Local news

සෑම ලේ බිංදුවකටම වන්දි ගෙවන්න සූදානම් වෙන්න.. බරපතළ අනතුරු ඇඟවීමක්

සෑම ලේ බිංදුවකටම වන්දි ගෙවන්න සූදානම් වෙන්න.. බරපතළ අනතුරු ඇඟවීමක්

ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලැරිජානි ඝාතනය කර පැය 24ක් ගතවීමට මත්තෙන්, ඉරාන නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් අනතුරු අඟවා ඇත.

ඉරාන ආරක්ෂක ප්‍රධානීගේ අභාවය පිළිබඳ පුවත තමන් දැඩි කනගාටුවෙන් යුතුව පිළිගත් බවත් ඔහු දේශපාලන තන්ත්‍රය තුළ සිටි බුද්ධිමත්, කැපවූ සහ විශිෂ්ඨ චරිතයක් බවද නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සඳහන් කරයි.

ප්‍රමුඛ පෙළේ පුද්ගලයෙකු ඝාතනය කිරීමෙන් පෙනී යන්නේ ඉස්ලාමයේ සතුරන් ඔහු කෙරෙහි දක්වන දැඩි වෛරය සහ ඔහුගේ වැදගත්කම බවත් ඉස්ලාමීය පද්ධතිය නමැති වෘක්ෂයේ පාමුල මෙලෙස ලේ වැගිරීමෙන් එම පද්ධතිය තවදුරටත් ශක්තිමත් වන බවද උත්තරීතර නායකයා සඳහන් කරයි.

ඉරාන නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි තවදුරටත් සඳහන් කළේ,

“සෑම ලේ බිඳුවකටම මිලක් පවතින බවත්, මෙම ප්‍රාණ පරිත්‍යාගීන් ඝාතනය කළ අපරාධකරුවන්ට නුදුරේදීම ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවනු ඇති.”

මේ අතර ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මයිල් ඛතීබ් ‘Esmail Khatib’ ඝාතනයට ලක්ව ඇති බව ඉරාන ජනාධිපතිවරයා නිල වශයෙන් තහවුරු කර ඇත.

පොලිස් ලොක්කෝ හතරකට ස්ථාන මාරු

පොලිස් ලොක්කෝ හතරකට ස්ථාන මාරු

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ මත පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සහකාර පොලිස් අධිකාරීවරුන් සිවු දෙනෙකුට ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

සහකාර පොලිස් අධිකාරී කපිල බණ්ඩාර මඩකළපුව කොට්ඨාසයේ සිට පොළොන්නරුව කොට්ඨාසයට, එච්.එම්.බී. ජේ. විජේවර්ධන සීතාවකපුර කොට්ඨෘසයේ සිට කන්කසන්තුරය කොට්ඨාසයට ස්ථාන මාරු ලබාදී ඇත.

කන්කසන්තුරය කොට්ඨාසයේ සිටි සහකාර පොලිස් අධිකාරී ගයාන් ප්‍රසන්න කොළඹ රථවාහන කොට්ඨාසයට, සහකාර පොලිස් අධිකාරී ඒ.එල්.එම්. ජෙමිල් විශේෂ ආරක්ෂක කොට්ඨාසයේ සිට කොළඹ උතුර කොට්ඨාසය වෙත ස්ථාන මාරු ලබාදී ඇත.

ලොව විශාලතම ගෑස් නිධියේ කොටසකට ප්‍රහාරයක්

ලොව විශාලතම ගෑස් නිධියේ කොටසකට ප්‍රහාරයක්

විශාලතම ස්වාභාවික ගෑස් නිධිය වන ‘South Pars/North Dome Gas-Condensate field’ සංකීර්ණයේ ඉරානය විසින් පාලනය කරන දකුණු පාර්ස් (South Pars) ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයත් සමග එම ප්‍රදේශය ගිනිගැනීමකට ලක්ව ඇති බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට (IRGC) අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.

පර්සියානු බොක්කෙහි පිහිටා ඇති මෙම කලාපය ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධිය වන අතර එය කටාර් සහ ඉරානය ඒකාබද්ධව පාලනය කරයි.
 
සමස්ත භූමි ප්‍රදේශය වර්ග කිලෝමීටර් 9,700 (වර්ග සැතපුම් 3,700)ක් වන අතර ඉන් දකුණු පාර්ස් (South Pars) අයත් වර්ග කිලෝමීටර් 3,700 (වර්ග සැතපුම් 1,400)ක ප්‍රමාණය ඉරානයට අයත් වන අතර කටාරය වර්ග කිලෝමීටර් 6,000 (වර්ග සැතපුම් 2,300)ක් පුරා මෙහෙයුම් කටයුතු සිදුකරයි.

QR ගැටලුවට ඉන්ධන නෑ.. පිරවුම්හලෙන් තීරණයක්

QR ගැටලුවට ඉන්ධන නෑ.. පිරවුම්හලෙන් තීරණයක්

කුමන හදිසි අවශ්‍යතාවයක් ඇති වුවද “QR” කේතය නොමැතිව ඉන්ධන නිකුත් නොකරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ සඳහන් කරයි.

එනිසා “QR” කේතය සම්බන්ධව ජනතාවට පැන නැගී ඇති ගැටලු විසඳාගෙන ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන ලෙසද එම සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ සඳහන් කළේ,

“QR කේතය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම්, 1919 දුරකථන අංකයට කතා කරලා, එම ප්‍රශ්න නිරාකරණය කරගෙන ඉන්ධන පිරවුම්හලට එන්න. අපි ඊයේ පෙරේදා යම් යම් සහන දුන්නා.

QR කේත නැතුව ඉන්ධන නිකුත් කරන්න. නමුත් දැන් නම් QR කේතයට පමණයි ඉන්ධන නිකුත් කරන්නේ. හදිසි අවශ්‍යතාවයක් වුණොත් අපිට කරන්න දෙයක් නෑ. වෙන අයෙකුගේ වාහනයක ඒ හදිසි අවශ්‍යතාවයට යන්න කියලා කියනවා.”

ප්‍රහාර දැඩි කරමින් ඉරාන පාලන බලය අඩපණ කරනවා

ප්‍රහාර දැඩි කරමින් ඉරාන පාලන බලය අඩපණ කරනවා

ඉරානයට එරෙහිව දැනටමත් දියත් කර ඇති ප්‍රහාර තවදුරටත් දැඩි කරමින් එරට පාලන බලය සම්පූර්ණයෙන්ම අඩපණ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ප්‍රහාර තවදුරටත් දැඩි කරමින් ඉරාන ත්‍රස්ත රාජ්‍යයේ ඉතිරිව ඇති කොටස ද විනාශ කර අවසන් කළ යුතු බවද අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා නිසි සහයෝගයක් ලබා නොදෙන මිත්‍ර රටවල් ජනාධිපති ට්‍රම්ප් විසින් දැඩි ලෙස විවේචනය කර ඇත.

ඉරාන බුද්ධි අංශ ඇමති ඝාතනය කරයි

ඉරාන බුද්ධි අංශ ඇමති ඝාතනය කරයි

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලදී ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් ඝාතනය කිරීමට හැකිවූ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අද (18) තහවුරු කරයි.

කෙසේ වෙතත් ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් ඝාතනය සම්බන්ධයෙන් ඉරානය මේ දක්වා නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් පූජකයෙකු මෙන්ම දේශපාලනඥයෙකු වන අතර ඔහු 2021 අගෝස්තු මාසයේ සිට බුද්ධි අංශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

QR කේතයේ ගැටලු ඇති අයට විශේෂ දැනුම්දීමක්

QR කේතයේ ගැටලු ඇති අයට විශේෂ දැනුම්දීමක්

ඉන්ධන කෝටාව නිකුත් කරන QR කේතය ලබා ගැනීමේ ගැටලු ඇති වූ පුද්ගලයින්ට සිය ගැටලු ඉදිරිපත් කිරිමට නව WhatsApp දුරකතන අංකයක් හඳුන්වාදී ඇත.

ඒ අනුව 076 0001919 යන WhatsApp අංකයට එම පැමිණිල්ල ඉදිරිපත් කළ හැකි අතර වාහනයේ අංකය ඒ සඳහා පැහැදිලිව සටහන් කර යොමු කර යුතු බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක සඳහන් කරයි.

ඊට අමතරව ජාතික හැදුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ ගුවන් ගමන් බලපත්‍රයේ පැහැදිලි ඡායාරූපයක් එවිය යුතු බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක සඳහන් කරයි.

වාහන ආදායම් බලපත්‍රයේ ඡායාරූපයක් සහ ලියාපදිංචියේ සහතිකයේ ඡායාරූපය අදාළ WhatsApp අංකයට එවිය යුතු අතර ඒ සඳහා තවත් වට්ස්ඇප් අංක කිහිපයක් අද දිනයේ හඳුන්වා දෙන බවද සුමුදු රත්නායක සඳහන් කරයි.

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

අද (18) අම්බලන්තොට – කතරගම ප්‍රධාන මාර්ගයේ වීරවිල තුරුසෙවණ මංසන්ධියේදී ලංගම බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇත.

මෙම බිහිසුණු බස් අනතුරින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 40 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

කොළඹ – කතරගම ධාවනය බස් රථයක් සහ තිස්ස – කරාපිටිය බලා ධාවනය වන ලංගම බස්රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත.

කුඹුරුවල ඉපනැල්ලට ගිනිතැබීමත් සමග ඇතිවූ දුම් ප්‍රධාන මාර්ගය වැසීයාමත් සමග රියදුරන්ට මාර්ගය අපහැදිලි වීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැක කරයි.

කෙසේ වෙතත් මෙම බිහිසුණු බස් අනතුරට හේතුව තවමත් පොලීසිය ප්‍රකාශ කර නොමැත.

හෙට සිට ඉන්ධන නිකුත් කරන්නේ ඔත්තේ – ඉරට්ටේ

හෙට සිට ඉන්ධන නිකුත් කරන්නේ ඔත්තේ – ඉරට්ටේ

ඉන්ධන නිකුත් කිරීමේදී වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව හෙට (19) දිනයේ සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ඒ අනුව අංක තහඩුවේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7 සහ 9 යන අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.

රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය පසුගිය (16) වනදා සිට පියවර ගනු ලැබීය.

ඔස්ට්‍රේලියානු ගුවන් කඳවුරකට ඉරාන මිසයිල ප්‍රහාර

ඔස්ට්‍රේලියානු ගුවන් කඳවුරකට ඉරාන මිසයිල ප්‍රහාර

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඔස්ට්‍රේලියානු ගුවන් කඳවුරකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත.

ඔස්ට්‍රේලියානු සොල්දාදුවන් විසින් භාවිතා කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් මින්හාඩ් ගුවන් කඳවුරේ පිටත මාර්ගයකට ඉරාන මිසයිලයක් වැදී ඇත.

එම ප්‍රහාරයෙන් කිසිදු ඔස්ට්‍රේලියානුවකුට තුවාල සිදුවී නොමැති බවත් හදිසි ගින්නක් හේතුවෙන් ගොඩනැගිලි වලට පමණක් සුළු හානියක් සිදුවී ඇති බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සඳහන් කරයි.

ඔස්ට්‍රේලියානු හමුදා නිලධාරීන් 100 කට වැඩි පිරිසක් එහි සේවය කරන අතර අද උදෑසන මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත් එම ප්‍රහාරය හේතුවෙන් ඔස්ට්‍රේලියානු වෛද්‍ය සහ නවාතැන් පහසුකම් වලට හානි සිදුවී ඇති බව සඳහන් කරයි.

අගමැති ඇන්තනි ඇල්බනීස් සඳහන් කළේ,

“ඔස්ට්‍රේලියානු නිලධාරීන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බවත්, මේ මොහොතේ සියලු දෙනා සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බවත් මට තහවුරු කළ හැකියි.”

මෙම කඳවුර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සතු වුවද, ඔස්ට්‍රේලියාව එය මැද පෙරදිග එහි ප්‍රධාන හමුදා, සැපයුම්, නිරීක්ෂණ සහ පුහුණු මධ්‍යස්ථානය ලෙස භාවිතා කරයි.