28) වන දින කොළඹ මහාධිකරණය විසින් මෙම නඩුවට අදාළව ඇයට බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවමක් සහ රුපියල් 20,000ක දඩයක් නියම කළේය.

ඇමති ආනන්ද සැර වෙයි.. නාමල් ඇතුළු කණ්ඩායමට ලඟදීම වෙන දේ

ඇමති ආනන්ද සැර වෙයි.. නාමල් ඇතුළු කණ්ඩායමට ලඟදීම වෙන දේ

පොලිස්පතිවරයා මහ මගදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

පොහොට්ටුවේ නායකයෝ කියා ගන්නා නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා සාගර කාරියවසම්ගේ ප්‍රකාශය නැවතත් තහවුරු කරන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

නිලධාරීන්ට තර්ජනය කරනවා නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න කිසිසේත්ම පසුබට වෙන්නේ නැති බවත් ඔවුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග ඉදිරියේදී ජනතාවට දැකබලා ගැනීමට පුළුවන් බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,

“පොලිස්පතිවරයාට තර්ජනය කරනවා කියන්නේ මේ රටේ සමස්ත අධිකරණ ක්‍රියාවලි වගේම නීතියේ ආධිපත්‍යට තමා ඔවුන් තර්ජනය කරන්නේ. පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දීලා තියෙනවා මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට. ඊයේ දිනයේම පැමිණිල්ල ලබාගැනීමෙන් පසුව විමර්ශන ආරම්භ කරලා තියෙනවා.”

“පොහොට්ටුවේ නායකයෝ කියා ගන්නා නාමල් රාජපක්ෂලා වගේ අය ගිහිල්ලා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා මේ ප්‍රකාශය නැවතත් තහවුරු කරනවා. ඒකෙන් පැහැදිලි දේශපාලන පක්ෂයක්, ව්‍යාපාරයක් හැටියට ඉදිමින් පොලිස්පතිවරයාට තර්ජනය කරන්නේ සමස්ත නීතියට කරන තර්ජනයක්.

නීතියේ ආධිපත්‍යට කරන තර්ජනයක්. නීතිය හා සාමය පැවැත්මට බරපතල බාධාවක් ඔවුන් ගෙනල්ලා තියෙනවා. මේක ජනතාව කුපිත කිරීමක්. ජනාධිපතිවරයාටත්, රජය කෙරෙහි අනාදරයක් වගේම රජය කෙරෙහි විරසකයක් ජනතාව තුල ඇති කිරීමට දරන උත්සාහයක්.

යම් කෙනෙක් නීති විරෝධීව මහජනයා කුපිත කරනවා නම්, ඒ වගේම රාජකාරී නිලධාරීන්ට බාධා කරනවා නම්, තර්ජනය කරනවා නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න කිසිසේත්ම පසුබට වෙන්නේ නෑ. ඒ ක්‍රියාමාර්ග ඉදිරියට දියත් වෙනවා. ඒක ඉදිරියේදී බලාගන්න හැකියාව ලැබෙයි මේ රටේ ජනතාවට.”

රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කරයි.

කොළඹ වරායට පොළව යටින් දිවෙන බලවතා

කොළඹ වරායට පොළව යටින් දිවෙන බලවතා

කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා දිවෙන 220kV භූගත විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ඉදිකිරීම් කටයුතුවල සමාරම්භය සනිටුහන් කිරීම බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්ගේ ප්‍රධානත්වයෙන් කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළ පිවිසුම අසලදී සිදුවිය.

පූර්ණ වශයෙන් මහා භාණ්ඩාගාරයට අයත් ආයතනයක් වන නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විසස් ප්‍රොවයිඩර් පෞද්ගලික සමාගම (National Transmission Network Services Provider – NTNSP) ස්ථාපනය කිරීමෙන් පසු ක්‍රියාත්මක කරනු ලබන පළමු ව්‍යාපෘතිය වන මෙම ව්‍යාපෘතිය සඳහා AIIB බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 52ක සහනදායී ණයක් ඔස්සේ අරමුදල් සම්පාදනය කරයි.

කිලෝමීටර් 16ක දුරකින් යුතු මෙම නව භූගත රැහැන් පද්ධතිය ඉදි කිරීමට සමගාමීව උපපොළවල් නවීකරණය කිරීම සහ පාලන පද්ධති ස්ථාපිත කිරීම ද සිදු කරයි.

වේගයෙන් සංවර්ධනය වන කොළඹ වරාය නගරය ආශ්‍රිත ප්‍රදේශයට අවශ්‍ය වන විදුලි ධාරිතාව සපුරාලමින් අඛණ්ඩ සහ ගුණාත්මක විදුලි සැපයුමක් තහවුරු කිරීමට මෙම භූගත විදුලි සම්ප්‍රේෂණ මාර්ගය මහෝපකාරී වේ.

ජනාකීර්ණ නාගරික ප්‍රදේශ හරහා ඉදිකෙරෙන මෙම සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය භූගතව ඉදිකිරීම නිසා ඉදිකිරීම් කාල සීමාවේදී සහ භාවිත කාල සීමාවේදී ජනතාවට සිදුවන පීඩාව අවම වන අතර නඩත්තු කටයුතු හෝ හදිසි බිඳවැටීමකදී විදුලි සැපයුමට බාධාවක් නොවී විකල්ප මාර්ගයක් ලෙස ක්‍රියා කිරීමට මෙම පද්ධතියට හැකියාව ඇත.

අනිවාර්යෙන්ම ඔලිම්පික් රන් පදක්කම ලංකාවට ගේනවා

අනිවාර්යෙන්ම ඔලිම්පික් රන් පදක්කම ලංකාවට ගේනවා

එළඹෙන ඔලිම්පික් උළෙලේදී අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවට ගෝල්ඩ් මෙඩල් එකක් ලබාදෙන බව ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සඳහන් කරයි.

ක්‍රීඩක රුමේෂ් තරංග සඳහන් කළේ,

“කවදාහරි බලාපොරොත්තු වුණා අනිවාර්යෙන් මේ වගේ තැනකට එන්න. බලාපොරොත්තු වෙනවා මීට වඩා ලොකු තැනකට යන්න. මොකද ෆයිනල් එක තියෙන්නේ ඔලිම්පික් මෙඩල් එක.

මොකද ලංකාවට නැත්තේ ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් එකක්. අනිවාර්යෙන් මම ඒකත් ලංකාවට අනිවාර්යෙන්ම ලබාදෙනවා.”

මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ශ්‍රේණිගත කිරීම්වල ලෝකයේ අංක 01 ක්‍රීඩකයා බවට පත්ව ඇත.

ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75ක දුරක් හෙල්ල විසි කරමින් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග ශ්‍රේණිගත කිරීමේ ලකුණු 1,354ක් ලබා ගනිමිනි මෙලෙස ලොව පළමු ස්ථානය දිනාගෙන ඇත.

මැගසින් බන්ධනාගාරය නොසන්සුන්.. වහාම STF කැඳවයි

මැගසින් බන්ධනාගාරය නොසන්සුන්.. වහාම STF කැඳවයි

අද (06) දින රාත්‍රියේ බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත.

බන්ධනාගාරයේ ‘E’ වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් එකවරම එම වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ මෙම නොසන්සුන්තාව ආරම්භ වී ඇති බව වාර්තා වේ.

රාත්‍රී 10.20 ට පමණ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති අතර එම තත්ත්වයට හේතුවී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් බව වාර්තා වේ.

මේ වනවිට තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වහාම එම ස්ථානයට කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

ලාෆ් ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලාෆ් ගෑස් මිල ගැන දැනුම්දීමක්

අගෝස්තු මාසයට අදාළව ලාෆ් ගෑස් මිල ගණන් සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව අගෝස්තු මාසයේදී ලාෆ් ගෑස් මිල ගණන් සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගම සඳහන් කරයි.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,965කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,988කි.

පොලිස්පති ඝාතනය කිරීම – විමර්ශනයට අධිකරණයෙන් අවසර

පොලිස්පති ඝාතනය කිරීම – විමර්ශනයට අධිකරණයෙන් අවසර

වත්මන් පොලිස්පතිවරයා මහ මගදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා එම විමර්ශනය සඳහා පොලිසියට අවසරය ලබාදුන් අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් සැප්තැම්බර් මස (24) වෙනිදා වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

සාගර කාරියවසම්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් 17661/2026 දරන නඩු අංකය යටතේ අද (06) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදී අදාළව විමර්ශන කටයුතු සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළ අතර ඊට අධිකරණයේ අවසරය හිමිව ඇත.

මේ අතර පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් පසුගියදා සඳහන් කළේ,

“අපි වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මැතිතුමාට ඉතාම ගෞරවයෙන් කියා සිටිනවා. ඔබතුමා දැන්වත් ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා රජයට සහ ජනතාවට සේවය කරන්න පටන් ගන්න. මොකද අපි කැමති නෑ මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා හැටියට 37 වැනි පොලිස්පතිවරයා හැටියට ඉතිහාසගත වෙනවාට.“

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

අගෝස්තු මාසයට අදාළව ගෑස් මිල ගණන් සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරයි.

ඒ අනුව අගෝස්තු මාසයේ ලිට්‍රෝ ගෑස් මිල ගණන් සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි.

ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම හමුවේ වුවද, රටේ පාරිභෝගික ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් අගෝස්තු මාසයේදී ගෑස් මිල ඉහළ නොදැමීමට තීරණය කළ බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,465කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,792කි.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 835කි.

දැනගැනීමේ අයිතිය.. රිවස් ගැසට් එක.. රජයේ තීරණය

දැනගැනීමේ අයිතිය.. රිවස් ගැසට් එක.. රජයේ තීරණය

2026 ජූලි (24) දිනැති ගැසට් පත්‍රයේ පළකරන ලද පනත් කෙටුම්පතේ, වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනයා විසින් භාවිත කළ හැකි ආකාරය සීමා කිරීමට යෝජනා කර ඇති කොටස මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් අදාළ නොවන පරිදි වෙනස් කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

එම දූෂණ විරෝධී පනතට අනුව මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනතාවට පරිශීලනය කිරීමට ඉඩ ලබාදෙන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (06) දින පාර්ලිමේන්තතුවේදී සඳහන් කරයි.

ජනාධිපතිවරයා, අගමැතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අනෙකුත් තේරී පත්වූ මහජන නියෝජිතයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමෙන් පසුව ඒවා පරීක්ෂා කිරීමට, මාධ්‍යවල පළ කිරීමට, සංසන්දනය කිරීමට සහ අදාළ බලධාරීන් වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට මහජනතාවට දැනට පවතින අවකාශය ආරක්ෂා වන පරිදි පනත් කෙටුම්පත වෙනස් කිරීමට නියමිතය.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,

“2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත අපේ රට තුළ විශාල වෙනසක් ඇති කළ පනතක්.එම පනතේ 86 සහ 88 වගන්ති අනුව තිබුණු ආකාරය තමයි අපේ රටේ ඉහළ නිලධාරීන් දේශපාලන නායකත්වය මේ සියලු දෙනාම තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල තමන්ගේ තොරතුරු ඇතුළත් කරන්න ඕනි කියන එක.

ඒ අනුව එම පනතට අනුව ආසන්න වශයෙන් පුද්ගලයින් 300ක් පමණ ජනාධිපතිගේ සිට පහළට මේ තොරතුරු වත්කම් බැරකම් ප්‍රකාශවල සියල්ල ලබාදිය යුතුව තිබුණා. ඒක දිය යුතුව තිබුණේ මුද්‍රිතව. ඉන් පසුව එය සංශෝධනය කලා මෙය ලබාදීමේ ක්‍රමවේදය ඔන්ලයින් ලබා දෙන්න.”  

සියලුම පාසල් වලට නිවාඩු

සියලුම පාසල් වලට නිවාඩු

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ නිවාඩු ලබාදීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව 2026 වර්ෂයේ පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර සිංහල හා දෙමළ පාසල් සඳහා හෙට (07) දිනයෙන් අවසන් වේ.

අ.පො.ස උසස් පෙළ විභාගය අගෝස්තු (10) සිට සැප්තැම්බර් (05) දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස (09) වන දින පැවැවෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර සැප්තැම්බර් (07) වන සඳුදා දින ආරම්භ වීමට නියමිත අතර දෙසැම්බර් (04) වන දින තෙවන පාසල් වාරය අවසන් වේ.