Local news

ජනතාවට රජයෙන් ලැබෙන සම්පූර්ණ සහන පැකේජය මෙන්න

ජනතාවට රජයෙන් ලැබෙන සම්පූර්ණ සහන පැකේජය මෙන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (07) දින පාර්ලිමේන්තුවේදී රජයේ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කළේය.

ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇති අතර රජයක් ලෙස ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

අස්වැසුම සහනාධාරය =

අස්වැසුම වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති අඩු ආදායම්ලාභී කාණ්ඩයන් සඳහා පවුලක සාමාජික සංඛ්‍යාව නොසලකා 2026 අප්‍රේල් මාසය සඳහා අමතර විශේෂ දීමනාවක් ලබාදීම.

රුපියල් 7,500ක මුදලක් අන්ත දිළිඳු කාණ්ඩයේ පවුලක් වෙන ලබාදීම.
රුපියල් 5,000ක මුදලක් දුප්පත් කාණ්ඩයේ පවුලක් වෙත ලබාදීම.
රුපියල් 2,500ක මුදලක් සංක්‍රාන්තික පවුලක් වෙත ලබාදීම.

විදුලි සහනාධාරය =

ඒකක 90ට අඩු අයට සහන දීම සඳහා රුපියල් බිලියන 15ක් වෙන්කර තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ යාමක්, පවතින වියළි කාලගුණික තත්ත්වයත් හේතුවෙන් විදුලිය ජනනය කිරීම සඳහා තාප බලාගාර යෙදවීම වෙනුවෙන් දැරීමට සිදුවන අමතර පිරිවැය විදුලි පාරිභෝගිකයන් වෙත විතැන් කිරීම වෙනුවට, ඒකක 90ට අඩු විදුලි පාරිභෝගිකයින්හට සහනයක් ලබාදීමට හැකි වන පරිදි අදාළ අමතර පිරිවැය මාස 03ක කාලයක් සඳහා රජය විසින් දැරීම.

පොහොර සහනාධාරය =

හෙක්ටයාරයකට රුපියල් 25,000ක් ලෙස ලබාදෙන පොහොර සහනාධාරය යල කන්නය සඳහා රුපියල් 30,000ක් දක්වා ඉහළ නංවීමට කටයුතු කර ඇත.

අතිරේක භෝග සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000ක් වූ පොහොර සහනාධාරය යල කන්නය සඳහා රුපියල් 18,000ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇත.

ගොවීන්ට, ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා යල කන්නය සඳහා යූරියා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 10,200ක ස්ථාවර මිලකට ලබාදෙනු ලබනවා.

ධීවර සහනාධාරය =

එක් දින ධීවර යාත්‍රාවක් සඳහා දිනකට ලීටර 25 බැගින් මසකට උපරිම දින 25ක් දක්වා ඉන්ධන ලීටරයකට රුපියල් 50 බැගින් වූ සහනාධාරයක් මාස 03ක් සඳහා ලබාදීම.

ඉදිරි මාස 03 තුළ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින ධීවර යාත්‍රාවක් සඳහා රුපියල් 150,000ක් එකවර ගෙවනු ලබන දීමනාවක් ලබාදීමට කටයුතු කර ඇත.

තේ වතු හිමියන්ට සහන =

කුඩා තේ වතු හිමියන් දිරිමත් කිරීම සඳහා දැනට ලබාදෙන රුපියල් 4,000ක දීමනාවට අමතරව, එක් වරකට පමණක් පොහොර මිටියක් වෙනුවෙන් රුපියල් 5,000ක විශේෂ දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත.

මෙම සමස්ත සහන පැකේජය වෙනුවෙන් රජය රුපියල් මිලියන 6,500ක අතිරේක මුදලක් වෙන්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

රජයෙන් ලබාදෙන දීමනාව තවත් වැඩි කරයි

රජයෙන් ලබාදෙන දීමනාව තවත් වැඩි කරයි

අස්වැසුම වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති අඩු ආදායම්ලාභී කාණ්ඩයන් සඳහා පවුලක සාමාජික සංඛ්‍යාව නොසලකා 2026 අප්‍රේල් මාසය සඳහා අමතර විශේෂ දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

රුපියල් 7,500ක මුදලක් අන්ත දිළිඳු කාණ්ඩයේ පවුලක් වෙන ලබාදීම.

රුපියල් 5,000ක මුදලක් දුප්පත් කාණ්ඩයේ පවුලක් වෙත ලබාදීම.

රුපියල් 2,500ක මුදලක් සංක්‍රාන්තික පවුලක් වෙත ලබාදීම.

ඒ අනුව රුපියල් 17,500ක අස්වැසුම් මුදල රුපියල් 7,500කින් ඉහළ දමා ඇති අතර අප්‍රේල් මාසයට හිමිවන මුදල රුපියල් 25,000කි.

රුපියල් 10,000ක අස්වැසුම් මුදල රුපියල් 5,000කින් ඉහළ දමා ඇති අතර අප්‍රේල් මාසයට හිමිවන මුදල රුපියල් 15,000කි.

රුපියල් 5,000ක අස්වැසුම් මුදල රුපියල් 2,500කින් ඉහළ දමා ඇති අතර අප්‍රේල් මාසයට හිමිවන මුදල රුපියල් 7,500කි.

පෙට්‍රල් සහ ඩීසල් සඳහා රජයෙන් සහනාධාරයක්

පෙට්‍රල් සහ ඩීසල් සඳහා රජයෙන් සහනාධාරයක්

යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ඉන්ධන හා බලශක්තිය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ඒ අනුව ඉන්ධන සහනාධාර වෙනුවෙන් මහා භාණ්ඩාගාරය මසකට රුපියල් කෝටි 2000 බැගින් වැය කිරීමට සැලසුම් කර ඇති බවත් ඉදිරි මාස තුනක කාලය සඳහා රජය රුපියල් කෝටි 6000ක මුදලක් වෙන් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඒ අනුව සෑම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක් සහ සෑම පෙට්‍රල් ලීටරයකටම රුපියල් 20ක සහනාධාරයක් ලබාදීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා අද (07) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

එළැඹෙන මැයි (01) වනදා හෝ ඊට ආසන්න දිනකදී සිදුවන ඉන්ධන මිල ගැලපුමේදී පෙර මාසයේ පිරිවැය දත්ත මත පදනම්ව මෙම සහනාධාරය ක්‍රියාත්මක වන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

වෙළඳපොළ පිරිවැය අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 600 සීමාව ඉක්මවා යා හැකි වුවද, රජය මැදිහත් වී පිරිවැයෙන් රුපියල් 100ක් දැරීම හරහා ජනතාවට සහනයක් සැලසීමට තීරණය කර ඇති බවද සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“එළැඹෙන මැයි මාසයේ (01) වෙනිදා හෝ ඒ ආසන්න දිනයක දී ඉන්ධන නැවත පිරිවැය ගාස්තු අපි ගේනවා. ඒ පිරිවැය ගාස්තුව ගණනය කරන්නේ ඊට පෙර මාසයේ ඇති ඇත්ත දත්ත මත. ඊළඟ ඉන්ධන ගැලපුමේ දී ඇත්ත ගාස්තුවට ගණනය කරලා, ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100 දක්වා සහනාධාරයක් දෙන්න.

පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20 දක්වා සහනාධාරයක් දෙන්න. ඒ අනුව අපි ගණනය කරලා තියෙනවා මාසයකට ඒ අනුව බිලියන 20ක් යනවා ඒ කියන්නේ රුපියල් කෝටි 2,000ක් වැය වෙනවා. මාස තුනකට අපි යෝජනාව සකස් කරලා තියෙනවා. මේක ඉලක්ක සහගත ප්‍රජාවට තමා අපි සහනාධාර ලබාදිය යුතු වන්නේ.”

ජනපතිගෙන් විදුලි බිලට සහනයක්

ජනපතිගෙන් විදුලි බිලට සහනයක්

වර්තමාන ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇති අතර රජයක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

විදුලි ඒකක 90ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයන් සඳහා ඉදිරියේදී සිදුවන විදුලි බිල වැඩිවීමකදී සහන සැලසීමට රජය තීරණය කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඒ වෙනුවෙන් මසකට රුපියල් කෝටි 500 බැගින් මාස තුනක් සඳහා රුපියල් කෝටි 1500ක මුදලක් වෙන් කරන බව ජනාධිපතිවරයා අද (07) පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ලබාදීම නිසා සිදුවන අතිරේක පිරිවැය කිසිසේත්ම සාමාන්‍ය පාරිභෝගිකයාගේ විදුලි බිලට එකතු නොකරන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරයි.

“ඒකක 90ට අඩු අයට සහන දෙන්න රුපියල් බිලියන 15ක් වෙන් කෙරේ.

ඉන්ධන මිල ඉහළ යාමක්, පවතින වියළි කාලගුණික තත්ත්වයත් හේතුවෙන් විදුලිය ජනනය කිරීම සඳහා තාප බලාගාර යෙදවීම වෙනුවෙන් දැරීමට සිදුවන අමතර පිරිවැය විදුලි පාරිභෝගිකයන් වෙත විතැන් කිරීම වෙනුවට, ඒකක 90ට අඩු විදුලි පාරිභෝගිකයින්හට සහනයක් ලබා දීමට හැකි වන පරිදි අදාළ අමතර පිරිවැය මාස 03ක කාලයක් සඳහා රජය විසින් දැරීම.”

අවුරුදු සමයේ පරිස්සම් වෙන්න.. ජනතාවට අනතුරු ඇඟවීමක්

අවුරුදු සමයේ පරිස්සම් වෙන්න.. ජනතාවට අනතුරු ඇඟවීමක්

එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය සමග සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදුවන මාර්ගගත වංචා සහ මුදල් වංචා ඉහළ යා හැකි බැවින් ඒ පිළිබදව අවධානයෙන් සහ සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාව⁣ට දැනුම් දෙයි.

මෙම අවුරුදු උත්සව සමය තුළදී සයිබර් අපරාධකරුවන් මහජන විශ්වාසය පළදු කරමින් විවිධ වංචනික ක්‍රමෝපායයන් ක්‍රියාත්මක කරන බව නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

රාජ්‍ය සේවා සපයන ආයතන දෙපාර්තමේන්තු, ප්‍රසිද්ධ වෙළෙඳසැල් සහ ව්‍යාපාරික ආයතන ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මහජනතාව නොමඟ යැවීමේ සිද්ධීන් පිළිබඳව සැලකිය යුතු තොරතුරු වාර්තා වී ඇති බවද සඳහන් කරයි.

මෙම වංචනිකයන් ව්‍යාජ දීමනා, විශේෂ වට්ටම්, මුදල් ත්‍යාග සහ තෑගි ලබාදෙන බවට පොරොන්දු වෙමින් ආකර්ෂණීය පණිවිඩ කෙටි පණිවිඩ සහ සමාජ මාධ්‍ය වේදිකා හරහා ප්‍රචාරය කරන බවද එම සංසදය සඳහන් කරයි.

ඔවුන් වංචනික සබැඳි (links) බෙදා හරිමින්, එම සබැඳි හරහා මුදල් ගෙවීමට හෝ පුද්ගලික තොරතුරු ලබා දීමට මහජනතාව පොළඹ වන ආකාරය නිරීක්ෂණය වී ඇති බවද එම සංසදය සඳහන් කරයි.

එනිසා බොහෝ පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලින් සෘජුවම මුදල් අහිමි වූ අවස්ථා වාර්තා වී ඇති අතර එමෙන්ම සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කර සිදුකරන අවුරුදු කුමාරි තරග වැනි ක්‍රම යොදාගනිමින් ඡායාරූප ලබා ගෙන ඒවා අවභාවිතා කිරීමේ උත්සහායන් ක්‍රියාත්මක බවද එම සංසදය සඳහන් කරයි.

සහන පැකේජය අරන් ජනපති පාර්ලිමේන්තුවට

සහන පැකේජය අරන් ජනපති පාර්ලිමේන්තුවට

රජය විසින් හඳුන්වාදී ඇති නව ආර්ථික සහන පැකේජයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

අදාළ සහන පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (07) දහවල් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

Artemis II ගගනගාමීන්ගෙන් නව වාර්තාවක්

Artemis II ගගනගාමීන්ගෙන් නව වාර්තාවක්

මේ දිනවල සඳේ කක්ෂය වටා ගමන් කරමින් සිටින නාසා ආයතනයේ “Artemis II” මෙහෙයුමේ ගගනගාමීන් නව වාර්තාවක් පිහිටුවා ඇත.

පෘථිවියේ සිට වැඩිම දුරක් ගමන් කල මිනිසුන් කණ්ඩායම බවට පත්වෙමින් මෙම වාර්තාව පිහිටුවා ඇත.

මීට පෙර අදාළ වාර්තාව හිමි වූයේ 1970 වසරේදී කිලෝමීටර 400,171 දුරක් වාර්තා කළ ඇපලෝ 17 මෙහෙයුමේ ගගනගාමීන් කණ්ඩායමටයි.

ඒ අනුව Artemis II මෙහෙයුම් ගගනගාමීන් සිව් දෙනා දැනටමත් එම වාර්තාව බිඳ දමා ඇති අතර මෙහෙයුම අවසන් වනවිට ඔවුන් පෘථිවියේ සිට කිලෝමීටර 400,672 දුරක් ගමන් කරනු ඇත.

ඒ Artemis II මෙහෙයුමේ ස්පේස් ලෝන්ච් රොකට් යානය සහ ඔරායන් කැප්සියුලය ගමන් ගන්නා මුළු දුර නොවන බවත් එය පෘථිවියේ මධ්‍යයේ සිට අභ්‍යවකාශ යානයට ඇති උපරිම සරල රේඛීය දුර බවද සඳහන් කරයි.

ඉරානය එක රැයකින් විනාශ කර ගල් යුගයකට ගෙන යනවා

ඉරානය එක රැයකින් විනාශ කර ගල් යුගයකට ගෙන යනවා

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානයට ලබාදී ඇති කාලය අද (07) රාත්‍රී 8.00න් අවසන් වන බවත් ඉරානය එක රැයකින් විනාශ කර දැමිය හැකි බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

රාත්‍රී 8.00 වන විට තමාට පිළිගත හැකි ගිවිසුමකට එළඹීමට ඉරානය අපොහොසත් වන්නේ නම් ඉරානයට එරෙහිව දැඩි විනාශකාරී ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරයි.

අදින් පසුව ඉරානයට යළි කිසිදු සහන කාලයක් ලබා නොදෙන බවත් මධ්‍යම රාත්‍රිය වන විට ඉරානයේ පාලම් සහ බලාගාර විනාශ කර ඉරානය ගල් යුගයකට ගෙන යන බවද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරයි.

මහින්ද අද හිටියා නම් නොබෙල් ත්‍යාගයත් හම්බෙලා

මහින්ද අද හිටියා නම් නොබෙල් ත්‍යාගයත් හම්බෙලා

සැමවිටම රටේ සමාජ ව්‍යසන වලින් ජනතාව මුදවා ගැනීම උදෙසා තමා ඇතුළු කණ්ඩායම කටයුතු කළ බවත් අවසානයේදී මහින්ද රාජපක්ෂ මිනීමරුවෙකු, හොරෙකු බවට පත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට රටේ ජනාධිපතිවරයා වී සිටියා නම් සමහරවිට නොබෙල් සාම ත්‍යාගය හිමිවීමට ඉඩ තිබූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“අපි හැමදාම උත්සහ කරේ මේ රටේ සමාජ ව්‍යසන වලින් ජනතාව මුදවාගන්න. අපි LTTE එකත් එක්ක හැප්පුනේ සමාජ ව්‍යසනය නවත්තන්න. නැත්තම් අපිටත් තිබ්බා ඔයාලා ඒ පැත්ත බලාගන්න අපිත් මේ පැත්ත බලාගන්නම් කියලා.

මහින්ද මහත්තයා හිටියා නම් අද සමහර විට නොබෙල් සාම ත්‍යාගයත් හම්බෙලා. අන්තිමට එතුමාව ලෝකය මිනීමරුවෙක්, හොරෙක් බවට පත් කළා. මොකද්ද හේතුව. LTTE එක පරාජය කරපු නිසා.”

ජන හා නිවාස සංගණනයේ අවසන් වාර්තාව ජනපතිට

ජන හා නිවාස සංගණනයේ අවසන් වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය 2024ට අදාළ අවසන් වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් භාර දෙනු ලැබිණ.

මෙම සංගණනය, ශ්‍රී ලංකාවේ 15වන ජන හා නිවාස සංගණනය වන අතර, ජාතික මට්ටමේ දත්ත රැස්කිරීමක් සඳහා සංගණන ඉතිහාසයේ ප්‍රථමවරට ටැබ්ලට් පරිගණක සහ සුහුරු ජංගම දුරකථන භාවිත කිරීම මෙහි විශේෂත්වයකි.

ඒ අනුව, මෙහිදී ටැබ් පරිගණක යන්ත්‍ර 15,000ක් සහ ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කර දත්ත රැස්කිරීම සිදු කෙරිණි. එමගින් දත්ත රැස් කිරීම වේගවත් කිරීමටත්, දෝෂ අඩු කිරීමත්, ලබාගත් දත්ත ඍජුව දෙපාර්තමේන්තුවේ සර්වර් පරිගණක වෙත ලබා ගැනීමටත්, අනතුරුව, දත්ත විශ්ලේෂණය සහ වාර්තා සකස් කිරීම කාර්යක්ෂමව සිදු කිරීමටත් හැකි විය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් මගින් සිදු කරන ලද විශාලතම සහ සංකීර්ණතම දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය වන මෙම ජාතික සංගණනය, සංගණන ආඥාපනත යටතේ සිදු කර ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික මඟපෙන්වීමෙන් දිස්ත්‍රික් පරිපාලනයේ මෙහෙයවීම යටතේ, දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල සිසුන්, වෙනත් උසස් අධ්‍යාපන කටයුතුවල නියැළෙන්නන් ඇතුළු සංගණනයේ තොරතුරු රැස්කිරීම සඳහා විශේෂයෙන් පුහුණුව ලබා දුන් පුද්ගලයෝ විශාල සංඛ්‍යාවක් මෙම ජාතික කාර්යය සඳහා සහභාගී වූහ.

මෙම සංගණනයේ ‘සංගණන මොහොත’ ලෙස 2024 දෙසැම්බර් මස (19) වන දිනයේ ආරම්භ වන අවස්ථාව (එනම් පැය 00:00) සලකන ලදී.

ශ්‍රී ලංකාවේ ජනගහනය, ජනගහනයේ වර්ධනය සහ දිස්ත්‍රික්ක අනුව ජනගහන ව්‍යාප්තිය සහ පුද්ගලයින් පදිංචි නිවාස ඒකක පිළිබඳව මෙම සංගණන වාර්තාවේ සඳහන් වේ.

තවද මෙම වාර්තාව රටේ ජනගහන ව්‍යුහය, නිවාස තත්ත්වය, සමාජ-ආර්ථික ලක්ෂණ සහ ප්‍රාදේශීය විෂමතා පිළිබඳව විස්තරාත්මක දත්ත සපයන මූලික ජාතික ලේඛනය ලෙස සැලකෙන අතර, සංගණනයෙන් රැස් කරන ලද තොරතුරු ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කිරීමට රජයට මෙන්ම සෙසු ආයතන සඳහාද ඉතා වැදගත් වේ.

මෙහිදී අදහස් දක්වමින් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ. එම්. ඩී. එස්.ඩී. කරුණාරත්න පැවසුවේ, ඩිජිටල් ක්‍රමවේද භාවිත කිරීම හේතුවෙන් පෙර සිදු කළ සංගණනවලට වඩා විශාල පරාසයක තොරතුරු රැස් කිරීමට හැකි වූ බවයි.

එමඟින් වඩාත් පුළුල් විශ්ලේෂණයක් සහිත වාර්තාවක් සකස් කිරීමට හැකි වූ බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.