ඩයනාට සියල්ල අහිමි වෙයි.!

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තයක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ මුල්ම පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමෙන් අනතුරුව එහි බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කෙරිණි.

පසුව එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ඔෂල හේරත් විසින් අදාල පෙත්සම නැවත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමෙන් අනතුරුව සිදුකල අධිකරණ ක්‍රියාවලියේදී රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ හට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් අද දින (08) තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.

වග උත්තරකාර ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් මෙරටට පැමිණ ඇති බව නඩු විභාගයේදී කරුණු තහවුරු වූ බවත් ඩයනා ගමගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීමට අධිකරණය හමුවේ අසමත් වී ඇති බවත් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89වන වගන්තිය යටතේ ශ්‍රී ලංකික පුරවැසිභාවය අහිමි අයෙකු මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලාංකික පුරවැසි භාවයක් පවතින බවට කරුණු තහවුරු වී නැති හෙයින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බව දන්වමින් රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS