Foreign news

අමෙරිකාව සමග සටන් විරාම නෑ.. ප්‍රහාර තවත් දැඩි කරයි

අමෙරිකාව සමග සටන් විරාම නෑ.. ප්‍රහාර තවත් දැඩි කරයි

අමෙරිකාව ඉදිරිපත් කළ පැය 48ක සටන් විරාම යෝජනාව ඉරානය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කලාපය තුළ සිටින අමෙරිකානු හමුදාවන්ට සහ ඔවුන්ගේ මූලස්ථාන වලට ඉරානයෙන් එල්ල වන දැඩි ප්‍රහාර හමුවේ ඔවුන් දැඩි අසීරුතාවයට පත්ව සිටිම හේතුවෙන් අමෙරිකාව එම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

කුවේට්හි බුබියාන් දූපතේ පිහිටි අමෙරිකානු හමුදා ඉන්ධන ගබඩාවකට එල්ල වූ ප්‍රහාරයෙන් පසු අමෙරිකාව මෙම සටන් විරාමය සඳහා උනන්දු වී ඇති බවද ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

සටන් විරාමය ප්‍රතික්ශේප කළ බවට යුද පිටියේදී පෙන්වු බවත් සටන් විරාම යෝජනාවෙන් පසුවද අමෙරිකානු ඉලක්ක වෙත ප්‍රහාර තීව්‍ර කළ බව ඉරාන බලධාරීන් සඳහන් කරයි.

දිවි බේරාගත් අමෙරිකානු නියමුවන් සොයා ඉරානයෙන් මෙහෙයුම්

දිවි බේරාගත් අමෙරිකානු නියමුවන් සොයා ඉරානයෙන් මෙහෙයුම්

ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් බිම හෙළු අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා ඉරානය මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇත.

දකුණු ඉරානයේදී බිම හෙළු ‘F-15’ වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවන්ගෙන් එක් අයෙකුට දිවි බේරා ගැනීමට හැකිවිය.

කෙසේ වෙතත් මේ වනවිට අතුරුදන් නියමුවාට කුමක් සිදුවී ඇත්දැයි මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය අසල ඉහළ අහසේදී අමෙරිකානු A-10 වර්ගයේ යානයකටද මිසයිල ප්‍රහාරයක් එල්ල කර බිම හෙලා ඇත.

එම ප්‍රහාරය එල්ල වනවාත් සමග ගුවන් නියමුවා ඉන් පිටතට පැන දිවි බේරාගෙන ඇති අතර ඔහු සොයා ඉරාන හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

අමෙරිකානු තවත් යානයක් ඉරානය බිම හෙළයි

අමෙරිකානු තවත් යානයක් ඉරානය බිම හෙළයි

අමෙරිකානු A-10 වර්ගයේ යානයකට ඉරාන ආරක්ෂක අංශ විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර යානය බිම හෙලා ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධිය අසල ඉහළ අහසේදී මෙම යානය ප්‍රහාරයට ලක්ව ඇති බවත් එම යානයේ ගුවන් නියමුවා ඉන් පිටතට පැන දිවි බේරාගෙන ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඉරානය විසින් බිමහෙළු F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා ගමන්ගත් යානයකි.

කුවේට් තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

කුවේට් තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

කුවේට් ජාතික තෙල් සමාගමට (KPC) අයත් මිනා අල් අහමදි (Mina al-Ahmadi) පිරිපහදුව ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත.

ප්‍රහාරයෙන් පසු ඇති වූ විශාල ගින්න මැඩපැවැත්වීම සහ තත්ත්වය පාලනය කිරීම සඳහා හදිසි සහන සේවා කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරා ඇත.

මෙම ප්‍රහාරයත් සමඟ කුවේට් ගුවන් ආරක්ෂක අංශ විසින් එරට දෙසට පැමිණි මිසයිල සහ ඩ්‍රෝන යානා කිහිපයක් අතරමගදී විනාශ කිරීමට පියවර ගෙන ඇත.

ප්‍රහාරය හේතුවෙන් තෙල් පිරිපහදුවේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති නමුත් මෙතෙක් ජීවිත හානි පිළිබඳව වාර්තා වී නොමැත.

ගගනගාමීන් හඳට යන ගමන් පෘථිවියේ පළමු ඡායාරූපය එවයි

ගගනගාමීන් හඳට යන ගමන් පෘථිවියේ පළමු ඡායාරූපය එවයි

Artemis II ඔරියන් කැප්සියුලයේ සිටින ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ නාසා ආයතනය නිල වශයෙන් මුදාහැර ඇත.

නාසා ආයතනය විසින් සිය “X” ගිණුම ඔස්සේ “ඒ අපි” යන ශීර්ෂ පාඨය සමඟ එම ඡායාරූපය පළ කර ඇත.

යානයේ ගමන් කරන ගගනගාමීන් සිය පළමු දින අවසානයේ අත්දැකීම් හුවමාරු කරගැනීමට වීඩියෝ ඇමතුමක් මඟින් නාසා ආයතනය හා සම්බන්ධ විය.

ඒ අනුව ගගනගාමීන් සිව්දෙනාම නිරෝගීව සිටින අතර යානය ද හොඳින් ක්‍රියා කරන බව නාසා ආයතනය සඳහන් කරයි.

ඉරාන අහසේ පියාසර කළ අමෙරිකානු සුපිරි යානය බිම හෙළයි

ඉරාන අහසේ පියාසර කළ අමෙරිකානු සුපිරි යානය බිම හෙළයි

ඉරානයට ඉහළින් අහසේ පියාසර කළ අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් ඉරාන හමුදාව විසින් වෙඩිතබා බිම හෙළා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පෙන්ටගනය සහ එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රතිචාර දක්වා නොමැත.

මියන්මාරයේ නව ජනාධිපති ජෙනරාල් මින් අන්ග්

මියන්මාරයේ නව ජනාධිපති ජෙනරාල් මින් අන්ග්

මියන්මාරයේ නව ජනාධිපතිවරයා ලෙස ජෙනරාල් මින් අන්ග් හලින්ග් තෝරාපත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියන්මාර පාර්ලිමේන්තුවේ හමුදා හිතවාදී මන්ත්‍රී ආසන 584න් 429ක පක්ෂපාතීත්වය ජෙනරාල් මින් අවුන් හ්ලියැං හට ලැබී ඇත.

පාර්ලිමේන්තු ආසන වලින් හතරෙන් එකක ප්‍රමාණයක් මැතිවරණයකින් තොරවම සක්‍රීය හමුදා සාමාජිකයින් සඳහා වෙන් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු නීතිපතිනිය ධුරයෙන් ඉවත් කරයි

අමෙරිකානු නීතිපතිනිය ධුරයෙන් ඉවත් කරයි

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට නීතිපතිනි පෑම් බොන්ඩි (Pam Bondi) වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇත.

මාසයක කාලය තුළ ට්‍රම්ප් පරිපාලනයේ සිදුවූ දෙවන ප්‍රධානතම කැබිනට් මට්ටමේ වෙනස් කිරීම ලෙස මෙය සැලකෙයි.

ජනාධිපති ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුම ඔස්සේ මෙම තීරණය තහවුරු කර ඇති අතර ඇය පෞද්ගලික අංශයේ ඉහළ තනතුරකට යොමුවනු ඇති බවද සඳහන් කර ඇත.

මෙම හදිසි ඉවත් කිරීමට ප්‍රධානතම හේතුව, ලිංගික අපරාධ චෝදනා ලැබ සිටින ප්‍රකට මූල්‍යකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටයින්ට අදාළ රහසිගත ලිපිගොනු සම්බන්ධයෙන් පෑම් බොන්ඩි කටයුතු කළ ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා තුළ ඇති වූ දැඩි අප්‍රසාදයයි.

අනතුරුව එම පුරප්පාඩු වූ නීතිපති ධුරයේ වැඩ බැලීම සඳහා ජනාධිපති ට්‍රම්ප් විසින් නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්ච් (Todd Blanche) පත් කර ඇත.

එමෙන්ම ස්ථිර නීතිපති ධුරය සඳහා වත්මන් පරිසර ආරක්ෂණ ඒජන්සියේ (EPA) ප්‍රධානී ලී සෙල්ඩින් (Lee Zeldin) පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද අමෙරිකානු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉරානයේ විශාලතම පාලම විනාශ කළ ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ඉරානයේ විශාලතම පාලම විනාශ කළ ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ඉරානයේ කරාජ් (Karaj) හි පිහිටි උසම සහ වැදගත්ම යටිතල පහසුකම් ව්‍යාපෘතියක් වන B1 පාලම ගුවන් ප්‍රහාරයකින් විනාශ කිරීමෙන් අනතුරුව, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.

ඉරාන B1 පාලම කඩා වැටෙන දර්ශන සිය Truth Social ගිණුම ඔස්සේ ප්‍රසිද්ධ කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ,

“ඉරානයේ විශාලතම පාලම බිමට සමතලා විය. එය නැවත කිසිදා භාවිතා කළ නොහැක. තවත් බොහෝ දේ ඉදිරියට සිදුවනු ඇත.”

“ප්‍රබල රටක් ලෙස පැවතීමට නම් ඉතිරි දේත් විනාශ වීමට පෙර, ප්‍රමාද නොවී ගනුදෙනුවකට එළඹීමට දැන් කාලයයි.”

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් මිසයිල සහ ඩ්‍රෝන උපාංග ප්‍රවාහනය කිරීම සඳහා මෙම පාලම ප්‍රධාන සැපයුම් මාර්ගයක් ලෙස භාවිතා කළ බව අමෙරිකානු නිලධාරීන් සඳහන් කරයි.

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

WTI Crude බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 111.54 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 11.41%ක වැඩිවීමකි.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 109 ඉක්මවා ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 114.84 දක්වා ඉහළ ගොස් ඇත.