Local news

තමන්ව වසර 16ක සිරදඬුවමින් නිදහස් කරන්න ඉල්ලා සරණගෙන් ඇපෑලක්

තමන්ව වසර 16ක සිරදඬුවමින් නිදහස් කරන්න ඉල්ලා සරණගෙන් ඇපෑලක්

තමන්ට නියම කරනු ලැබූ බරපතළ වැඩසහිත වසර 16ක සිරදඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන විසින් අභියාචනාධිකරණයට ඇපැල් පෙත්සම් හතරක් ඉදිරිපත් කර ඇත.

නීතිඥ රන්ජන් ද සිල්වා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම අභියාචනා පෙත්සම් අභියාචනාධිකරණයට යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාරදී ඇත.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට විරුද්ධව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු හතරක් ගොනුකර තිබුණ අතර එම නඩු විභාග කිරීමෙන් අනතුරුව අදාළ චෝදනා වලට වරදකරු කෙරුණේය.

ඒ අනුව සරණ ගුණවර්ධනට බරපතළ වැඩ සහිත වසර 16ක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට රුපියල් ලක්ෂ 18ක දඩයක්ද නියම කරනු ලැබීය. 

ආබාධ සහිත පුද්ගලයන්ට විශේෂ ප්‍රමුඛතා කාඩ්පතක්

ආබාධ සහිත පුද්ගලයන්ට විශේෂ ප්‍රමුඛතා කාඩ්පතක්

ආබාධ සහිත පුද්ගලයන්ට රාජ්‍ය ආයතන මගින් සේවා සැපයීමේදී ප්‍රමුඛතාව ලබාදීම සඳහා “විශේෂ ප්‍රමුඛතා කාඩ්පතක්” හඳුන්වා දීමට තීරණය කර ඇත.

ඒ අනුව කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මූලික කරගනිමින් මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

තවද එම පුද්ගලයන්ගේ ආබාධිතභාවය පිළිබඳ වර්ගීකරණය චක්‍රලේඛයක් ලෙස නිකුත් කිරීමට ද තීරණය කර ඇත.

ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් භාවිත කළ යුතු පාරිභාෂික වචන මාලාව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සමඟ එක්ව ප්‍රකාශනයක් ලෙස නිකුත් කිරීමට ද තීරණය කර ඇත.

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සභාපතිත්වයෙන් (30) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස් වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් තීරණය කර ඇත.

අදායම් බදු ඉලක්කයෙන් 52%ක් සම්පූර්ණයි

අදායම් බදු ඉලක්කයෙන් 52%ක් සම්පූර්ණයි

වසරේ අදායම් බදු ඉලක්කයෙන් 52%ක් මේ වනවිට සම්පූර්ණ කර ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වාර්ෂික අදායම් ඉලක්කය රුපියල් බිලියන 2,401ක් වන අතර ඉන් රුපියල් බිලියන 1,255ක් මේ වනවිට එක් රැස් වී ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය වසරට සාපේක්ෂව එහි ප්‍රගතිය 117%ක් බවද දේශීය අදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් 81 හැවිරිදි ආච්චි

අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් 81 හැවිරිදි ආච්චි

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇත.

එම හදිසි වැටලීමේදී නිවසක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728ක් හමුවී ඇති අතර එම මත්ද්‍රව්‍ය සමග නිවසේ හිමිකාරිය වු වයස අවුරුදු 81ක් වන කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී එම සැකකාරියගේ පුත්‍රයා නිවසේ සිට පලාගොස් ඇති අතර එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලීසිය විමර්ශන සිදුකරයි. 

අත්අඩංගුවට ගන්න ගිය සැකකරුට පොලීසියෙන් වෙඩි

අත්අඩංගුවට ගන්න ගිය සැකකරුට පොලීසියෙන් වෙඩි

ඇල්පිටිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් වැටලීමක් සඳහා කහදුව ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී සැකකරුවන් විසින් පොලීසියට පහරදීමට උත්සහ කළ අවස්ථාවේ පොලීසිය අහසට වෙඩි තබා ඇත.

එහිදී සැකකරුවන් දෙදෙනෙකු එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර නිලධාරීන් දෙදෙනෙකු ඔවුන් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන අවස්ථාවේදී එහි සිටි එක් සැකකරුවෙකු විසින් තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියෙකුට පහර දී ඇති බව වාර්තා වේ. 

අනතුරුව පොලීසිය ඔහුගේ අතකට වෙඩි තබා ඇති අතර වෙඩි වැදුණු සැකකරුට අත්විලංගු දමා අත්අඩංගුවට ගැනීමෙන් පසුව තවත් පිරිසක් පැමිණ සැකකරු රැගෙන පලාගොස් ඇත.

අදාළ පුද්ගලයා ඝාතන සිද්ධියකට ආධාර අනුබල දීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බව අතර ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර තියුණු ආයුධයෙන් පහර කෑම කෑමට ලක්වූ පොලිස් නිලධාරියා ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

දෛනිකව 400කට ආසන්න පිරිසක් රක්ෂිත බන්ධනාගාරයට

දෛනිකව 400කට ආසන්න පිරිසක් රක්ෂිත බන්ධනාගාරයට

දෛනිකව 400කට ආසන්න සැකකරුවන් පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බන්ධනාගාරවල පහසුකම් ඇත්තේ 30,000කට ආසන්න පිරිසක් සඳහා වුවද 40,000කට ආසන්න රැඳවියන් සංඛ්‍යාවක් මේ වනවිට බන්ධනාගාරගතව සිටින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වී සඳහා රජයේ සහතික මිල ප්‍රකාශයට පත් කරයි

වී සඳහා රජයේ සහතික මිල ප්‍රකාශයට පත් කරයි

යල කන්නයේ වී තොග සඳහා රජය විසින් මිලදී ගනු ලබන සහතික මිල ගණන් අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව නාඩු කිලෝවකට රුපියල් 120ක්

සම්බා කිලෝවකට රුපියල් 130ක්

කීරි සම්බා කිලෝවකට රුපියල් 140ක්

තවද පවතින සහල් තොග පාරිභෝගිකයා වෙත කඩිනමින් මුදා හැරීමට වැඩපිළිවෙළක් දියත් කර ඇති බවද අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.

වෙච්ච වැරැද්දට මට සමාවෙන්න.. අලුත් කොත්තුවක් අරන් එන්නම්

වෙච්ච වැරැද්දට මට සමාවෙන්න.. අලුත් කොත්තුවක් අරන් එන්නම්

තමන් අතින් සේවකයින්ට සිදූවූ සිදුවීම සම්බන්ධයෙන් තමා කණගාටු වන බවත් තමා අතින් සිදුවූ වරද සම්බන්ධයයෙන් රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව “මිස්ටර් කොත්තු” හි හිමිකරු වන විරාජ් වික්‍රමනායක සඳහන් කරයි.

“මිස්ටර් කොත්තු” හි හිමිකරු වන විරාජ් වික්‍රමනායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර ඇත.

ඔහු උසාවියෙන් ඇප ලබා පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

“වැරැද්දක් වුණා. ලංකාවටම වැරැද්දක් වුණා. සේවකයින්ට මගේ අතින් වෙච්ච දේ ගැන අවුලක් තියෙනවා. ඉතින් ඉස්සරහට ඒ වැරදි හදාගෙන අලුත් ගමනක් යනවා. මේක ඇත්තටම මගේ වැරැද්දක් නිසා වෙච්ච දෙයක්. වැරැද්ද පිළිගන්න ඕනේ. බලමු ඉස්සරහට. වෙනස් විදිහට අලුත් කොත්තුවක් අරන් එන්නම්.”

NLB හිටපු සභාපතිනිට අධිකරණයෙන් දුන් නියෝගය

NLB හිටපු සභාපතිනිට අධිකරණයෙන් දුන් නියෝගය

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යාමිලා පෙරේරා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අද (30) අත්අඩංගුවට ගත්තේය.

අනතුරුව අත්අඩංගුවට ගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යමිලා පෙරේරා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යමිලා පෙරේරා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව සැකකාරිය ලක්‍ෂ දහය බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුද හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන් තහනම් කරන බවත් එම විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවට නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීනියන් සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කළේය.

නව නාවික හමුදාපති පත් කරයි

නව නාවික හමුදාපති පත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ රියල් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වයිස් අද්මිරාල් නිලයට උසස් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපති ලෙස පත් කරනු ලැබ ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේදී ඔහු වෙත භාරදෙන ලදී.

ජූලි (01) වනදා සිට බල පැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති අතර වත්මන් නාවික හමුදාපති අද්මිරාල් කාංචන බානගොඩ ජූලි (01) වනදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතය.

වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරූ ඩේමියන් ප්‍රනාන්දු 1991 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන බඳවා ගැනීම යටතේ විධායක අංශයේ ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්වූ අතර, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ මූලික නාවික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව 1993 වසරේදී උප ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්විය.

වසර 35ක විශිෂ්ට නාවික සේවා දිවිය තුළ දෙස් විදෙස් විවිධ වෘත්තීය හා විශේෂඥ පුහුණු පාඨමාලා රැසක් හදාරා ඇති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු රණශූර, උත්තම සේවා යන පදක්කම්වලින් ‌මෙන්ම සිය වෘත්තීමය දක්ෂතාව, කාර්යක්ෂමතාව සහ කැපීපෙනෙන සේවා දායකත්වය අගයමින්, විවිධ අවස්ථා හයකදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපතිවරු විසින් ප්‍රශංසාත්මක ලිපි (Letters of Commendation) පිරිනමා සේවය ඇගයීමට ලක් කර තිබේ.

ඩේමියන් ප්‍රනාන්දු ජෙනරාල් ශ්‍රීමත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ (Master of Defence Studies) විද්‍යාපති උපාධියත්, ලන්ඩනයේ කිංග්ස් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර ආරක්ෂාව හා උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති (Master of Arts in International Security and Strategy) උපාධියත් හිමි කරගෙන ඇත.