Local news

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන ඇමති කියයි

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන ඇමති කියයි

පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම රජයේ මූලික බලාපොරොත්තුව බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

එහි නිල දිනය තීරණය වන්නේ පවතින මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුව ලබා ගන්නා කාලය මත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

පසුගිය පාලන සමයන්හිදී පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් හඳුන්වා දුන් ව්‍යාකූල නීතිමය තත්ත්වයන් හේතුවෙන් වසර ගණනාවක සිට මෙරට පළාත් සභා මැතිවරණය පැවැත්වීම අඩාල වී තිබුණේය.

අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

නව නාවික හමුදාපති ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

නව නාවික හමුදාපති ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද (01) ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපති ලෙස වැඩභාර ගැනීමෙන් පසු, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ආරක්‍ෂක ලේකම්වරයා නිල වශයෙන් හමු වූ පළමු අවස්ථාව මෙයයි.

මෙහිදී, නව නාවික හමුදාපතිවරයා පිළිගත් ආරක්ෂක ලේකම්වරයා, එතුමාගේ නව පත්වීම වෙනුවෙන් සිය සුබ පැතුම් පිරිනැමීය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් විශිෂ්ටත්වය සහ සම්ප්‍රදායන් තවදුරටත් ඉදිරියට ගෙනයමින්, උසස් වෘත්තීය භාවය, කැපවීම සහ උපායමාර්ගික දැක්මකින් යුතුව නාවික හමුදාව මෙහෙය වීමට නව නාවික හමුදාපතිවරයාට ඇති හැකියාව පිළිබඳව ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී දැඩි විශ්වාසය පළ කළේය.

වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ඉකුත් ජුනි (30) වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම්, ආචාර්ය නන්දික සනත් කුමානායක අතින් සිය පත්වීම් ලිපිය ලබා ගන්නා ලදී.

හදිසි නීතිය දීර්ඝ නොකිරීමට තීරණයක්

හදිසි නීතිය දීර්ඝ නොකිරීමට තීරණයක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පනවා තිබූ මහජන හදිසි නීති තත්ත්වය මෙම මාසයේ සිට තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අද (01) දින පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

12%කින් බස් ගාස්තු ඉහළ⁣ට

12%කින් බස් ගාස්තු ඉහළ⁣ට

එළඹෙන (06) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 12%කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ⁣ දමා ඇත.

ඒ අනුව සාමාන්‍ය සේවා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ දමා ඇති අතර කිලෝමීටර් 100 හෝ ඊට වැඩි ගමනාන්ත සඳහා 20%කින් බස් ගාස්තු ඉහළ දමා ඇත.

සුඛෝපභෝගී සේවා සඳහා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ දමා ඇති අතර කිලෝමීටර් 100ට වැඩි ගමනාන්ත සඳහා 15%කින් බස් ගාස්තු ඉහළ දමා ඇත.

දුරකථන සහ ලැප්ටොප් පරිගණක මුරපද ලබාදෙන්නැයි සලේට නියෝග

දුරකථන සහ ලැප්ටොප් පරිගණක මුරපද ලබාදෙන්නැයි සලේට නියෝග

තම දුරකථනයේ සහ ලැප්ටොප් පරිගණකයේ මුරපද වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසට හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත.

පසුගිය පෙබරවාරි මස (25) දින පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව සුරේෂ්⁣ සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම ආරම්භ කළ අතර එහිදී ඔහු විසින් ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කළේය.

උපවාසය අතරතුර ඇතිවු හෘදයාබාධ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රථිකාර සඳහා සුරේෂ්⁣ සලේ කොළඹ ජාතික රෝහලට අතුළත් කළ අතර ඔහු මේ වන විවටත් හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

කෙසේ වෙතත් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළ සුරේෂ්⁣ සලේ අද (01) දින සිය උපවාසය නතර කිරීමට තීරණය කළේය.

එල්-නිනෝ සඳහා මුහුණදීමට පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව රැස් වෙයි

එල්-නිනෝ සඳහා මුහුණදීමට පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව රැස් වෙයි

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳිගේ සභාපතීත්වයෙන් යුතුව පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව පළමු වරට ජනාධිපති කාර්යාලයේදී (30) පස්වරුවේ රැස් විය.

ආහාර සුරක්ෂිතතාව, ජල කළමනාකරණය සහ බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය කෙටිකාලීන, මධ්‍යකාලීන, සහ දිගුකාලීන සැලසුම් සකස් කිරීම සහ සියලුම රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයත්, ඒකාබද්ධ මෙහෙයුම් සහතික කිරීම සදහා සහ මහජනතාව දැනුවත් කරමින් ආපදා අවදානම අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමත් වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව පත් කරන ලදී.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව නියෝජනය කරනු ලබයි.

මෙම සාකච්ඡාවට සමගාමීව නිලධාරී කමිටුව සඳහා පත් කළ සාමාජිකයන්ට පත්වීම් ලිපි ලබාදීමද සිදු කෙරිණි.

එල්-නිනෝ සම්බන්ධව දැනට පවතින තත්ත්වය අනුව ප්‍රබල සම්භාවිතාව 63%ක් සහ දුර්වල සම්භාවිතාව 33%ක් බව මෙහිදී අනාවරණය වූ අතර, එම තත්ත්වය යටතේ පානීය ජලය, වාරිමාර්ග සහ බලශක්තිය සම්බන්ධව වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙන බවටද අවධාරණය කෙරිණි.‍

ගෝලීය එල්-නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ඇති විය හැකි නියං හෝ වැසි තත්ත්වයක් අඩු වැඩි වශයෙන් ඇති වනු ඇති බවට පුරෝකථනය කර තිබෙන බැවින් එම සියලු තත්ත්වයන්ට මුහුණදීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ නිශ්චිත වැඩපිළිවෙළක් සති දෙකක් ඇතුළත සකස් කරන ලෙස මෙහිදී අදාළ අමාත්‍යාංශවලට සහ දෙපාර්තමේන්තුවලට උපදෙස් දෙනු ලැබීය.

එල්-නිනෝ තත්ත්වය සම්බන්ධව දැනට පවතින වෙන් වෙන් අර්ථ දැක්වීම් වෙනුවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පමණක් නිල ප්‍රකාශ නිකුත් කිරීමටද මෙහිදී තීරණය කෙරිණි.

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක හදිසි ආධාර පැකේජයක්

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක හදිසි ආධාර පැකේජයක්

ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක හදිසි ආධාර පැකේජයක් අනුමත කර ඇත.

“දිට්වා සුළි කුණාටුවෙන්” පසු ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් මෙම හදිසි ආධාර පැකේජය අනුමත කර ඇත.

තවදුරටත් මේක කරන්න අමාරුයි.. සලේ උපවාසය අත්හරී

තවදුරටත් මේක කරන්න අමාරුයි.. සලේ උපවාසය අත්හරී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කළ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ උපවාසය නතර කිරීමට තීරණය කර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව රැඳවුම් භාරයේ සිටින සුරේෂ්⁣ සලේ මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

සුරේෂ් සලේ නීතිඥ උපදෙස් මත ඔහුගේ උපවාසය නතර කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ගෝඨාගේ ලේකම් සුගීෂ්වරට දුන් නියෝගය

ගෝඨාගේ ලේකම් සුගීෂ්වරට දුන් නියෝගය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර අද (01) පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සුගීෂ්වර බණ්ඩාර නැවතත් ජුලි (08) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ජුලි මස (08) වනදා ප්‍රකාශයට පත්කරන බවද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එදින තෙක් සුගීෂ්වර බණ්ඩාර තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.

තමන්ව වසර 16ක සිරදඬුවමින් නිදහස් කරන්න ඉල්ලා සරණගෙන් ඇපෑලක්

තමන්ව වසර 16ක සිරදඬුවමින් නිදහස් කරන්න ඉල්ලා සරණගෙන් ඇපෑලක්

තමන්ට නියම කරනු ලැබූ බරපතළ වැඩසහිත වසර 16ක සිරදඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන විසින් අභියාචනාධිකරණයට ඇපැල් පෙත්සම් හතරක් ඉදිරිපත් කර ඇත.

නීතිඥ රන්ජන් ද සිල්වා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම අභියාචනා පෙත්සම් අභියාචනාධිකරණයට යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාරදී ඇත.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට විරුද්ධව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු හතරක් ගොනුකර තිබුණ අතර එම නඩු විභාග කිරීමෙන් අනතුරුව අදාළ චෝදනා වලට වරදකරු කෙරුණේය.

ඒ අනුව සරණ ගුණවර්ධනට බරපතළ වැඩ සහිත වසර 16ක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට රුපියල් ලක්ෂ 18ක දඩයක්ද නියම කරනු ලැබීය.