Local news

බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වීමට සූදානම්.?

බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වීමට සූදානම්.?

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව හෙට (22) දිනයේදී පැහැදිලි ප්‍රකාශයක් සිදු කරනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි. 

මැකර්ෆීල්ඩ් අතුරු මැතිවරණයෙන් ඇන්ඩි බර්න්හැම් ලැබූ ජයග්‍රහණයත් සමග මෙවැනි තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වේ.

පටි තද කරගන්න සහන කාලයක්

පටි තද කරගන්න සහන කාලයක්

අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන සඳහා ආසන පටි නීතිය ඊයේ (20) දින සිට තදින්ම ක්‍රියාත්මක කළ බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරයි.

ආසන පටි නොමැති වාහන සඳහා ඒවා සවි කරගැනීමට මාස තුනක සහන කාලයක් ලබා දෙන බවද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න සඳහන් කරයි.

නිෂ්පාදකයා විසින් ආසන පටි ලබාදී නොමැති නම් ඒ සඳහා ලබාදී තිබූ සහන කාලය තවදුරටත් ක්‍රියාත්මක බවත් ඉදිරි මාස තුනක කාලයක් ඇතුළත ආසන පටි සවි කරගත යුතු බවද සභාපති මංජුල කුලරත්න සඳහන් කරයි.

මෙය අවසාන දිගුවක් ලෙස සලකන අතර වාහනයේ ආසන පටි තිබේ නම් අනිවාර්යයෙන් රියදුරා මෙන්ම මගීයා ද එය පැළඳිය යුතු අතර එසේ නොමැති නම් දඩ මුදලකට යටත්වීමට සිදුවනු ඇති බවද සඳහන් කරයි.

අද දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

අද දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

අද (21) දින බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30ත් 40ත් අතර තරමක තද සුළං ඇති විය හැකි බවද සඳහන් කරයි.

ඉන්ධන මිල අඩු කරන දිනය ගැන ඇමති කියයි

ඉන්ධන මිල අඩු කරන දිනය ගැන ඇමති කියයි

ඉන්ධන අලෙවියෙන් ලාභ ඉපැයීමේ අරමුණක් රජයට නොමැති බවත් රජය විසින් සෑම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක පමණ සහනාධාරයක් ජනතාව වෙනුවෙන් ලබාදෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

මේ වනවිට ලෝක වෙළඳපොළේ පවතින ඉන්ධන මිල මට්ටම ඉදිරියටත් පැවතුනහොත්, ලබන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසය වන විට එහි සහනය මෙරට ජනතාවට ලබාදීමට හැකිවනු ඇති බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

ඉන්ධන මිලදී ගැනීම සාමාන්‍ය වෙළඳපොළෙන් භාණ්ඩ මිලදී ගැනීමක් මෙන් ක්ෂණිකව සිදුකළ නොහැකි බවත් එය නිසි ටෙන්ඩර් පටිපාටි වලට අනුව එකඟ වූ මිල ගණන් යටතේ ලබා ගැනීමට සිදුවන බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,

“තෙල් ගන්නේ කඩේට ගිහින් බඩුවක් ගන්නවා වගේ නෙමේ. කලින් ටෙන්ඩර් කරලා ගන්නේ. ඒ ටෙන්ඩර් අනුව එන ඒවා, ඒ මිලටම ගන්න වෙනවා. නමුත් අපි හිතනවා අගෝස්තු, සැප්තැම්බර් මාසය වෙද්දී මේ තත්ත්වයම තිබුණොත් ජනතාවට සහනයක් ලැබෙයි කියලා.

රටේ ආර්ථිකයටත් ඒක අවශ්‍යයි. මේ ඔක්කොම දේවල් කරන්න පුලුවන් වෙලා තියෙන්නේ ආර්ථිකය ඉහළ මට්ටමකට, ඒ කියන්නේ ආර්ථිකයේ ඉහළ කොටස අපි ගොඩ නඟලා තියන නිසා. ආණ්ඩුව තෙල් වලින් ලාභ උපයන්න බලාපොරොත්තුවක් නෑ.”

ඉරානය නැවතත් හෝමූස් වසා දමයි

ඉරානය නැවතත් හෝමූස් වසා දමයි

ඉරානය නැවතත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාව සහ ඊශ්‍රායලය අතර සටන් විරාම ගිවිසුම උල්ලංගනය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මගේ තාත්තාට ශානි නිසා යුක්තිය ලැබුණා.. එහෙත් පාස්කු ප්‍රහාරය හොයන්න ශානි සුදුසු නෑ

මගේ තාත්තාට ශානි නිසා යුක්තිය ලැබුණා.. එහෙත් පාස්කු ප්‍රහාරය හොයන්න ශානි සුදුසු නෑ

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඝාතන නඩුවේ විමර්ශන ශානි අබේසේකර විසින් ඉතාමත් සාර්ථකව සිදුකළ බවත් ඔහු නොසිටින්නට සිය පියාට සාධාරණයක් ඉටු නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළාය.

ශානි අබේසේකර ඉතාම දක්ෂ නිලධාරියෙකු වුවද දේශපාලන පසුබිමක් සහිතව පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන වලට පත්කිරීම කිසිසේත්ම සුදුසු නොවන බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළාය.

තම පියාගේ ඝාතන නඩුවේදී ශානි අබේසේකර දැක්වූ දායකත්වය අගය කරන බවත් ඔහු එම විමර්ශනය ඉතාමත් විශිෂ්ට ලෙස සිදුකළ බවත් එකල ඔහු සියලු සාක්ෂි නිවැරදිව ගොනු නොකළා නම් වැරදිකරුවන්ට මරණ දඬුවම පවා හිමි නොවන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළාය.

නමුත් ශානි අබේසේකරගේ වත්මන් පත්වීම සම්පූර්ණයෙන්ම දේශපාලන පත්වීමක් බවත් ඔහු දේශපාලන ක්‍රියාකාරිකයෙකු බව පිළිගෙන ඇති පසුබිමක, ඔහුට මෙවැනි ස්වාධීන සහ සංවේදී විමර්ශන තනතුරක් ලබාදීම සුදුසු නොවන බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළාය.

රටේ ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුවේ කණ්ඩායම විසින්ම මෙම පත්වීම ලබාදී ඇති බවත් මීට පෙර ශානි අබේසේකර දේශපාලන වේදිකාවල ප්‍රසිද්ධියේ අදහස් දක්වා ඇති බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළාය.

මෙම දේශපාලන පත්වීම නිසාම වත්මන් විමර්ශන කටයුතුවල විනිවිදභාවය පිළිබඳව ජනතාව තුළ සාධාරණ සැකයක් සහ කුකුසක් මතු වන බවත් ශානි අබේසේකරව මෙම පාස්කු විමර්ශනයට පත්කිරීම තුළින් සාධාරණ පරීක්ෂණයක් සිදුවේදැයි ජනතාව සැක කිරීම සාධාරණ බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළාය.

අන්තර්ජාල නාලිකාවක පැවැති දේශපාලන සාකච්ඡාවකදී නිවේදිකාව නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ බව සඳහන් කළාය.

මහනුවර 23 හැවිරිදි තරුණියක් ඝාතනය කරයි.?

මහනුවර 23 හැවිරිදි තරුණියක් ඝාතනය කරයි.?

මහනුවර, කුණ්ඩසාලේ, වරාපිටිය ප්‍රදේශයේ නිවසක තිබී අබිරහස් ලෙස මියගිය 23 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් සොයාගෙන ඇත.

මෙලෙස මියගිය 23 හැවිරිදි විවාහක තරුණියගේ සැමියාට අයත් බව කියන නිවසේ තිබී මෙම මළසිරුර සොයාගෙන ඇති අතර ඇයගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් ඇයට පහරදී ඝාතනය කර ඇති බව මරණකාරියගේ ඥාතීන් චෝදනා කරයි.

මොවුන් විවාහ වී වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ස්වාමිපුරුෂයා ඇයට දිගින් දිගටම සිදුකළ තාඩන පීඩන සම්බන්ධයෙන් බලගොල්ල පොලිසියට පැමිණිලි කිහිපයක්ම සිදුකළ බව මියගිය තරුණියගේ ඥාතීන් සඳහන් කරයි.

කෙසේ වෙතත් තමන් සංගීත සංදර්ශනයක් බැලීමට ගොස් අද අලුයම නිවසට පැමිණි අවස්ථාවේදී ඇය ගෙල වැලලාගෙන සිටිනු දුටු බවත් පසුව එම කඹය කපා ඇයගේ සිරුර ඇඳ මතට ගත් බව මියගිය තරුණියගේ ස්වාමිපුරුෂයා සඳහන් කර ඇත.

මියගිය තරුණියට ඇයගේ ස්වාමිපුරුෂයා විසින් පහර දෙන බවත් එම පහර දීම හේතුවෙන් ඇය නිරන්තරයෙන් දෙමාපියන්ගේ නිවසට පැමිණෙන බවත් ඇය දික්කසාද වීමේ සූදානමකින් පසුවූ බවද පවුලේ ඥාතීන් සඳහන් කරයි.

මියගිය තරුණිය විසින් ලියන ලදැයි කියන ලිපියක් එම තරුණයාගේ නිවසේ අය විසින් පොලිසියට සහ මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළද එම ලිපියේ ඇති අත්අකුරු තම මියගිය දියණියගේ නොවන බව මියගිය තරුණියගේ ඥාතීන් සඳහන් කරයි.

කෙසේ වෙතත් මියගිය තරුණියගේ දේහය පරීක්ෂණය සඳහා මහනුවර ජාතික රෝහල වෙත යවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ඡායාරූපයක් නිසා ඉතාලිය සහ අමෙරිකාව අතර මත ගැටුමක්

ඡායාරූපයක් නිසා ඉතාලිය සහ අමෙරිකාව අතර මත ගැටුමක්

ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලොනි සම්බන්ධයෙන් ‍අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් වර්ධනය වී ඇත.

පසුගියදා G7 රාජ්‍ය නායකයින්ගේ හමුව අතරතුර ඉතාලි අග්‍රාමාත්‍යවරිය තමා සමඟ ඡායාරූපයක් ගැනීම සඳහා අයැද සිටි බවත් එම ඡායාරූපය ගැනීමෙන් ඇය සතුටට පත්වන්නට ඇති බවද ජනපති ට්‍රම්ප්, ඉතාලි මාධ්‍යයක් සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

එහෙත් ජනපති ට්‍රම්ප්ගේ එම ප්‍රකාශය සම්පූර්ණයෙන් ගොතන ලද සාවද්‍ය ප්‍රකාශයක් බවත් තමන් හෝ ඉතාලිය කිසිදු අවස්ථාවක කිසිවෙකුට අයදින්නේ නැති බව ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලොනි සිය “X” ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

ජනාධිපති ට්‍රම්ප් ඉතාලිය සම්බන්ධව මෙවැනි අපහසාත්මක ප්‍රකාශ සිදුකළ පළමු අවස්ථාව මෙය නොවන බවත් ඔහු මිත්‍ර පාර්ශවයන්ට මෙලෙස සැලකීම කණගාටුදායක බවද ඉතාලි අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත.

ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය හේතුවෙන් ඉතාලි විදේශ කටයුතු අමාත්‍ය ඇන්තෝනියෝ තජානි අමෙරිකාවේ සිදුකිරීමට සැලසුම් කර තිබූ සංචාරය අවලංගු කිරීමට තීරණය කර ඇත.

යෝෂිත හමුදාවට ගියපු නිසයි යුද්ධය දිනුවේ

යෝෂිත හමුදාවට ගියපු නිසයි යුද්ධය දිනුවේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ වැරැද්දක් කරලා තියනවා කියලා ගන්න ගියාම තව කොච්චර දෙනෙක් වැරදි කරලා තියෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී රත්නායක සඳහන් කරයි.

යෝෂිත රාජපක්ෂ හමුදාවට ගියපු නිසා හමුදාවට එන්නේ නැති තරුණයෝ ඔක්කොම පැමිණි බවත් යෝෂිත හමුදාවට ගියපු නිසා යුද්දය ජයග්‍රහණය කළ බවද හිටපු මන්ත්‍රී සී.බී රත්නායක සඳහන් කරයි.

හිටපු මන්ත්‍රී සී.බී රත්නායක මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේ,

“රාජපක්ෂලාට ගහන්ඩ හමුදාවේ උදවිය ගන්නවා නම් ඒක වැරදි. යෝෂිත රාජපක්ෂ වැරැද්දක් තියනවා කියලා ගන්න ගියාම තව කොච්චර දෙනෙක් වැරදි කරලා ඇද්ද. හැබැයි යුද්දය තියෙන වෙලාවේ තමන්ගේ පුතා සේනාධි නායකයා හැටියට, රටේ ජනාධිපති හැටියට ඔහු හමුදාවට බාර දුන්නා.

හමුදාවට බාර දුන්නාම හමුදාවට එන්නේ නැති තරුණයෝ ඔක්කොම ජනාධිපතිගේ පුතත් ගිහිල්ලා තියනවා නම් අපිත් ආරක්ෂා වෙනවනේ කියලා. ඒකෙන් නේද යුද්දය ජයග්‍රහණය කරන්න පුළුවන් අවස්ථාව සැලසුනේ.”

මාස 07කට පසු ඇරඹුණ බදුල්ල – නානුඔය දුම්රිය ගමන

මාස 07කට පසු ඇරඹුණ බදුල්ල – නානුඔය දුම්රිය ගමන

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ බදුල්ල සිට නානුඔය දක්වා මාර්ගයේ දුම්රිය ධාවනය වූයේ බදුල්ල සිට අඹේවෙල දක්වා පමණි.

ඒ අනුව අද (20) දිනයේ සිට බදුල්ල සිට නානුඔය දක්වා දක්වා කොටසේ දිනකට දුම්රිය වාර 4ක් ක්‍රියාත්මක වනු ඇත.

අඹේවෙල සහ නානුඔය අතර පිහිටි පැරකුම්පුර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය නායයෑමකට ලක්ව තිබීම හේතුවෙන් මෙතෙක් දුම්රිය ධාවනය වූයේ අඹේවෙල සහ බදුල්ල දක්වා පමණි.

දුම්රිය ඉංජිනේරුවන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සහ පෞද්ගලික ආයතනයක් එක්ව එම නායගිය ස්ථානය සම්පූර්ණයෙන්ම පිළිසකර කිරීමෙන් පසුව මෙලෙස අද සිට දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව අද උදෑසන 9:00ට නානුඔය දුම්රිය ස්ථානයේ පැවැති සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව “පොඩි මැණිකේ” දුම්රිය නානුඔය සිට බදුල්ල බලා ගමන් ආරම්භ කළේය.

මේ වසර තුළදී රඹුක්න සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව රථවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.