Local news

බැංකුවක වංචාවක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

බැංකුවක වංචාවක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර ඇත.

National Development Bank PLC තුළ, අභ්‍යන්තර වංචාවක් සිදු වී ඇති බව අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එම වංචාව මගින් සැලකිය යුතු මට්ටමේ අලාභයක් සිදුවිය හැකි බව එම බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දී ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.

මෙම වංචාව නිසා, කිසිදු ගනුදෙනු කරුවෙකුගේ ගිණුමකට හෝ තැන්පතු වලට, බලපෑම් සිදුවී නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඔවුන් දැනුම් දී ඇති බවද අදාළ නිවේදනය සඳහන් වේ.

National Development Bank PLC විසින්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විය හැකි මුල්‍ය බලපෑම පිළිබඳව පූර්ව ඇගැයීමක් සිදු කර ඇති අතර ඒ අනුව වාර්තා කළ අලාභය සලකා බැලීමෙන් පසුවද, National Development Bank PLC හට එහි ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා සහ ද්‍රවශීලතාවය සම්බන්ධ අනුපාත, අවම නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පවත්වා ගෙන යා හැකි බවට ප්‍රකාශ කර ඇත.

තවදුරටත් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කරමින් සිටින අතර අවශ්‍ය පරිදි සුදුසු පියවර ගන්නා බවත් අවශ්‍ය වුවහොත්, පවතින නීති සහ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ බැංකු වලට ලබාගත හැකි දැනටමත් ක්‍රියාත්මක ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රම යටතේ, National Development Bank PLC හට, තාවකාලිකව ද්‍රවශීලතා ලබා ගැනීමේ හැකියාව පවතින බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ පාර්ලිමේන්තු විවාදය ලබන (09) බ්‍රහස්පතින්දා ප.ව 2.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.

විවාදය සදහා යෝජනාව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන අතර පාස්කු ප්‍රහාරය වෙනුවෙන් පැවැත්වෙන 14 වැනි විවාදය මෙය බව වාර්තා වේ.

කේක් කපන්න හැදු සෙව්වන්දිගේ තවත් ගිණුම් කිහිපයක්

කේක් කපන්න හැදු සෙව්වන්දිගේ තවත් ගිණුම් කිහිපයක්

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකාරියක ලෙස නම් කර සිටින ඉෂාරා සෙව්වන්දිගේ නමින් ඇති තවත් බැංකු ගිණුම් කිහිපයක් අනාවරණය කරගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ සඳහන් කරයි.

ගණේමුල්ලේ සංජීව කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය මෙම කරුණු ඉදිරිපත් කළේය.

අනාවරණය කරගත් නව බැංකු ගිණුම් සම්බන්ධයෙන් අදාල බැංකු මගින් වාර්තා කැඳවා විමර්ශනය කිරීමට අවසර ලබාදෙන ලෙසද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරගත සැකකරුවන් පස් දෙනෙකු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළේය.

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසදී

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසදී

59 වැනි වරටත් පැවැත්වෙන ජාතික අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් (08) සහ (09) දෙදින තුළ ජය ශ්‍රී මහා බෝධිය අබියසදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

අප්‍රේල් (09) වනදා උදෑසන 8.00ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මංගල්‍යයේ ප්‍රධාන කටයුතු පැවැත්වීමට නියමිතය.

අප්‍රේල් (08) වනදා අළුයම සතර වාහල්කඩ කිරි ඉතිරවීමෙන් මංගල්‍යයේ ආගමික කටයුතු ආරම්භ වන අතර ඉන් අනතුරුව බෝධි පූජා සහ මල් පූජා පැවැත්වෙන අතර එදින උදෑසන 6.00 සිට සවස 5.00 දක්වා හේවිසි පූජාව අඛණ්ඩව පැවැත්වීමට නියමිතය.

අප්‍රේල් (09) වනදා උදෑසන අලුත් සහල් පාත්‍ර රැගත් පෙරහැර ආරම්භ වන අතර එය ජය ශ්‍රී මහා බෝධිය නැගෙනහිර රථ ගාල අසලින් ගමන් ආරම්භ කරයි.

පෙරහරින් රැගෙන යන සහල් බෝධින් වහන්සේ අසල තැන්පත් කර ඇති මහා පාත්‍රයට පිරවීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කෙරේ.

මෙම උත්සවය අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමි ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.

සටන් විරාම නෑ.. ඉරානය සියල්ල ප්‍රතික්ෂේප කරයි

සටන් විරාම නෑ.. ඉරානය සියල්ල ප්‍රතික්ෂේප කරයි

අමෙරිකාව විසින් ඉදිරිපත් කළ සටන් විරාම යෝජනාව ඉරානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ජාත්‍යන්තර මැදිහත් වීම මත ඉදිරිපත් වූ තාවකාලික සාම සාකච්ඡා හෝ සටන් විරාමයන් මගින් පවතින ප්‍රශ්නයට විසඳුම් නොලැබෙන බව ඉරානය සඳහන් කරයි.

එනිසා තාවකාලික සටන් විරාමයකට එකඟ වීම වෙනුවට පවතින ගැටුම් සඳහා “ස්ථිර සහ තීරණාත්මක නිමාවක්” අත්‍යවශ්‍ය බව ඉරානය අවධාරණය කරයි.

තවද හෝමුස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කරන ලෙසට ඉරානය වෙත එල්ල වන බලපෑම්වලට සිය විරෝධය පළකර ඇත.

පකිස්තානය හරහා අමෙරිකාව වෙත සිය පිළිතුර යොමු කරමින් ඉරානය මෙම තීරණය දැනුම් දුන් බව ඉරානයේ නිල පුවත් ඒජන්සිය වන IRNA සඳහන් කරයි.

ඩීසල් මිල තවත් වැඩි කරයි

ඩීසල් මිල තවත් වැඩි කරයි

අද (06) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිනොපෙක් ඉන්ධන මිල ඉහළ දමා ඇත.

ඒ අනුව සිනොපෙක් සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 28කින් ඉහළ දමා ඇත.

මීට පෙර ලීටරයක මිල රුපියල් 572ක් ලෙස පැවතුන අතර ලීටරයක නව මිල රුපියල් 600කි.

ඉන්දීය උප ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරය

ඉන්දීය උප ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරය

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පස්වරුවේ පැවැත්විණි.

ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන්ගේ ශ්‍රී ලංකා දෙදින නිල සංචාරයේ පූර්ව සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.

එම නිල සංචාරයේදී ඉන්දීය උප ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

තවද මේ වනවිට අවසන් කර ඇති ඉන්දීය ආධාර ව්‍යාපෘති සහ ඉදිරියේදී ඇරඹීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

මහින්ද රාජපක්ෂට වැඩ වරදී.. අවසන් දිනය අප්‍රේල් 10

මහින්ද රාජපක්ෂට වැඩ වරදී.. අවසන් දිනය අප්‍රේල් 10

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂට අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව විසින් ලිඛිතව දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව ලබන (10) වැනි­දාට ප්‍රථම සිය වත්කම් බැර­කම් හා පවුලේ වත්කම් බැරකම් දිවු­රුම් ප්‍රකා­ශ­යක් මඟින් ලබාදෙන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව දැනුම්දී ඇත.

මහින්ද රාජපක්ෂ සහ පවුලේ අය සම්බන්ධයෙන් පසුගිය 2010 වසරේ සිට 2015 දක්වා කාලයේ ආරම්භ කරන ලද පරීක්ෂණයකට අදා­ළව මෙම ප්‍රකාශ ලබා දෙන ලෙසට නොතී­සි­යක් නිකුත් කර­මින් මෙම දැනුම්දීම කර ඇත.

සිදුකරන විම­ර්ශන දිගු කාල­යක් ප්‍රමාද වී ඇති එබැ­වින් අප්‍රේල් (10) වැනි දිනෙන් පසු අවශ්‍ය තොර­තුරු ලබාදීමට මහින්ද රාජපක්ෂට තවත් කාල­යක් ලබා නොදෙන බවද අල්ලස් කොමිසම දැනුම්දී ඇත.

අදාළ කාල­සී­මාව තුළ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපො­හො­සත් වුව­හොත් ඔවුන්ට එරෙහිව නීති­මය පිය­වර ගන්නා බවද කොමි­සම හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාට දැනුම්දී ඇත.

දූෂණ විරෝධී පනත යටතේ කොමි­ස­මට පැවරී ඇති බල­තල අනුව මෙම නොතීසි නිකුත් කර ඇත.

ජනපති බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙයි

ජනපති බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙයි

ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක්ද අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙරට ඩිජිටල්කරණයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අද ආරම්භ කෙරුණු ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට බැංකු සහ මූල්‍ය ආයතන වෙත පැවරී ඇති වගකීම මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා, එම ක්‍රමවේදය ජනතාවට වඩා පහසු සහ ආකර්ෂණීය ක්‍රමවේදයක් බවට පත් කර ගැනීමට මෙරට බැංකු පද්ධතියෙන් ලබා ගත හැකි සහාය පිළිබඳවද සාකච්ඡා කළේය.

වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මතු වන බාධා ඉවත් කර ගනිමින් සමාජය තුළ එය වේගයෙන් ප්‍රචලිත කිරීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක් වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පෙන්වා දුන්නේ, ATM යන්ත්‍ර මගින් මුදල් ගනුදෙනු කිරීමේ සේවාව ලබා දීමේදී බැංකු පද්ධතියට විශාල පිරිවැයක් දැරීමට සිදු වන බවත්, නව ක්‍රමවේදය මගින් ගනුදෙනු කිරීමේදී ඇති වන පරිවර්තනයත් සමග එම පිරිවැය අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවත්ය.

එමෙන්ම, නව ක්‍රමවේදය මහජනතාවට වඩාත් කාර්යක්ෂම, විශ්වාසනීය සහ ආරක්ෂිත ක්‍රමවේදයක් වනු ඇති බවද මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරමින්, ලංකා බැංකුවේ වැඩබලන ප්‍රධාන කළමනාකරු, ප්‍රධාන විධායක නිලධාරී වයි.ඒ. ජයතිලක අදහස් දක්වමින් සඳහන් කළේ ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගනුදෙනු කිරීමට ජනතාව දිරි ගැන්වීමේ වැඩසටහන් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන බවයි.

රජය ආරම්භ කළ මෙම නව වැඩපිළිවෙළට බැංකු පද්ධතියේ උපරිම සහාය ලබා දෙමින් රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යන ගමනට සිය දායකත්වය ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.

ඉරාන බුද්ධි අංශ ප්‍රධානියා ඝාතනය කරයි

ඉරාන බුද්ධි අංශ ප්‍රධානියා ඝාතනය කරයි

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් මජිඩ් ඛඩේමි (Majid Khademi) අද (06) දින එල්ල වූ ප්‍රහාරයකින් මියගිය බව ඉරාන රජයේ මාධ්‍ය සඳහන් කරයි.

බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් මජිඩ් ඛඩේමිගේ ඝාතනය සඳහා අමෙරිකාව සහ ඊශ්‍රායලය වගකිව යුතු බව ඉරාන ආරක්ෂක බලකාය චෝදනා කරයි.