Local news

අතුරුදන් නියමුවා අමෙරිකාව බේරා ගනී

අතුරුදන් නියමුවා අමෙරිකාව බේරා ගනී

අමෙරිකානු ප්‍රහාරක F-15 යානයක් ඉරානය වෙඩි තබා බිම හෙළීමෙන් පසුව අතුරුදන්ව සිටි අමෙරිකානු ගුවන් නියමුවා මුදාගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

මුදාගත් ගුවන් නියමුවා තුවාල ලබා ඇති නමුත් ඔහු ඉක්මනින් සුවය ලබනු ඇති බවත් ඔහු ඉරානයේ දුෂ්කර කඳුකර ප්‍රදේශයක සිටි බවද ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

මෙම මෙහෙයුම සඳහා ගුවන් යානා කිහිපයක්ම සම්බන්ධ වී ඇති අතර අමෙරිකානු හමුදාව ගෙවුණු පැය 24 පුරාම අදාළ ගුවන් නියමුවාගේ පිහිටීම නිරීක්ෂණය කරමින් සිටි බවද සඳහන් කරයි.

ගුවන් නියමුවා මුදාගැනීමේදී දරුණු වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවද වාර්තා වේ. 

හදවතින් බැඳී එකම ශ්‍රී ලාංකික පවුලක්ව ඉදිරියට යමු

හදවතින් බැඳී එකම ශ්‍රී ලාංකික පවුලක්ව ඉදිරියට යමු

අදට (05) දිනට යෙදී ඇති පාස්කු ඉරුදිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක නිකුත් කළ පණිවිඩය පහතින්.

ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා කිතුනු බැතිමත්හු ඉමහත් භක්තියන් යුතුව පාස්කු ඉරිදා දිනය සමරති. එය බලාපොරොත්තුවේ, අලුත් වීමේ සහ දයාවේ සදාතනික බලය සිහිපත් කරන්නකි.

ආගමික උත්සවයක් සේම පාස්කු උත්සවය යනු මනුෂ්‍යත්වය, ප්‍රේමය සහ දරා ගැනීමේ හැකියාව පිළිබඳ යළි මෙනෙහි කරවන කිතුනුවන්ගේ සංස්කෘතික මංගල්‍යයකි. මරණය පරදා උත්ථානය ලැබූ ක්‍රිස්තුස් වහන්සේ දැඩි අධිෂ්ඨානයත් කැපවීමත් තිබේ නම් අඳුර පරදා ආලෝකයත්, බිය පරදා විශ්වාසයත්, වේදනාව පරදා සදාකාලික ප්‍රීතියත් ජයගත හැකි බව ජීවනාදර්ශයෙන් ලොවට පෙන්වා දුන්හ. තමන් වෙනුවෙන් ජිවිතය පූජා කළ යේසුස් වහන්සේ උදෙසා එක්සත්ව නැගී සිටි ජනතාව ලෝකයට එක්සත්භාවයේ යහ-පණිවිඩය ලබා දුන්හ.

මේ මොහොතේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලොව පුරා ජනතාව මහත් පීඩා විඳින බවද අපට අමතක කළ නොහැකිය. එදිරිවාදය පෙරදැරිව ගෙන යන යුද්ධය වෙනුවට සියලු ලෝ වැසි ජනතාව සාමය සහ සහජීවනය ප්‍රාර්ථනා කරති. මේ උතුම් පාස්කු උදාවේදී සාමය කරා යන ගමන්මඟ හෙළිපෙහෙළි වේවා’යි ප්‍රාර්ථනා කරමි.

ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමෙහි දැක්වෙන පරිදි අපගේ හදවත් ප්‍රේමයෙන්, ඉවසීමෙන් සහ සමාව දීමේ උතුම් ගුණ දියෙන් පුරවාලමින් එක මවකගේ දරුවන් මෙන් භේද දුරලා හදවතින් බැඳී එකම ශ්‍රී ලාංකික පවුලක්ව ඉදිරියට යමු. ඒ සඳහා සහෝදරත්වයෙන් අත්වැල් බැඳගනිමු!

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය වීම සිහිපත් කරන මෙම උතුම් පාස්කු දිනය සමරන සියලුම ශ්‍රී ලාංකික මෙන්ම ලෝවැසි කිතුනු බැතිමතුන්ට මම මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

ඔබ සැමට දයාවේ සහ සාමයේ පැතුම් ඉටු වන සුබ පාස්කු මංගල්‍යයක් වේවා!

ඉරාන හමුදා නායකයින් රැසක් ඝාතනය කළා – ට්‍රම්ප්

ඉරාන හමුදා නායකයින් රැසක් ඝාතනය කළා – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරානය වෙත එල්ල කළ ප්‍රහාර වලින් ඉරානය අදූරදර්ශී ලෙස මෙහෙයවූ හමුදා නායකයින් රැසක් ඝාතනය කර කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ටෙහෙරානයට එල්ල කළ දරුණු ප්‍රහාර වලින් තවත් ඉලක්ක රැසක් විනාශ වූ බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

අයදුම්පත් කැඳවීම අවසන්.. 96%ක් සාර්ථකව අයදුම් කරයි

අයදුම්පත් කැඳවීම අවසන්.. 96%ක් සාර්ථකව අයදුම් කරයි

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කර තිබූ පරිදි (04) වන දින මධ්‍යහ්න 12.00ට අවසන් කළේය.

මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනෙකු අතුරින් 435 දෙනෙකු එනම් මුළු පිරිසෙන් 96%ක් පත්වීම් සඳහා සාර්ථකව අයදුම් කර ඇත.

මෙම වෛද්‍ය නිලධාරීන් පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති ආකාරය සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය පදනම් කර ගනිමින් නව රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

තෝරා ගන්නා ලද අයදුම්කරුවන්ගේ නාමලේඛනය, ඔවුන් අනුයුක්ත කරන ලද සේවා ස්ථාන, සේවයට වාර්තා කළ යුතු දිනය පිළිබඳ විස්තර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරියේදී කඩිනමින් ප්‍රකාශයට පත් කරයි.

විනිවිදභාවයකින් යුත් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ සිදු කෙරෙන මෙම අනුයුක්ත කිරීම් හරහා දිවයින පුරා පවතින වෛද්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

දිවි බේරාගත් අමෙරිකානු ගුවන් නියමුවාට ඉහළ මිලක්

දිවි බේරාගත් අමෙරිකානු ගුවන් නියමුවාට ඉහළ මිලක්

ඉරාන හමුදාව විසින් බිම හෙළු අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා අල්ලා ගැනීමට සහයෝගය ලබාදෙන පුද්ගලයින්ට ඉරාන රජය ත්‍යාගයක් ලබා දෙන බවට දැනුම්දීමක් කර ඇත.

ගුවන් නියමුවා අල්ලා ගැනීමට උදව් කරන ඕනෑම පුරවැසියෙකුට අමෙරිකානු ඩොලර් 66,000ක ත්‍යාගයක් ලබාදෙන බව ටෙහෙරාන් රජය ඉරාන වැසියන්ට පොරොන්දුවක් ලබාදී ඇත.

මේ අතර ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් අතුරුදහන් වූ අමෙරිකානු නියමුවා සෙවීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාරයක්

රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාරයක්

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු යුක්‍රේනයේ වෙළෙඳපොළකට මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර දින දෙකකට පෙර යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරයෙන් සිවිල් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිටපු මන්ත්‍රීවරුන් හිඟ වැටුප ඉල්ලයි

හිටපු මන්ත්‍රීවරුන් හිඟ වැටුප ඉල්ලයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් දින 17කට අදාළ විශ්‍රාම වැටුප එළඹෙන සිංහල අවුරුද්දට පෙර ලබාදෙන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් පසුගියදා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පසුගිය පෙබරවාරි මස (17) වැනිදා සම්මත කළ අතර ඒ අනුව (17) වැනිදා දක්වා විශ්‍රාම වැටුප කොටස ඔවුනට අහිමි වී ඇති බව වාර්තා වේ.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව හිටපු මන්ත්‍රීවරුන් පන්සියයකට වැඩි පිරිසකගේ විශ්‍රාම වැටුප අහෝසි විය.

පැය 24 – 12ට බස්සයි

පැය 24 – 12ට බස්සයි

ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 12 තෙක් අඩු කිරීමට ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව අද (05) දින උදෑසන 08.00 සිට රාත්‍රි 8.00 දක්වා පැය 12ක කාලයක් හෝමාගම ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි.

ඉරාන න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක්

ඉරාන න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක්

ඉරානයේ බුෂේහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාරය අසලට ප්‍රහාරයක් එල්ලවී ඇති බව ගෝලීය න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය සඳහන් කරයි.

මේ සම්බන්ධය සිය කනස්සල්ල පළ කරන අතර විකිරණ මට්ටම්වල වැඩිවීමක් වාර්තාවී නොමැති බවද එම ආයතනය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කරයි.

න්‍යෂ්ටික බලාගාර ස්ථාන සහ අවට ප්‍රදේශ කිසි විටෙකත් පහර නොදිය යුතු බවට ගෝලීය න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය අවධාරණය කර ඇත.

සුඛෝපභෝගී වාහන 20ක් පොලිස් භාරයට

සුඛෝපභෝගී වාහන 20ක් පොලිස් භාරයට

එකළස් කරන ලද නවීනතම සුඛෝපභෝගී රථ ඇතුළුව වාහන 20ක් සමගින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නීත්‍යනුකූල නොවන අයුරින් එකළස් කරන ලද රථ වාහන සංවිධානාත්මක අපරාධ සදහා යොදාගෙන ඇති බවටත් අදාළ රථ වාහන නීත්‍යනුකූල නොවන ලෙස එකලස් කිරීමට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ලැබී ඇති බවට අනාවරණය වී ඇත.

සැකකරුවන්ගෙන් ලද තොරතුරු වලට අනුව කඩවත, මීගහවත්ත සහ මොනරාගල ප්‍රදේශවල තිබී මෙම රථවාහන සොයා ගෙන ඇති අතර මෙවැනි නීත්‍යනුකූල නොවන රථ වාහන 40කට ආසන්න සංඛාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.

පොලිස් භාරයට ගත් මෙම වාහන අතර සුඛෝපභෝගී මෝටර් රථ, ජීප් රථ, වෑන්, ලොරි සහ යතුරුපැදි වන බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත, ගම්පහ සහ ජාඇල ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් වන අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.