Local news

ආරක්ෂක ලේකම් එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙයි

ආරක්ෂක ලේකම් එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙයි

හයිට් රාජ්‍යයේ කල්ලි මර්දන බලකාය (Gang Suppression Force – GSF) සඳහා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සාමාජිකයන් යෙදවීමට අදාළව දැනට පවතින අවබෝධතා ගිවිසුම් පිළිබඳ සාකච්ඡා වලට සම්බන්ධ වීමේ අරමුණින්, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) ගේ මූලිකත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා දුත පිරිසක් පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමඟ විශේෂ සාකච්ඡා මාලාවක් පවත්වන ලදී.

මෙම සංචාරය අතරතුර, ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, මෙහෙයුම් සහය පිළිබඳ එක්සත් ජාතීන්ගේ යටත් ලේකම් ජෙනරාල් Atul Khare සහ එහි මෙහෙයුම් සහාය දෙපාර්තමේන්තුවේ (DOS) සැපයුම් දාම කළමනා කරණ කාර්යාලය (OSCM) යටතේ පවතින සන්නද්ධ සේවා සහය අංශයේ (UCSD) අධ්‍යක්‍ෂ Michael Mulinge Kitivi යන මහත්වරුන් මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයේ නියෝජිතයන් පිරිසක් ද හමු වූහ.

මෙහිදී මූලික වශයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත, කල්ලි මර්දන බලකාය යටතේ හයිට් රාජ්‍යය වෙත ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම් යෙදවීමේ හැකියාව පිළිබඳව සාකච්ඡාවට ලක් කළ අතර, එහිදී මෙහෙයුම් සඳහා අවශ්‍ය පෙර සූදානම, එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූල වීම සහ මානව හිමිකම් අවශ්‍යතා අනුගමනය කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිල්ලෙයාන් ගැන තවත් අනාවරණයක්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිල්ලෙයාන් ගැන තවත් අනාවරණයක්

හිටපු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් 2015 වසරේ සිට 2021 වසර දක්වා මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියේය.

පිල්ලෙයාන් සමග බන්ධනාගාරයේ රඳවා සිට පුද්ගලයෙකුගේ සාක්ෂි අනාවරණයක් මගින් හෙළිවු කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය.

එම අනාවරණයට අනුව මහාචාර්ය රොහාන් ගුණරත්න නැමැත්තා අවස්ථා තුනකදී පැමිණ පිල්ලෙයාන් හමුවී ඇති අතර එම රොහාන් ගුණරත්න සමඟ තවත් කාන්තාවන් දෙදෙනෙකුද පිල්ලෙයාන් හමුවීමට පැමිණ ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය.

තවද එම කාන්තාවන් දෙදෙනාගෙන් එක් කාන්තාවක් පසුව යුද හමුදාවේ මේජර් නිලයට බඳවාගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය.

මේ අතර සහරාන් හෂිම්ගේ සහෝදරයා වන ජාතික තවුහිත් ජමාත් සමාජික ෂෙයිනි මව්ලවී සහ මිල්හාන් නැමැති තවත් පුද්ගලයෙක් පිල්ලෙයාන් රඳවා සිටි වාට්ටුවට පිල්ලෙයාන් විසින් ගත් බවද සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

එම සාක්ෂිකරු සඳහන් කර ඇත්තේ, පිල්ලෙයාන්, ෂෙයිනි මව්ලවී සහ මිල්හාන් කතා කරන ස්ථානයට තමන් යන අවස්ථා වලදී ඔවුන්ගේ කතාබහ ඉක්මනින් වෙනස් කරන බවයි.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිල්ලෙයාන් නැවත අත්අඩංගුවට ගෙන, මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ක්‍රීඩකයින්ගේ ගෙවීම් කපා හරින ක්‍රමවේදයක්

ක්‍රීඩකයින්ගේ ගෙවීම් කපා හරින ක්‍රමවේදයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තරග ජය ගතහොත් බෝනස් දීමනාවක් සහ තරග පරාජය වුවහොත් ගෙවීම් කපා හැරීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මේ බව සඳහන් කරයි.

ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කළේ,

“ගිවිසුමේ හැටියට තරග දිනුවොත් මූල්‍යමය වාසි වෙන ලැබෙන ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඊට අමතරව ඒගොල්ලන්ට බෝනස් දීලා තියෙනවා. ඒ වගේම මැච් පැරදුණොත් එයත් ඔවුන්ට බලපාන ලෙස ක්‍රීඩක ගිවිසුම් වලට එක්කර තිබෙනවා.”

ලාල්කාන්ත අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පැමිණිල්ලක්

ලාල්කාන්ත අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පැමිණිල්ලක්

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තට එරෙහිව නව ජනතා පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත (23) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

වසර 14ක් තිස්සේ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත රජයේ දේපළ අවභාවිත කරමින් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ රැඳී සිටි බවට එමගින් චෝදනා එල්ල කර ඇත.

මෙම දූෂිත ක්‍රියාව සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා අමාත්‍යවරයාව අත්අඩංගුවට ගත යුතු බව එම පෙරමුණේ නියෝජිතයින් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වහාම ක්‍රියාත්මක විය යුතු බවත් විධිමත් පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඔවුන් ඉල්ලා ඇත.

වෙසක් සැමරුම වෙනුවෙන් නිවාඩුව සංශෝධනය කරයි

වෙසක් සැමරුම වෙනුවෙන් නිවාඩුව සංශෝධනය කරයි

රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන එළඹෙන මැයි (30) වැනිදා යොදාගෙන ඇති හෙයින්, එදිනට පසුදින රජයේ නිවාඩුවක් බවට ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව මැයි (02) වැනිදාට යෙදී තිබූ නිවාඩුව, මැයි (31) ලෙසින් සංශෝධනය කර ඇත.

හෝමූස් බෝම්බ අටවන සියලු ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරනවා

හෝමූස් බෝම්බ අටවන සියලු ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරනවා

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝමූස් සමුද්‍ර සන්ධියේ පුපුරණ ද්‍රව්‍ය අටවන ඕනෑම ඉරාන යාත්‍රාවකට ප්‍රහාර එල්ල කරන ලෙස සිය නාවික හමුදාවට අණකර ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමෙහි සටනක් තබමින් මේ බව ප්‍රකාශ කර අති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඉරානය සතුව යුද නෞකා නොමැති බවත් ඔවුන් සතුව පැවති නැව් 159 මුහුදුබත් කළ බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධියේ ඇති බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන ලෙසට තමන් නියෝග කළ බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල පහතින්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල පහතින්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

  1. තිරිගු පිටි – 158.00 – 176.00
  2. සුදු සීනි –   200.00 – 217.00
  3. පරිප්පු –   248.00 – 271.00
  4. අර්ථාපල් (ඉන්දියා) – 160.00 – 228.00
  5. අර්ථාපල් (පාකිස්තාන්) – 140.00 -177.00
  6. බී ලූනු (ඉන්දියා) – 145.00 – 189.00
  7. බී ලූනු (පාකිස්තාන) – 112.00 – 140.00
  8. රතු ලූනු (ආනයනික) – 280.00 – 332.00
  9. වියළි හාල්මැස්සන් (තායිලන්ත) – 1054.00 – 1159.00
  10. වියළි මිරිස්  – 1046.00 – 1067.00
  11. බිත්තර (සුදු)  ඒකකයක් – 32.00 – 42.00
  12. බිත්තර (දුඹුරු) ඒකකයක් – 34.00 – 44.00
  13. ටින්මාළු (දේශීය) මැකරල් 425g – 420.00 – 480.00
  14. ටින්මාළු (දේශීය) ලින්නා ජැක් මැකරල් 425g – 450.00 – 560.00
  15. දේශීය කැකුළු සහල් (සුදු) – 190.00 – 220.00
  16. දේශීය කැකුළු සහල් (රතු) – 165.00 – 220.00
  17. දේශීය නාඩු සහල් (සුදු) – 210.00 – 230.00
  18. බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත – 1000.00 – 1207.00
  19. සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400g – 990.00 – 1150.00
දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා තවත් 12 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෝපන්හේගන් හි වයඹ දෙසින් පිහිටි දුම්රිය හරස් මාර්ගයක මෙම අනතුර සිදුව ඇති බවත් මෙම අනතුරට හේතු මේ දක්වා අනාවරණ වී නොමැති බව කෝපන්හේගන් ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනතුරින් තුවාල ලැබූ සියලු දෙනා ගුවන් මගින් සහ ගිලන් රථයකින් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩුව ලගදීම

හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩුව ලගදීම

වාහන හිමිකරුගේ නම සඳහන් කරමින් ලියාපදිංචි අංක තහඩුවක් ලබාගැනීමේ ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නව රථ වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම මෙම වසරේ මැයි මාසයේ අග සිට සිදුකළ හැකි බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී මේ බව සඳහන් කරයි.

වාහන හිමිකරුගේ නම සඳහන් කර අංක තහඩුවක් නිකුත් කිරීම ගැන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ප්‍රියන්තා දිසානායක සඳහන් කළේ,

“අපිට ඒක කරන්න පුළුවන්. අපි ඇත්තටම ඒ ක්‍රමවේදය ලංකාවට හඳුන්වා දෙන්න සැලසුම් කරගෙන යනවා. සිස්ටම් එක අප්ඩේට් කරපු ගමන් අපි ඒ වගේ ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකකට යන්න බලාපොරොත්තු වෙනවා.”

ඇමති විජිත සහ ඉරාන විදේශ අමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්

ඇමති විජිත සහ ඉරාන විදේශ අමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමඟ දුරකථන සංවාදයක් පවත්වා ඇත.

මෙම සංවාදය අතරතුර, ඉරාන විදේශ අමාත්‍යවරයා විසින් IRIS Dena නෞකාවේ නාවිකයින් බේරා ගැනීමේ මෙහෙයුමේදී ශ්‍රී ලංකා රජය දැරූ උත්සාහයන් සහ IRIS Dena නෞකාවේ කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් ඉරාන නාවික නිලධාරීන්ගේ මළ සිරුරු ඉරානයට ආපසු භාරදීමට සහාය වීම පිළිබඳව කෘතඥතාව පළ කර ඇත.

අමෙරිකාව විසින් IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරය පෙර නොවූ විරූ යුධ අපරාධයක් ලෙසත් මෙය ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලික නීති සහ 1949 ජිනීවා සම්මුතීන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර මෙම අපරාධය ඉරානය කිසිදා අමතක නොකරන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කර ඇත.

තවද අපරාධකරුවන් සහ වගකිව යුතු පිරිස වගකිව යුත්තන් බවට සහතික කර ඔවුන් නීතිය හමුවට පමුණුවා ගැනීමට සියලු නීතිමය සහ දේශපාලනික ක්‍රම භාවිතා කරන බවද ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, අමාත්‍ය අරග්චි සහ අමාත්‍ය විජිත හේරත් ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය වර්ධනයන් පිළිබඳව ද සාකච්ඡා කර ඇත.