Local news

ඉදිරි දින තීරණාත්මකයි.. අමෙරිකාව චීනයට සහ රුසියාවට අනතුරු අඟවයි.?

ඉදිරි දින තීරණාත්මකයි.. අමෙරිකාව චීනයට සහ රුසියාවට අනතුරු අඟවයි.?

චීනය සහ රුසියාව විසින් ඉරානයට සහාය වීම සඳහා දරන උත්සාහයන් පිළිබඳව අමෙරිකාව දැඩි අවධානයෙන් පසුවන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි.

එනිසා අවශ්‍ය සෑම අවස්ථාවකදීම එම මැදිහත්වීම් වලට එරෙහිව ක්‍රියා කරන බවද අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (31) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කරයි.

මැදපෙරදිග ගැටුමේ ඉදිරි දින කිහිපය ඉතා තීරණාත්මක වනු ඇති බවත් ඉරාන සන්නද්ධ හමුදාවලින් සෙබළුන් විශාල වශයෙන් පලායෑමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද ඔහු සඳහන් කරයි.

රුසියාව සහ චීනය ඉරානයට උදව් කරන ආකාරය පිළිබඳව අමෙරිකාව නිවැරදිව දන්නා බවත් ඒ සියල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවන නමුත් අවශ්‍ය තැන්වලදී ඔවුන්ට සෘජුව මුහුණ දෙන බවද ඔහු සඳහන් කරයි.

ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කළේ,

“අප සතුව විකල්ප වැඩි වෙමින් පවතිනවා, නමුත් ඉරානයට ඇති විකල්ප සීමිතයි. ගතවූ එකම මාසය තුළ අප යුද්ධයේ කොන්දේසි තීරණය කර අවසන්. ඉදිරි දින කිහිපය තීරණාත්මකයි.”

මහින්ද සහ ගෝඨාභය ඉදිරියේ පාස්කු මහ මොළකරු හෙළිකරයි

මහින්ද සහ ගෝඨාභය ඉදිරියේ පාස්කු මහ මොළකරු හෙළිකරයි

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් රචිත පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීම (31) දින සිදුවිය.

මරාගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සියලු පහසුකම් සපයාගැනීම සහරාන් හෂීම් විසින්ම සිදුකර ඇති බැවින් මහ මොළකරු සහරාන් හැර වෙනත් අයකු විය නොහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සඳහන් කරයි.

එම ප්‍රහාරයට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය එක්රැස් කිරීම සහ බෝම්බකරුවන් තෝරාගැනීම සහරාන් විසින්ම සිදුකර ඇති බවත් බෝම්බ පිපිරවිය යුතු ස්ථාන තීරණය කර ඇත්තේ ඔහු විසින්ම බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.

ජාත්‍යන්තර ISIS සංවිධානයේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ එම සංවිධාන නායකයා ලෙස සහරාන් මෙම ප්‍රහාරයේ සියලු මෙහෙයවීම් සිදුකළ බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.

මහ මොළකරු ලෙස සහරාන්ව හැඳින්වීමට තවත් සාක්ෂි අවශ්‍ය නොවන බවත් මෙම මෙහෙයුම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ මූල්‍ය ප්‍රතිපාදන මොහොමඩ් ඊබ්‍රහීම් විසින් ලබාදී ඇති බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.

ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න.. ජනතාවට දැනුම්දීමක්

ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න.. ජනතාවට දැනුම්දීමක්

මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ප්‍රධාන ගංගා බොහොමයක ජල මට්ටම 75%ක අගයක පවතින බවත් මේ හේතුවෙන් මෙවර කන්නය සඳහා ජලය ලබාදීමේ හැකියාව පවතින බවද එහි අධ්‍යක්ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ) එල්.එස් සූරියබණ්ඩාර සඳහන් කරයි.

අධ්‍යක්ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ) එල්.එස් සූරියබණ්ඩාර සඳහන් කළේ,

“ප්‍රධාන ගංගා බොහොමයක ජල මට්ටම් මේ වන විට පහළ මට්ටමක පවතින්නේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ තිබෙන ජලාශ 73න් බොහෝ ජලාශවල ජල මට්ටම සාමාන්‍ය අගයක 75% ඉක්මවා තිබෙනවා.

ඒ නිසා මෙවර කන්නය සඳහා ජලය ලබා දීමට හැකියාව පවතිනවා. පානීය ජල අවශ්‍යතාවයන් සඳහා ගංගාවලින් ජලය ලබා ගන්නා ස්ථානවල කරදිය ඇතුල්වීමේ හැකියාව පවතින්න පුළුවන්.

විශේෂයෙන්ම නිල්වලා, කැලණි සහ කළු යන ගංගාවල. ඒ නිසා ජනතාව හැටියට ජලය ඉතාම පරිස්සමින් පරිහරණය කරන්න.”

සෙව්වන්දිට පෙම් කළ පොලිස් ලොක්කාට වෙච්ච දේ

සෙව්වන්දිට පෙම් කළ පොලිස් ලොක්කාට වෙච්ච දේ

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින ඉෂාරා සෙව්වන්දි වෙනුවෙන් උපන්දින සාදයක් පැවැත්වීමට සූදානම් කර තිබුණේය.

එම උපන්දින සාදයට සැමරීමට අවශ්‍ය අවකාශ සැලසූ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලිඛිතව දැනුම්දී තිබුණේය.

ඒ අනුව ඉෂාරා සෙව්වන්දිට උපන්දින සාදය සැමරීමට අවශ්‍ය අවකාශ සැලසූ එහි ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත මාරුකර යැවීමට පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය විසින් නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී උදය කුමාර වුට්ලර් සඳහන් කරයි.

ජොන්ස්ටන්ගේ පුතුන් දෙදෙනාට ඇප

ජොන්ස්ටන්ගේ පුතුන් දෙදෙනාට ඇප

ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමණාකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අනුව අද (31) දින මීගමුව මහාධිකරණය හමුවට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනාට සහ සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාට හා හිටපු ප්‍රවාහන කළමනාකරුට ඇප ලබාදී ඇත.

හෙට ඉන්ධන නිකුත් කිරීමේ වෙනසක්

හෙට ඉන්ධන නිකුත් කිරීමේ වෙනසක්

අප්‍රේල් (01) වෙනිදා එනම් හෙට දිනයේ ඉන්ධන නිකුත් කිරීම ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දීමක් කරයි.

ඒ අනුව හෙට (01) දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ යන අංක දෙකම සහිත රථ වාහන සඳහා ඉන්ධන ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

අද (31) සහ හෙට (01) දෙදිනම ඔත්තේ දිනයන් වීම හේතුවෙන් හෙට දිනයේ ඉරට්ටේ අංක යෙදෙන රථ වාහන වලටත් ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

ඊශ්‍රායලයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට මිසයිල ප්‍රහාර

ඊශ්‍රායලයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට මිසයිල ප්‍රහාර

උතුරු ඊශ්‍රායලයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට ඉරානය සහ ලෙබනනය එක්වී මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මාසයේ ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායල යුද්ධය ආරම්භ වීමෙන් පසුව එම පිරිපහදු මධ්‍යස්ථානයට එල්ල වූ දෙවන ප්‍රහාරය මෙය වේ.

හයිෆා හි බසාන් තෙල් පිරිපහදුව ලෙසද හැඳින්වෙන මෙම පිරිපහදු මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් විශාල ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක්, අන්තරායකර ද්‍රව්‍ය අවදානම් සහ මහජනතාවට කිසිදු අනතුරක් නොමැති බව ඊශ්‍රායලයේ ගිනි නිවන හා ගලවා ගැනීමේ සේවය සඳහන් කරයි.

රුපියල් මිලියන 7,383ක වී රජය සතුයි

රුපියල් මිලියන 7,383ක වී රජය සතුයි

ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 61,449ක ප්‍රමාණයක් මේ වනවිට මිලදී ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මිලදී ගත් මෙට්‍රික් ටොන් 61,449ක ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 7,383ක් වන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

නාඩු සුදු මෙට්‍රික් ටොන් 17,690, නාඩු රතු මෙට්‍රික් ටොන් 43,836ක්, සම්බා සුදු කිලෝ 160,000ක්, සම්බා රතු 756,000, කීරි සම්බා කිලෝ 6276ක් රජය විසින් මිලදී ගෙන ඇත.

පොහොර නිකුත් කිරීමේදී රජයේ පොහොර සමාගම් සහ පෞද්ගලික පොහොර සමාගම් 18ක් මේ වනවිට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා ගොවීන් විසින් වගා කරන ප්‍රමාණයන් අනුව පොහොර නිකුත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි. 

රාජ්‍ය වෙසක් උත්සවය මාතරට

රාජ්‍ය වෙසක් උත්සවය මාතරට

2026 රාජ්‍ය වෙසක් උත්සවය මාතර, තිහගොඩ පිහිටි ඓතිහාසික මිදෙල්ලවල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

වෙසක් උත්සවයට සමගාමීව මැයි මස (27) වනදා සිට ජූනි මස (02) වනදා දක්වා කාලය “වෙසක් සතිය” ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (31) සඳහන් කරයි.

පොලිස් ලොක්කෝ රැසක් මාරු කරයි

පොලිස් ලොක්කෝ රැසක් මාරු කරයි

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට අනුව පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

ඒ අනුව පොලිස් අධිකාරිවරයෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

ඊට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම් සහ පත්වීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.