Local news

ට්‍රම්ප් සිටි උත්සවයට කඩා වැදුණු වෙඩික්කරු ගැන තොරතුරු හෙළිවෙයි

ට්‍රම්ප් සිටි උත්සවයට කඩා වැදුණු වෙඩික්කරු ගැන තොරතුරු හෙළිවෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් එක්වූ වොෂින්ටන් හිල්ටන් හී පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට ඇතුල් වූ වෙඩික්කරු සම්බන්ධව තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී ඇත.

සැකකරු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හී නිරිතදිග තදාසන්න ප්‍රදේශවල පදිංචි 31 හැවිරිදි කෝල් තෝමස් ඇලන් නම් පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ අන්තර්කාලීන පොලිස් ප්‍රධානියා අනාවරණය කර ඇත්තේ සැකකරු හෝටලයේ ආගන්තුකයෙකු බවයි.

ඔහු දකුණු කැලිෆොනියාවේ ගුරුවරයෙකු සහ වීඩියෝ ක්‍රීඩා සංවර්ධකයෙකු ලෙස සේවය කර ඇති බවත් ඔහු උපකාරක සමාගමක අර්ධකාලීන ගුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති බවද අනාවරණය වී ඇත.

තවද අදාළ උපකාරක සමාගමේ පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයේදී මාසයේ ගුරුවරයා ලෙසද ඔහු නම් කර ඇති බවත් මේ වන විට විමර්ශන වලදී හෙළිවී ඇත.

මේ වනවිට එම සැකකරු රෝහලක පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබන බව වොෂින්ටන් ඩීසී නගරාධිපතිවරයා සඳහන් කරයි.

තවත් බොරතෙල් නෞකාවක් දිවයිනට

තවත් බොරතෙල් නෞකාවක් දිවයිනට

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසුව පැමිණෙන දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සඳහන් කරයි.

මෙම නෞකාවෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක ප්‍රමාණයක් මෙරටට රැගෙන එන බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.

විශේෂ දේශනයක් සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රංශයට 

විශේෂ දේශනයක් සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රංශයට 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී, නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් අද (26) දින ප්‍රංශය වෙත පිටත්ව යමට නියමිතය.

ප්‍රංශයේ ලියෝන් නගරයේදී පැවැත්වෙන ජාත්‍යන්තර පොලිසිය (INTERPOL) විසින් පවත්වනු ලබන පළමුවන මහජන සන්නිවේදනය උදෙසා වූ ගෝලීය සම්මේලනය සඳහා සහභාගී වීම සඳහායි.

මෑත කාලයේ මෙරට පැනනැගුණු ආපදා තත්වයන්හීදී ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගේ ආරක්ෂාව හා සුබසිද්ධිය උදෙසා ක්‍රියාත්මකවූ ආකාරය සම්බන්ධයෙන් එහිදී විශේෂ දේශනයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර පොලිස් සම්මේලනයක විශේෂ දේශනයක් පැවැත්වීම සඳහා ආරාධනා ලැබූ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහු බව වාර්තා වේ.

ඉරාන තීරණය නිසා ට්‍රම්ප් ගමන අවලංගු කරයි

ඉරාන තීරණය නිසා ට්‍රම්ප් ගමන අවලංගු කරයි

මැදපෙරදිග යුද ගැටුම් නිරාකරණය කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා සඳහා පාකිස්තානයට නොයන ලෙසට අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් හට උපදෙස් ලබාදී ඇත.

යුද ගැටුම් නිරාකරණය කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා සඳහා ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් අද (25) දින පාකිස්තානය බලා යාමට සැලැසුම් කරමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඉරානයේ විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස (24) පාකිස්තානයේ සංචාරයක නිරත වූ අතර අමෙරිකාව සමඟ සාකච්ඡා වටයක් සඳහා තම පාර්ශ්වය සූදානම් නොමැති බව එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉරාන දූත පිරිස අද (25) දින පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර හමුවක් පවත්වා එරටින් පිටත්ව ගොස් ඇත.

නව උත්තරීතර නායකයාගේ ආරක්ෂාව දැඩි⁣ කරයි

නව උත්තරීතර නායකයාගේ ආරක්ෂාව දැඩි⁣ කරයි

අමෙරිකාවේ සහ ඊශ්‍රායල් ප්‍රහාර වලින් සහ ඔත්තුකරුවන්ගෙන් සැඟවීම සඳහා ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනි විසින් සිය ආරක්ෂක ප්‍රොටෝකෝල දැඩිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව සමීපතම ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු හැර උත්තරීතර නායක මොජ්ටාබා කමේනි හමුවීමට කිසිවෙකුට අවසර නොමැති බව වාර්තා වේ.

ඉරාන නායකයා විසින් සිය පණිවුඩ ඉරානය පුරා සිටින ආරක්ෂක බලඇණි වෙත යොමු කරන අතර ඒ සඳහා කිසිදු සන්නිවේදන උපකරණයක් භාවිත නොකරන බවද වාර්තා වේ.

මරදාන දුම්රිය ස්ථානය නවීකරණයේ පලමු අදියර අවසන්

මරදාන දුම්රිය ස්ථානය නවීකරණයේ පලමු අදියර අවසන්

Clean Sri Lanka ජාතික වැඩ සටහන මගින් ක්‍රියාත්මක කරන “සිහින ගමනාන්තය” දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතියි.

Clean Sri Lanka ජාතික වැඩසටහන, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන ඒකාබද්ධව සහයෝගීතාවයෙන් මරදාන දුම්රිය ස්ථානයේ නවීකරණ ක⁣ටයුතු මීට මාස හතකට පමණ පෙර ආරම්භ කළේය.

නවීකරණ ව්‍යාපෘතියේ පලමු අදියර සඳහා රුපියල් මිලියන තිස් පහක මූල්‍ය පිරිවැයක් අක්බා බ්‍රදර්ස් පුද්ගලික සමාගම විසින් දරනු ලැබූවේය.

නවීකරණ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සිදුකර මාස හයක කාලයක් තුල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු විදිමත්ව සිදු කර ඇත.

ඒ යටතේ ආරක්ෂක කැමරා පද්ධති, විදුලි ආලෝක පද්ධති, නවීන උපාංග සහිත සනීපාරක්ෂක පහසුකම්, ගොඩනැගිලි සංකීර්ණයේ බාහිර හා අභ්‍යන්තර තීන්ත ආලේපනය, පරිසර අලංකරණ කටයුතු මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකරයි.

එමෙන්ම දශක ගණනාවකින් කිසිදු අලුත්වැඩියාවකට ලක් නොවූ වර්ෂ සියයකට අධික ඉපැරණි දුම්රිය ගොඩනැගිල්ල ද ප්‍රතිසංස්කරණයකට ලක් කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කළේය.

දිගු කාලීනව එහි පැවති දිය කාන්දුවට ස්ථිරසාර විසඳුම් ලබාදී ඇති අතර එහිදී වරග අඩි දෙදහසකට අධික උඩු මහලේ කොන්ක්‍රිට් ආවරණ වහලය නවීන ඉඳිකිරීම් ක්‍රමෝපායන්ට අනුගතව ජල කාන්දු නොවන ලෙස (Water Proof) ප්‍රමිතිගත කොට නවීකරණයට ලක්කොට ඇත.

දේශිය හා විදේශිය මගී ජනතාවට දිවයිනේ සෑම පළාතකටම ගමනාගමන පහසුකම් සපයා ගැනීමට පැමිනෙන මරදාන දුම්රිය ස්ථානය අදියර කිහිපයක් යටතේ නවීකරණය කිරීමට සැලසුම් කර ඇති අතර එහි පලමු අදියර සාර්ථකව අවසන් කර ඇත.

ඉරාන විදේශ ඇමති පාකිස්තානයට

ඉරාන විදේශ ඇමති පාකිස්තානයට

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි (24) දින රාත්‍රියේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර වෙත පැමිණ ඇත.

අමෙරිකාව සමග සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා වන යෝජනා සාකච්ඡා කිරීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බව වාර්තා වේ.

මේ අතර අමෙරිකාවේ ඉල්ලීම් සපුරාලීම ඉලක්ක කරගත් යෝජනාවක් ඉරානයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ආරක්ෂක ලේකම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නිත්‍ය නියෝජිත හමුවෙයි

ආරක්ෂක ලේකම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නිත්‍ය නියෝජිත හමුවෙයි

නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිදු කළ නිල සංචාරය අතරතුර, ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත අතිගරු ජයන්ත ජයසූරිය යන මහත්වරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිත අතිගරු Michael G.Waltz මහතා සමඟ (23) දින සාකච්ඡාවක නිරත වූහ.

මෙහිදී එක්සත් ජාතීන්ගේ සාම සාධක සහ සාමය ගොඩනැගීමේ මෙහෙයුම් සඳහා පවතින සහයෝගීතාවය ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු වූ අතර, විශේෂයෙන්ම හයිටි රාජ්‍යයේ ක්‍රියාත්මක කල්ලි මර්දන බලකාය’ (Gang Suppression Force – GSF) සඳහා ශ්‍රී ලංකාවේ අනාගතදායකත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ කැපවීම තානාපති Waltz මහතාගේ ඇගයීමට ලක් වූ අතර, ඒ සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය ද ඔහු යළිත් තහවුරු කළේය.

Multi-Role Logistics, Maritime Small Boat සහ Maritime Task Force වැනි විශේෂ ඒකක ඇතුළුව අතිරේක ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම් යෙදවීමේ අවස්ථා පිළිබඳව ද මෙහිදී සොයා බලන ලදී. බලකා මූලස්ථාන විධිවිධාන, ඵලදායී සම්බන්ධීකරණ යාන්ත්‍රණයන් සහ අණ හා මාණ්ඩලික (Command & Staff) තනතුරු සඳහා ශ්‍රී ලංකා නිලධාරීන් ඇතුළත් කර ගැනීම සම්බන්ධ කරුණු ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

වැරදි තොරතුරු ප්‍රචාරණය මැඩපැවැත්වීම, ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කිරීම මෙන්ම සේවයේ යොදවන පිරිස් සඳහා වන පරීක්ෂණ සහ පුහුණු ක්‍රියාවලින් ශක්තිමත් කිරීම පිළිබඳව ද වැඩිදුරටත් අවධානය යොමු විය.

සියලුම විදේශීය මෙහෙයුම් වලදී ඉහළම මට්ටමේ විනයක් සහ වෘත්තීය මට්ටමක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී විශේෂයෙන් අවධාරණය කළේය.

ප්‍රදේශ රැසකට අද සවස තද වැසි

ප්‍රදේශ රැසකට අද සවස තද වැසි

අද (25) ප.ව. 2.00න් පසුව දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ශුද්ධාසන අපෝස්තලික තානාපති හිමිපාණන් බුද්ධශාසන ඇමති හමුවෙයි

ශුද්ධාසන අපෝස්තලික තානාපති හිමිපාණන් බුද්ධශාසන ඇමති හමුවෙයි

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ශ්‍රී ලංකාවේ ශුද්ධාසන අපෝස්තලික තානාපති H.E. Monsignor Andrzej Jozwowicz අති උතුම් හිමිපාණන් අතර නිල හමුවක් (24) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම සුහද හමුවේදී ශ්‍රී ලංකාව හා වතිකානු රාජ්‍යය අතර පවතින දිගුකාලීන ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, අන්තර් ආගමික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ සංස්කෘතික හුවමාරු වැඩසටහන් පුළුල් කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

දෙරටටම වැදගත් වන සංස්කෘතික උරුමයන් සංරක්ෂණය හා ප්‍රවර්ධනය සඳහා අනාගතයේදී ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.