Local news

ජංගම සහ ස්ථාවර දුරකථන ස්වාධීන නියාමන පද්ධතියක්

ජංගම සහ ස්ථාවර දුරකථන ස්වාධීන නියාමන පද්ධතියක්

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙරට ජංගම සහ ස්ථාවර දුරකථන සේවාවල ගුණාත්මකවය ඉහළ නැංවීම සඳහා ස්වාධීන නියාමන පද්ධතියක් මේ වසර තුළ ස්ථාපනය කිරීමට තීරණය කර ඇත.

මේ වනවිට අදාළ මෙහෙයුම් ආයතන මගින් ලබාගන්නා දත්ත මගින් පමණක් දුරකථන සේවා නියාමනය සිදු වන බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් එයා වයිස් මාර්ශල් බන්දුල හේරත් සඳහන් කරයි.

දුරකථන සබඳතා සහ අන්තර්ජාල සබඳතා ආවරණ කලාප ඉහළ නැංවීම අදාළ නියාමනයෙහි ප්‍රමුඛ අරමුණක් බවද අධ්‍යක්ෂ ජෙනරාල් එයා වයිස් මාර්ශල් බන්දුල හේරත් සඳහන් කරයි.

රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට

රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට

රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mikhail Murashko) ඇතුළු දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස තෙදින නිල සංචාරයක් සඳහා මැයි (03) වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.

මෙම සංචාරයේදී රුසියානු දූත පිරිස, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සබඳතා සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡා කරනු ඇත.

මීට අමතරව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එළඹෙන මැයි (04) වැනිදා රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය.

ජනපති ට්‍රම්ප් සහ තෙල් සමාගම් අතර විශේෂ හමුවක්

ජනපති ට්‍රම්ප් සහ තෙල් සමාගම් අතර විශේෂ හමුවක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ට්‍රම්ප් පරිපාලනයේ ඉහළ නිලධාරීන් පිරිසක්, අමෙරිකාවේ ඉන්ධන සහ ගෑස් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම්වල නියෝජිතයින් පිරිසක් සමග සාකච්ඡාවක් පවත්වා ඇත.

තවත් මාස ගණනක් ඉරානයේ වරායන් අවහිර කිරීමේ මෙහෙයුම පවත්වාගෙන යාමේ ශක්‍යතාව සහ ඉන් අමෙරිකානු පාරිභෝගිකයින්ට ඇතිවන බලපෑම අවම කරගැනීමට ගත හැකි පියවර ඇතුළු කරුණු සම්බන්ධයෙන් එහිදී ඔවුන් සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් සමඟින්, ඇමරිකාවේ විශාලතම බොරතෙල් සමාගමක් වන ෂෙව්රන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මයික් වර්ත්, බොරතෙල් විකුණුම් සමාගම් වන ට්‍රැෆිගරා, විටෝල් සහ මකියුරියා යන සමාගම්වල නියෝජිතයින්ද ඊට එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ආධාරයක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ආධාරයක්

අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවූ විශේෂ ආධාර මුදලක් මෙරටට ලබා දීමට එකඟතාව පල කර ඇත.

මෙරට අපනයන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා එම බැංකුවේ විශේෂ පිරිසක් මෙරටට පැමිණ සිදු කරන සාකච්ඡා අතරතුර මෙම එකඟතාව පළ කර ඇත.

ඉදිරියේදීත් මෙරට අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සහාය වීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වූ බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සඳහන් කරයි.

බොරතෙල් බැරලයක මිල තවත් ඉහළ⁣ට

බොරතෙල් බැරලයක මිල තවත් ඉහළ⁣ට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල නැවතත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව බො⁣රතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකර ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් අවහිර කිරීමේ ක්‍රියාවලිය මාස කිහිපයක් දක්වා පැවතිය හැකි බවට කළ ඉඟියත් සමඟ මෙම මිල ඉහළ යාම සිදුව ඇත.

සභාපති ඉරාන් සජබෙන් එළවයි

සභාපති ඉරාන් සජබෙන් එළවයි

සමගි ජන බලවේග පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙසට සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් ඉරාන් වික්‍රමරත්නට වෙත අද (29) ලිපියක් යොමු කරමින් දන්වා ඇත.

සමගි ජන බලවේග කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ කමිටුවෙන් ඉල්ලා අස්වීමට ඉරාන් වික්‍රමරත්න ගනු ලැබූ තීරණය භාරගනිමින් ඊට පිළිතුරු ලිපියක් යොමු කරමින් මේ බව දැනුම්දී ඇත.

සෑම අවස්ථාවකදීම පක්ෂයේ ප්‍රතිපත්තිය වූයේ සියළුම ක්‍රීඩා සංගම් නිර්දේශපාලනය විය යුතු බවත් එහි තනතුරු දේශපාලනයට සම්බන්ධ අය විසින් නොදැරිය යුතු බවද එම ලිපියේ සඳහන් කර ඇත.

එනිසා තවදුරටත් සිය පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම පක්ෂ ප්‍රතිපත්තියට පටහැනි බැවින් සදාචාරාත්මකව කළ යුතු වන්නේ, පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම බවද එම ලිපියේ සඳහන් කර ඇත.

මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීමට නව අධිකාරියක්

මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීමට නව අධිකාරියක්

මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගනිමින් පෝෂණය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට අදාළ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පසුගිය දිට්වා සුළි කුණාටුව හමුවේ සිදුවූ නාය යාමෙන් මධ්‍යම කඳුකරයට විශාල හානියක් සිදු වූ අතර රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර ගනිමින් පෝෂණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී දැඩිව අවධාරණය කළේය.

ඒ අනුව ඉහළ ජල පෝෂක ප්‍රදේශවල පාරිසරික ගැටලුවලට විසඳුම් සොයමින් මධ්‍යම කඳුකරය රැක ගැනීම වෙනුවෙන් වෙනම අධිකාරියක් පිහිටුවීමට තීරණය කෙරිණි. එම ක්‍රියාවලියට අදාළ ප්‍රගතිය සහ නීතිමය ප්‍රතිපාදන පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණු අතර ඊට අදාළ යෝජනා සහ අදහස්ද ඉදිරිපත් කෙරිණි.

එම සියලු යෝජනා සහ අදහස් සැලකිල්ලට ගනිමින් මෙම ඉදිරි කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාවේ ඉහළ ජලධාර ප්‍රදේශවල පාරිසරික ප්‍රතිස්ථාපනය සහ කළමනාකරණය මෙම නව අධිකාරියට පැවරෙන අතර ජාතික ජල සුරක්ෂිතතාව සහ ආහාර සුරක්ෂිතතාව, ආපදා අවදානම අවම කිරීම, ආර්ථික සහ බලශක්ති කාර්යක්ෂමතාව, දේශගුණික විපර්යාසයන්ට අනුකූල වීම සහ ඒවායේ බලපෑම් අවම කිරීම, ස්වභාවික ප්‍රාග්ධන ගිණුම්කරණය යන අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන්, ආයතනික සම්බන්ධීකරණයද මෙමගින් සිදු කෙරේ.

ඉරාන් ඉල්ලා අස්වෙයි

ඉරාන් ඉල්ලා අස්වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව ඉරාන් වික්‍රමරත්න මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ධූරය ඉරාන්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ධූරය ඉරාන්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ නව සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පත්කර ඇත.

මෙහි සෙසු සාමාජිකන් ලෙස රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුනි, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම හා දිනාල් පිලිප්ස් පත්කර ඇත.

ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, එහි කටයුතු මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරාගෙන ඇත.

බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.. අයෙක් මරුට

බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.. අයෙක් මරුට

අද (29) දින පස්වරුවේ හැටන් – දික්ඔය ප්‍රධාන මාර්ගයේ බටල්ගල වත්ත ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇත.

අනතුරට ලක්වූ බස් රථය, තවත් බස් රථයකට ඉඩදීමට යෑමේදී එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ ප්‍රපාතයට පෙරළී මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුරින් එක් අයෙක් මියගොස් ඇති අතර තුවාල ලැබූ 20 දෙනෙකු පමණ දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බව වාර්තා වේ.

බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ පාසල් සිසුන් ඇතුළු 35 දෙනෙකු පමණ ගමන් කර ඇති බව වාර්තා වේ.