Local news

කොලොම්බියාවේ බෝම්බ ප්‍රහාරයක්.. 20ක් මරුට

කොලොම්බියාවේ බෝම්බ ප්‍රහාරයක්.. 20ක් මරුට

සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් කොලොම්බියාවේ කාජිබියෝ ප්‍රදේශයේ (26) මහාමාර්ගයේ දරුණු බෝම්බ පිපිරීමක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 36 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම බෝම්බය පිපිරුණු ස්ථානයේ විශාල වළක් හෑරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලිසිය මගින් අද (27) දින අත්අඩංගුවට ගෙන ඇත.

ගිනිඅවියක් පෙන්වා කාන්තාවන්ට සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

තුන්වන චාල්ස් රජු අද අමෙරිකාවට

තුන්වන චාල්ස් රජු අද අමෙරිකාවට

අද (27) දින බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින නිල සංචාරයක් සඳහා අමෙරිකාවට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙරට අතර පවතින දීර්ඝකාලීන මිතුදම අලුත් කිරීම සහ ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් ක්‍රිස්ටියන් ටර්නර් සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය තොගයක් අද විනාශ කෙරේ

මත්ද්‍රව්‍ය තොගයක් අද විනාශ කෙරේ

සිදුකරන ලද වැටලීම් මගින් පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 302කට ආසන්න ප්‍රමාණයක් අද (27) දිනයේදී විනාශ කිරීමට නියමිතව ඇත.

අදාළ වැටලීම් වලට අදාළව බලපිටිය සහ හලාවත අධිකරණවල විභාග වූ නඩු කටයුතු අවසන් වීමෙන් පසු හෙරොයින් කිලෝ 22 ග්‍රෑම් 888ක්, කේරළ ගංජා කිලෝ 33 ග්‍රෑම් 172ක් හා ගංජා කිලෝ 247 ග්‍රෑම් 940ක ප්‍රමාණයක් මෙලෙස විනාශ කිරීමට නියමිතව ඇත.

බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තිබූ මත්ද්‍රව්‍ය තොගය අද අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පුත්තලමේ පිහිටි වනාතවිල්ලුව ලැක්ටෝවත්ත දහන උඳුන වෙත ගෙන යාම ආරම්භ කළේය.

ජපානයට ප්‍රබල භූකම්පනයක්

ජපානයට ප්‍රබල භූකම්පනයක්

උතුරු ජපානයේ හොක්කයිඩෝ ප්‍රාන්තයේ රික්ටර් මාපක 6.2ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි.

ප්‍රබල භූකම්පන ඇතිවූ ප්‍රදේශවල ගල් කඩා වැටීම් හා නායයෑම් අවදානම වැඩිවී ඇති බවද ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි.

කෙසේ වෙතත් අදාළ භූ කම්පන තත්ත්වයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් චීවරධාරීන්ට දුන් නියෝගය

අත්අඩංගුවට ගත් චීවරධාරීන්ට දුන් නියෝගය

රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු වීවරධාරීන් විසිදෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට (26) පස්වරුවේ ඉදිරිපත් කළේය.

මෙම චීවරධාරීන් පිරිස මෙහෙයවූ බව පැවසෙන ප්‍රධාන චීවරධාරියා ගම්පහ මීගහමුල්ල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

ඒ අනුව ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු චීවරධාරීන් විසිදෙදෙනාව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර නියෝග කර ඇත.

සැකකාර වීවරධාරීන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට (26) පස්වරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

නලින්ගේ ප්‍රකාශයට RDAයෙන් පිළිතුරු

නලින්ගේ ප්‍රකාශයට RDAයෙන් පිළිතුරු

රුපියල් මිලියන 380ක් මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ප්‍රධාන ගිණුමෙන් කොන්ත්‍රාත්කරුවන්ට වැරදීමකින් යළි ගෙවා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිදුකළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව එම අධිකාරිය සඳහන් කරයි.

එම අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් රුපියල් මිලියන 380ක් පමණ 2023 වසරේදී ගෙවීම් සිදුකළ කොන්ත්‍රාත්කරුවන්ට, වැරදීමකින් යළි ගෙවා ඇති බව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කළේය.

එම ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව සඳහන් කරමින් එම අධිකාරිය නිවේදනයක් නිකුත් කර ඇත.

Screenshot
තම අවුරුදු 2ක කුඩා දැරිය විකුණා දුරකථනයක් මිලදී ගත් මව

තම අවුරුදු 2ක කුඩා දැරිය විකුණා දුරකථනයක් මිලදී ගත් මව

රුපියල් 40,000ක මුදලකට වයස අවුරුදු 02ක දැරියක් විකුණා එම මුදලින් රුපියල් 15,000ක ජංගම දුරකථනයක් මිලදී ගත් මව, ඇයගේ අනියම් පුරුෂයා සහ අදාළ දැරිය මිලදී ගත් කාන්තාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කුඩා දැරියගේ මව සහ අනියම් පුරුෂයා විසින් ඇය කොළඹ ප්‍රදේශයේ කාන්තාවකට මුදලට විකුණා ඇති බවට ධර්මපුරම් ග්‍රාම නිලධාරීවරයා විසින් පොලිස් ස්ථානයට සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

දැරියගේ මව හා අනියම් ස්වාමිපුරුෂයා ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක් හා 31ක් වන දෙපළක් වන අතර දැරිය මිලදී ගත් බව කියන කාන්තාව කටුනායක ඇවරියවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක් වන බව පොලීසිය සඳහන් කරයි. 

ධර්මපුරම් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් එම සැකකාරියන් දෙදෙනා සහ සැකකරු කිලිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස (29) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

රනිල්ගෙන් නිවේදනයක්

රනිල්ගෙන් නිවේදනයක්

සිය කෘතඥතාවය පළ කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කර ඇත.

“අසනීප තත්ත්වය අනාවරණය වීමත් සමගම සුවදුක් විමසමින් සහ ඉක්මන් ‌සුවය ප්‍රාර්ථනා කරමින් ලැබුණු දුරකථන ඇමතුම්, පණිවුඩ සංඛ්‍යාව අපමණය.

නිරෝගී සුව පතමින් දිවයින පුරා සර්ව ආගමික වතාවත් පැවැත්වීමට ඔබ ගත් ක්‍රියාමාර්ග මගේ සුවිශේෂී ඇගයීමට ලක්වෙයි.

ශ්‍රී ලාංකේය පුරවැසියන් වශයෙන් ඔබ ක්‍රියාවට නැංවූ පියවර ඉක්මන් සුවය ලැබීමට මට මහත් ධෛර්යයක් වූයේය.

විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් මම වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් උචිත ක්‍රියාමාර්ග ගත් බව දනිමි.

මම වෙනුවෙන් ඔබ දැක්වූ සැලකිල්ල උනන්දුව යළි යළිත් අගය කරමි. ඒ වෙනුවෙන් මගේ හදපිරි කෘතඥතාවය පළ කර සිටින්නෙමි.”

ට්‍රම්ප්ගේ නිලධාරීන් ඝාතනයට ආ වෙඩික්කරු

ට්‍රම්ප්ගේ නිලධාරීන් ඝාතනයට ආ වෙඩික්කරු

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් පැවති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ වාර්ෂික රාත්‍රි භෝජන සංග්‍රහය අතරතුර කඩා වැදුණු පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමක් සිදු කළේය.

එම වෙඩි තැබීමත් සමඟ ජනාධිපතිවරයා ඇතුළු පිරිස ආරක්ෂිතව ඉවත් කරගැනීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබූ අතර පසුව වෙඩික්කරු අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගත් වෙඩික්කරු 31 හැවිරිදි කැලිෆෝනියාහි පදිංචිකරුවෙකු වන අතර ඔහු විසින් වෙඩි ප්‍රහාර 5ත් 8ත් අතර සංඛ්‍යාවක් සිදුකර ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් වෙඩික්කරු විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් බවයි.