Local news

ඉන්ධන QR ගැටලුව විසදන හැටි

ඉන්ධන QR ගැටලුව විසදන හැටි

මේ වනවිට ඉන්ධන ලබාගැනීමේදී භාවිතා කරන “QR” කේතයට අදාළ බොහෝ ගැටලු නිරාකරණය වෙමින් පවතින බවත් පෙර සිට “QR” කේතයක් තිබූ වාහනයක් හා එම අංකය නොවෙනස්ව පවතින අවස්ථාවල කිසිදු ගැටළුවක් නොමැතිව එම “QR” කේතය භාවිතා කළ හැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

වාහනය ඒකම වුවද අංකය අලුත් කර ඇති අවස්ථාවල නව “QR” කේතයක් ලබාගැනීම සඳහා යම් කාලයක් ලබාදීමට සිදුවූ බවත් නව වාහන මිලදී ගත් අය සම්බන්ධයෙන් පැවති ගැටලු මේ වනවිට සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ඇති බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

තවත් ප්‍රධාන ගැටලුව වන්නේ වාහනයේ අයිතිකරු වෙනස්වීම සම්බන්ධයෙන් බැවින් එවැනි අවස්ථාවලදී පෙර අයිතිකරුගේ “QR” කේතය ඉවත් නොකිරීම හේතුවෙන් ගැටලු ඇතිව ඇති අතර එම ගැටලුවද මේ වනවිට නිරාකරණය කරමින් පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

පැයකට වාහන 30,000ක් පමණ පද්ධතියට ලියාපදිංචි වෙමින් පවතින අතර එය සැලකිය යුතු ප්‍රගතියක් බවත් ඒ අනුව “QR” කේත පද්ධතියට අදාළ ගැටලු බොහෝමයක් මේ වනවිට සාර්ථකව විසඳමින් පවතින බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මේ අතර ඉන්ධන සැපයුමේ අර්බුදය හමුවේ ඉන්ධන පරිභෝජනය සීමාකිරීම සඳහා හදුන්වාදුන් “QR” කේතයට සම්බන්ධ ගැටලු විසදා ඇති බවත් ලියාපදිංචි වාහනවලින් 10,000ක පමණක් ගැටලුවක් පවතින බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්‍ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.

ඉන්ධන පිරිමැසීමට විශේෂ වැඩපිළිවෙළක්

ඉන්ධන පිරිමැසීමට විශේෂ වැඩපිළිවෙළක්

ඉන්ධන තොග පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක් සතුවම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

එය දත්තමත පදනම් වූ අවම බලශක්ති පරිභෝජනයක් සහතික වන තිරසාර ක්‍රියාවලියක් විය යුතු බවත් ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් අමාත්‍යාංශ මට්ටමින් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම උපදෙස් ලබා දුන්නේ, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරිම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුව සමඟ හමුවකට අද (17) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

ඊයේ (16) අමාත්‍යවරු සහ අමාත්‍යාංශ ලේකම්වරු සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ රාජ්‍ය සහ පෞද්ගලික සැපයුම් දාම අඛණ්ඩව පවත්වා ගනිමින් ජනතාවට හිඟයකින් තොරව සාධාරණ මිලට භාණ්ඩ සැපයීම තහවුරු කිරීම සඳහා මෙම කමිටුව පත් කෙරිණි.

ඉන්ධන මිල ඉහළ යාම සමඟ භාණ්ඩ මිලද ඉහළ යාම සලකා බලා ගොවි ජනතාවටද බලපෑමක් නොවන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සාධාරණ මිලට ජනතාවට ලබාදීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග සහ මිල පාලනය සඳහා ගත හැකි විකල්ප ක්‍රමවේද පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මේ අතර සතොස ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හරින රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සමඟ මෙන්ම තොග ආනයනකරුවන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ ඉන්ධන අවශ්‍යතා පිළිබද තොරතුරු රැස් කරමින් එම සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව සමග එක්ව වැඩපිළිවෙළක් සකස් කරමින් තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සංචාරක ක්ෂේත්‍රයේ ඉන්ධන අවශ්‍යතාව සොයා බලා මින් පෙර භාවිත කළ QR ක්‍රමය පවත්වාගෙන යාම පිළිබඳවත්, හෝටල් සඳහා අවශ්‍ය ගෑස් සහ ඉන්ධන පහසුකම් සලසාදීමේ ක්‍රමවේදයක් සකස් කරමින් තිබෙන බවත් මෙහිදී සඳහන් විය.

බහුදින ධීවර යාත්‍රා සහ වරාය කටයුතු සඳහා ඉන්ධන ලබාදීම මේ වනවිට සිදුවන අතර එම කෝටා ප්‍රමාණයන්හි ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු විය.

ඊයේ දින ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව කර්මාන්තකරුවන් පිළිබඳ තොරතුරු රැස්කර ලියාපදිංචි කිරීමේ කටයුතු අරම්භ කර ඇති බවත් ඔවුන්ට අවශ්‍ය ඉන්ධන සැපයීම පිළිබඳ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග එක්ව වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරිය මෙහිදී සඳහන් කළාය.

ජනපතිගෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

ජනපතිගෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

මේ වනවිට පවතින තත්ත්වය සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (17) රාත්‍රියේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,

“සිකුරාදා දිනයේදී ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතනවා කියලා දැනුම්දීලා තියෙනවා. අද රාත්‍රි 7.30ට මාධ්‍ය සාකච්ඡාවකුත් පැවැත්වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා විපක්ෂයේ පක්ෂ නායකයින් ඒ වෙලාව වෙනකොට පාර්ලිමේන්තුවේ රැඳී සිටියොත් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකුත් ඇතිකරගන්න. ජනාධිපතිතුමාගේ මට්ටමින් අදහස් දක්වන්න බලාපොරොත්තු නම් ඒ සඳහාත් අපි බලාපොරොත්තු වෙනවා සිකුරාදා විපක්ෂයේ පක්ෂ නායකයින්ට ඒ අවස්ථාව ලබා දෙන්න.”

ඉරානයේ ආරක්ෂක ප්‍රධානියා ඝාතනය කරයි

ඉරානයේ ආරක්ෂක ප්‍රධානියා ඝාතනය කරයි

ඉරානයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ අලි ලාරිජානි (Ali Larijani) ඝාතනය වී ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කර ඇත.

අලි ලාරිජානි (Ali Larijani) ඉරානයේ ආරක්ෂක තීරණ ගන්නා ප්‍රධානතම පුද්ගලයා වූ බැවින් මෙම මරණය වත්මන් යුද තත්ත්වයට විශාල බලපෑමක් එල්ල කරනු ඇති බව වාර්තා වේ.

ඉරාන ජනාධිපතිවරයාගේ සහ නැසීගිය උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ නියෝජිතයෙකු ලෙසද අලි ලාරිජානි කටයුතු කර ඇත.

පාසල් නිවාඩු.. විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරයි

පාසල් නිවාඩු.. විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරයි

ඉන්ධන අර්බුදය හමුවේ පාසල්වල දෛනික පරිපාලන කටයුතු හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

අවධානය යොමුකර ඇති කරුණු කිහිපයක් පහතන්.

සියලුම පාසල් සතියට දින හතරක් පමණක් පැවැත්වීමට තීරණය කර ඇති අතර නැවත දැනුම්දෙන තෙක් සියලුම බදාදා දිනයන් පාසල් නිවාඩු දිනයක් සේ සලකනු ලැබේ.

සෑම සතියකම බදාදා දිනවලදී නිවසේ සිට ස්වයං ඉගෙනුම් කටයුතුවල නිරත වීම සඳහා අවශ්‍ය පැවරුම්, අභ්‍යාස, පුනරීක්ෂණ ආදිය සුදුසු පරිදි සිසුන් වෙත ලබාදීමට සියලුම විදුහල්පතිවරුන් කටයුතු කළ යුතුය.

පාසල්වල විෂය නිර්දේශ ආවරණය කිරීමට පවතින කාලය සීමා සහිත වීම නිසා පාසල මඟින් සංවිධානය කරන හෝ වෙනත් බාහිර ආයතන විසින් පාසල් තුළ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් හෝ උත්සව සඳහා පාසල් පැවැත්වෙන කාලය යොදා නොගත යුතුය.

පාසල් මඟින් පවත්වනු ලබන උත්සව හෝ වැඩසටහන් ඉන්ධන පරිභෝජනය අවම වන පරිදි පැවැත්වීමට විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු අතර අධික ලෙස ඉන්ධන භාවිත වන රථ පෙළපාලි ආදිය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවනු ලැබේ.

පාසල් අධ්‍යාපන චාරිකා සංවිධානය කිරීම හෝ ඉදිරි දිනවලදී යාමට සැලසුම් කර ඇති චාරිකා සඳහා සිසුන් සහභාගී කරවීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිව අත්හිටුවා ඇත.

රාජ්‍ය සේවකයින්ගේ බදාදා නිවාඩුවේ චක්‍රලේඛය

රාජ්‍ය සේවකයින්ගේ බදාදා නිවාඩුවේ චක්‍රලේඛය

පවනින අර්බුදකාරී තත්ත්වය තුළ ඉන්ධන සංචිත පිරිමසා ගැනීම වෙනුවෙන් රජයේ කාර්යාල පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත මෙම චක්‍රලේඛය යොමු කර ඇති අතර රාජ්‍ය සේවකයින්ට සෑම සතියකම බදාදා දිනයේදී ලබාදුන් නිවාඩුව හේතුවෙන් එම රාජකාරී කටයුතු සතියේ අඟහරුවාදා දිනට යොදාගත යුතුයි. 

යම් නිලධාරියෙකු බදාදා දින සේවයේ යෙදවිය යුතු යැයි ආයතන ප්‍රධානියා විසින් තීරණය කරනු ලබන්නේ නම්, අදාළ නිලධරයන් සේවයට කැඳවීමට බාධාවක් නොවිය යුතු බවත් ඒ සඳහා නිවාඩු දින වැටුප්, අතිකාල හෝ හිලව් නිවාඩු ලබානොදිය යුතු බවට අවධාරණය කර ඇත.

බදාදා දින වසා තබන කාර්යාලවල නිලධරයන් එම සතියේ සෙනසුරාදා, ඉරිදා හෝ රජයේ නිවාඩු දිනයකදී අතිකාල ගෙවීමේ පදනමින්, නිවාඩු දින වැටුප් ගෙවීමේ පදනමින් හෝ හිලව් නිවාඩු ලබාදීමේ පදනමින් හෝ සේවයේ නොයෙදවිය යුතුයි.

සේවයේ හදිසි අවශ්‍යතාවය මත සෙනසුරාදා, ඉරිදා හෝ රජයේ නිවාඩු දිනයක දී හෝ ස්වකීය ආයතනයේ නිලධරයන් සේවයට කැඳවීමේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් අදළා අමාත්‍යාංශ ලේකම්/ පළාත් ප්‍රධාන ලේකම්/ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ හෝ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ගේ අනුමැතිය ඇතිව අදාළ ආයතන ප්‍රධානියා එම නිලධරයන් සේවයට කැඳවීමට බාධාවක් නොමැති බවද අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.

එසේ සේවයට කැඳවනු ලබන නිලධරයන් සඳහා අතිකාල දීමනා, නිවාඩු දින වැටුප් හෝ හිලව් නිවාඩු ලබාදීමට බාධාවක් නොමැති බවද අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.

රජයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට මෙයින් බාධාවක් නොවිය යුතු අතර එම අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුයෙකු/ පළාත් ප්‍රධාන ලේකම්වරයෙකු/ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානියෙකු විසින් බදාදා දිනයේදී විවෘතව තැබිය යුතු බවට තීරණය කරනු ලබන ආයතන සඳහා මෙම චක්‍රලේඛ විධිවිධාන අදාළ කර නොගත යුතුයි.

එම ආයතන මෙම දිනය සාමාන්‍ය රාජකාරී දිනයක් සේ සලකා කටයුතු කළ යුතුය. එමෙන්ම මේ වනවිට සේවා මුර ක්‍රමය යටතේ නිලධරයන් සේවයේ යොදවන ලැබූ රාජ්‍ය ආයතන සඳහා මෙම චක්‍රලේඛ විධි විධාන අදාළ කර නොගත යුතු බවද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලෙකම්, ආලෝක බණ්ඩාර විසින් නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වේ.

‘වියට්නාමයට සිදුවූ දේ අමෙරිකාවටත් වෙයි’ ඉරානයෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

‘වියට්නාමයට සිදුවූ දේ අමෙරිකාවටත් වෙයි’ ඉරානයෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

මේ මොහොතේ අමෙරිකාව සමග රාජ්‍යතාන්ත්‍රික විසදුමක් බලාපොරොත්තු නොවන බවත් අවශ්‍ය ඕනෑම කාලයක් සටන් කිරීමට ඉරානය සූදානමින් පසුවන බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සයීඩ් කතිබිසාඩේ (Saeed Khatibzadeh) සඳහන් කරයි.

අමෙරිකාව සිය ගොඩබිම් හමුදා තම රට තුළට යෙදවුවහොත් ඔවුන්ට ‘වියට්නාමයේ සිදුවූවාක් වැනි’ දැවැන්ත ව්‍යසනයකට මුහුණදීමට සිදුවනු ඇතැයි නියෝජ්‍ය විදේශ අමාත්‍ය සයීඩ් කතිබිසාඩේ අනතුරු අඟවයි.

ඉරානය සමඟ ගොඩබිම් යුද්ධයකට එළඹීම අමෙරිකාවට පාලනය කරගත නොහැකි විනාශකාරී වැරැද්දක් වනු ඇති බවද ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සඳහන් කරයි.

අමෙරිකාව සිදු කිරීමට සැරසෙන ඕනෑම හමුදාමය මැදිහත්වීමක් නොසැලකිලිමත් ක්‍රියාවක් බවත් ඉරානයේ ස්වෛර්භාවය වෙනුවෙන් දීර්ඝකාලීන ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමට තම රට සූදානම් බවද විදේශ අමාත්‍යවරයා සඳහන් කරයි.

ගම්මන්පිලට දින නියම වෙයි

ගම්මන්පිලට දින නියම වෙයි

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කරමින් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ගොනුකර තිබෙන නඩුව මාර්තු (27) යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.

මෙම නඩුව අද (17) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදුරුගොඩ ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය නඩුව යළි මාර්තු මස (27) වනදා කැඳවන ලෙස නියෝග කළාය.

1996 සැප්තැම්බර් (26) සහ 1997 සැප්තැම්බර් මස (25) අතර කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගම නමින් මිලදී ගෙන තිබූ පෞද්ගලික බැංකුවකට අයත් කොටස් මිලියන 21ක් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කොට විකිණීම තුළින් රුපියල් මිලියන 20ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් උදය ගම්මන්පිලට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කළේය.

විදුලි කප්පාදුවක් ගැන ඉඟියක්

විදුලි කප්පාදුවක් ගැන ඉඟියක්

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලි කප්පාදුවක් සිදුකර නොමැති වුවද ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමට ඉඩකඩක් පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කරයි.

එහෙත් පුළුවන් තරම් ජනතාවට සහන සලසලා, කර්මාන්තශාලා ඇතුළු හැම දෙයක්ම සාමාන්‍ය විදිහට ගෙනියන්න උපරිම උත්සාහ කරන බවද අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කරයි.

අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළේ,

“අපේ රජයේ කළමනාකාරීත්වය හින්දා තාම එක පැයක්, එක විනාඩියක් විදුලිය කපන්නේ නැතිව ගෙනියනවා. ඒකේ වියදමක් තියෙනවා තමා. ඒකට තමා ආණ්ඩුවක් ඉන්නේ. හැබැයි කපන්න වෙන වෙලාවකුත් තියෙන්න පුළුවන්. අපි පුළුවන් තරම් ජනතාවට සහන සලසලා, කර්මාන්ත හැම දෙයක්ම සාමාන්‍ය විදිහට ගෙනියන්න උපරිම උත්සාහය තමා අපි මේ ගන්නේ.”

සතියක ඉන්ධන QR කෝටාව ඉරිදා අවසන් නොවේ.. ජනතාවට දැනුම්දීමක්

සතියක ඉන්ධන QR කෝටාව ඉරිදා අවසන් නොවේ.. ජනතාවට දැනුම්දීමක්

රටේ ජනතාවට තම වාහනය සඳහා ඉන්ධන ලබාගැනීමට නිකුත් කර ඇති ඉන්ධන කෝටාව ඉරිදා දිනයේ අලුත් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කරයි.

ඒ අනුව සතියකට ඉන්ධන ලබාගැනීමට නිකුත් කර ඇති ඉන්ධන කෝටාව ලබන සෙනසුරාදා දින රාත්‍රියෙන් අවසන් වන බවත් නැවත ඉරිදා දිනයේ අලුත් වන බවද එම සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කරයි.

මේ වනවිට නිකුත් කර ඇති “QR” කේත ක්‍රමවේදය හඳුන්වාදීම තුළින් මෙරට තෙල් පරිභෝජනය 20%කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවද එම සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කරයි.

වැඩසටහනකට එක්වෙමින් එම සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මේ බව සඳහන් කරයි.