Local news

ඉන්ධන මිල ගැන දැනුම්දීමක්

ඉන්ධන මිල ගැන දැනුම්දීමක්

අද (01) දිනයේ ඉන්ධන මිල සංශෝධනය ගැන ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව අද (01) දිනයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බවත් ඉදිරි දිනකදී මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද සඳහන් කරයි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 398කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 455කි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 382කි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 443කි.

අමෙරිකාවේ අසාර්ථකත්වය හෝමූස් සමුද්‍ර සන්ධියේ නව පරිච්ඡේදයක්

අමෙරිකාවේ අසාර්ථකත්වය හෝමූස් සමුද්‍ර සන්ධියේ නව පරිච්ඡේදයක්

අමෙරිකාවේ ලැජ්ජා සහගත අසාර්ථකත්වය මධ්‍යයේ හෝමූස් සමුද්‍ර සන්ධියේ නව පරිච්ඡේදයක් මතුවී ඇති බව ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

“අද කලාපයේ ලෝකයේ විශාලතම ව්‍යාපාරය සහ ආක්‍රමණශීලීත්වය සහ අමෙරිකාව තමන්ගේම සැලැස්මේ ලැජ්ජා සහගත අසාර්ථකත්වයෙන් මාස දෙකකට පසු, පර්සියානු ගල්ෆ් සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ නව පරිච්ඡේදයක් මතුවෙමින් තිබේ.”

ඩොලර් මිලියන 2.5ක සිද්ධියට වැඩ තහනම් කළ සහකාර අධ්‍යක්ෂවරයා සියදිවි නසාගනී.?

ඩොලර් මිලියන 2.5ක සිද්ධියට වැඩ තහනම් කළ සහකාර අධ්‍යක්ෂවරයා සියදිවි නසාගනී.?

මුදල් අමාත්‍යාංශයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවූ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පසුගියදා මුදල් අමාත්‍යාංශය පියවර ගත්තේය.

ඒ අනුව වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව් දෙනාගෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රංග රාජපක්ෂ සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.

මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට අද පස්වරුවේ කුලියාපිටිය පොලීසියට තොරතුරක් ලැබී ඇත.

අනතුරුව පොලිසිය කුලියාපිටිය, පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගොස් සිදුකළ පරීක්ෂාකිරීමේදී ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල තරමක විශාල ලේ පැල්ලමක් තිබෙන අයුරු නිරීක්ෂණය කර ඇත.

තවද ඔහුගේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට ලැබෙන බවත් ඔහු වැටී සිටි ස්ථානය ආසන්නයේ තිබී කුඩා ප්‍රමාණයේ පිහියක් හමුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා පොලිසිය ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කළ අතර ඒ අනුව මෙය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකය.

ඩොලර් මිලියන 2.5ක මුදල ගැන පාර්ලිමේන්තු විවාදයක් 

ඩොලර් මිලියන 2.5ක මුදල ගැන පාර්ලිමේන්තු විවාදයක් 

ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි විවාදය ලබාදීමට සභානායකවරයා එකඟත්වය පළ කර ඇත.

ඒ අනුව අදාළ විවාදය මීළඟ පාර්ලිමේන්තු සතියේදී පැවැත්වෙනු ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සඳහන් කරයි.

පාර්ලිමේන්තුව ස්ථාපිත කර වසර 44ක් සපිරීම නිමිත්තෙන් අද (30) දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති ආගමික වැඩසටහනකට සහභාගගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කථානායකවරයා මේ බව සඳහන් කරයි.

මීළඟ පාර්ලිමේන්තු සතිය ඉතා කාර්යබහුල සතියක් බවත් අණපනත් ගණනාවක් සම්මත කර ගැනීමට නියමිත බවද කථානායකවරයා සඳහන් කරයි.

ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් වන විවාදය ලබන (19) වෙනිදායින් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේදී පැවත්විය හැකි බවද කථානායකවරයා සඳහන් කරයි.

තවද ලබන අටවෙනිදා වියට්නාමයේ ජනපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බවද කථානායකවරයා සඳහන් කරයි.

දිස්ත්‍රික්ක රැසකට අනතුරු අඟවයි

දිස්ත්‍රික්ක රැසකට අනතුරු අඟවයි

අද (30) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්ක 11කට ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව සබරගමුව, මධ්‍යම, උතුරු-මැද පළාත් සහ වව්නියාව, මුලතිව්, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල පස්වරු 1.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව සඳහන් කරයි.

තවද සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ඥානසාර හිමිට එරෙහිව අධිචෝදනා භාරදෙයි

ඥානසාර හිමිට එරෙහිව අධිචෝදනා භාරදෙයි

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේය. 

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේය. 

ඉන් අනතුරුව උන්වහන්සේව ඇප මත මුදා හැරීමට අධිකරණය නියම කළේය.

පාස්කු ප්‍රහාරයට මෛත්‍රී සම්බන්ධයි.? බරපතල චෝදනා

පාස්කු ප්‍රහාරයට මෛත්‍රී සම්බන්ධයි.? බරපතල චෝදනා

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදු නොකරන ප්‍රකාශයක් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකළ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සඳහන් කරයි.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට එවකට පොලිස්පති ධුරය දැරූ පූජිත් ජයසුන්දර සහ තමන් වගකිවයුතු යනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසූ බවද හේමසිරි ප්‍රනාන්දු සඳහන් කරයි.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ එවකට ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහි නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ (29) දින කැඳවන ලදී.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලබන්නේ හේමසිරි ප්‍රනාන්දුගේ විත්තිවාචකය ලබාගැනීම සඳහාය.

නඩුව කැඳවු අවස්තාවේදී විත්ති කූඩුවේ සිට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි ලබාදෙමින් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට බරපතළ චෝදනා කිහිපයක් එල්ල කළේය.

එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරට ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගි වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල ඉඩ නොදුන් බවත් ඔහු සමග කටයුතු කිරීමට නොහැකි නිසා අවස්ථා දෙකකදී තමන් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉවත්වීමට උත්සාහ කළද, එවක අගමැති රනිල් වික්‍රමසිංහ ඊට ඉඩනොදුන් බවද හේමසිරි ප්‍රනාන්දු සඳහන් කරයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් 2019 අප්‍රේල් (04) වනදා ලැබුණු බුද්ධි තොරතුර තමන්ට නිසි පරිදි සන්නිවේදනය නොකළ බවත් ඒ පිළිබඳ තවදුරටත් සොයාබලන බව එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන පැවසූ බවද හේමසිරි ප්‍රනාන්දු සඳහන් කරයි.

අනතුරුව අප්‍රේල් (09) වනදා පැවැති බුද්ධි සමාලෝචන රැස්වීමේදී නිලන්ත ජයවර්ධන මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නොකළ බවත් ඊට පසුව තිබූ ඉන්දීය ආරක්ෂක ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදීද නිලන්ත ජයවර්ධන මේ සම්බන්ධයෙන් කිසිවක් නොපැවසූ බවද හේමසිරි ප්‍රනාන්දු සඳහන් කරයි.

කාන්තන්කුඩි වල සිදුවු බයිසිකල් බෝම්බ සිද්ධිය ප්‍රහාරයට පෙර සිදුකළ පූර්ව අත්හදා බැලීමක් කියා තමන් දැනගත්තේ ඊට පසු අවස්තාවක බවත් තමන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දුන්නේ නැති බවද හේමසිරි ප්‍රනාන්දු සඳහන් කරයි.

බොහෝ දෙනෙක් සඳහන් කළ ආකාරයට නිලන්ත ජයවර්ධන සහ මෛත්‍රිපාල සිරිසේන අතර පැවතියේ පිය – පුතු සම්බන්ධයකටත් වඩා, එහා ගිය සම්බන්ධයක් බවත් මෛත්‍රිපාල සිරිසේන වැඩ බලන ආරක්ෂක ඇමැතිවරයකු පත්නොකොට 2019 අප්‍රේල් (17) වනදා ලංකාවෙන් පිටවීම නිසා තමන් බරපතළ අසීරුතාවකට පත්වූ බවද හේමසිරි ප්‍රනාන්දු සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව එවකට අගමැති රනිල් වික්‍රමසිංහ කැඳවූ සාකච්ඡාවට නොයන ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට උපදෙස් දුන් බවත් එම උපදෙස එවකට ජනාධිපති ලේකම්වරයාට ලබාදී තිබූ බවද හේමසිරි ප්‍රනාන්දු සඳහන් කරයි.

සරණ අසරණ වෙයි.. නඩු හතරක තීන්දුව

සරණ අසරණ වෙයි.. නඩු හතරක තීන්දුව

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවල තීන්දු අද (30) දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි මස (26) වන දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය‍.

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩු හතර ගොනු කර ඇත.

ඉතාලි තානාපති සහ ආරක්ෂක ලේකම්වරයා අතර විශේෂ හමුවක්

ඉතාලි තානාපති සහ ආරක්ෂක ලේකම්වරයා අතර විශේෂ හමුවක්

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති Damiano Francovigh (මාලදිවයිනේ ඉතාලි තානාපති ලෙසද සේවයේ නියුතු) (29) දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) හමු විය.

මෙහිදී ආරක්ෂක ලේකම් විසින් නව තානාපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාව වඩාත් ඵලදායි අන්දමින් පැවැත්විණි.

මෙම හමුවේදී දෙරටටම වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර එහිදී දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය.

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ තානාපති Francovigh, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට තම කැමැත්ත මෙහිදී යළි තහවුරු කළේය.

මෙරට ක්‍රීඩා ලෝලීන්ට සාධාරණයක් ඉටු කරමින් ස්ථිරසාර ප්‍රතිඵල ලබා දෙනවා

මෙරට ක්‍රීඩා ලෝලීන්ට සාධාරණයක් ඉටු කරමින් ස්ථිරසාර ප්‍රතිඵල ලබා දෙනවා

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපතිත්වය භාරගනු ලැබු ඉරාන් වික්‍රමරත්න නිවේදනයක් නිකුත් කර ඇත.

“නිර්මල ප්‍රතිරූපයක් සහ මනා පළපුරුද්දක් සහිත පුද්ගලයන් නව දෙනෙකුගෙන් යුත් කමිටුවකට නායකත්වය දීමට ලැබීම මා ලද ගෞරවයකි.
 
රොෂාන් මහානාම, සිදත් වෙත්තමුනි, කුමාර් සංගක්කාර, තුෂිර රදැල්ල, අවන්නි කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම හා ඩිනාල් පිලිප්ස් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම, ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශිෂ්ඨත්වය, ආයතනික කළමනාකරණය සහ නීතිමය ප්‍රවීණතාවයේ දුර්ලභ සංකලනයක් නියෝජනය කරයි.

අපගේ කමිටුවේ එකම සහ අවංක අභිප්‍රාය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ දක්ෂතාවය යළි ස්ථාපිත කිරීමයි.

පහත සඳහන් ප්‍රධාන කුළුණු දෙක ඔස්සේ අපි මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වෙමු:

1. ප්‍රශස්ත පාලනය නංවාලීම

අපගේ මූලික ප්‍රමුඛතාවය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමයි. මෙහි මූලික පියවර ලෙස, ක්‍රීඩාව සඳහා ශක්තිමත් සහ නූතන පදනමක් සපයන යෝජිත නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරන්නෙමු. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) රීතීන්ට පූර්ණ ලෙස අනුකූල වෙමින්, විනිවිදභාවය, දූෂණ විරෝධය සහ වෘත්තීයවේදීත්වය ආයතනයේ පදනමටම බද්ධ කිරීමට අපි කැපවී සිටිමු. දක්ෂතාවයට මුල්තැන දෙන සහ මූල්‍ය වගකීම් සහිත සංස්කෘතියක් ඇති කිරීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරෙහි මහජන විශ්වාසය යළි ගොඩනැගීම අපගේ අරමුණයි.

2. පිටිය තුළ විශිෂ්ඨත්වය

පරිපාලනමය විශිෂ්ඨත්වය යනු ක්‍රීඩක දක්ෂතාවල පදනමයි. ජාතික කණ්ඩායම් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහයන්, ලෝක මට්ටමේ පහසුකම් සහ දිරිගැන්වීමේ ක්‍රමවේදයන් සැකසීම කෙරෙහි අපි අවධානය යොමු කරන්නෙමු. අපගේ ඉලක්කය වන්නේ ක්‍රීඩකයන්ට අඛණ්ඩව ලෝක මට්ටමේ දක්ෂතා දැක්වීමට මග පාදාදෙමින්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළම තලයට යළි රැගෙන ඒමයි.

පාසල් සහ ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස මෙන්ම ඉන් පසුවත් මම ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූවෙමි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය යහපත් මගට හැරවීමට නායකත්වය දීමට ලැබීම මා ලද භාග්‍යයක් වන අතර මම එය ඉතා බැරෑරුම් වගකීමක් ලෙස සලකමි.

මෙරට සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ සහයෝගය සහ නිර්මාණාත්මක විවේචන මම අපේක්ෂා කරන අතර, ඔබගේ ඉමහත් උද්‍යෝගයට සාධාරණයක් ඉටු කරමින් ස්ථිරසාර ප්‍රතිඵල ලබා දීමට මම ප්‍රතිඥා දෙමි.”