Local news

තවත් ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වෙයි.. ලිපිය ජනපතිට

තවත් ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වෙයි.. ලිපිය ජනපතිට

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කර ඇත.

තම පෞද්ගලික හේතුවක් මත මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මහාචාර්ය සරත් අබේකෝන් සඳහන් කරයි.

ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරක් මේ දක්වා ලැබී නොමැති බව මහාචාර්ය සරත් අබේකෝන් සඳහන් කරයි.

ඉන්ධන සැපයීමේ වෙනසක්

ඉන්ධන සැපයීමේ වෙනසක්

මෙරටට ඉන්ධන සැපයිමේ සමාගම් ලෙස රුසියානු සමාගම් දෙකක් ලියාපදිංචි කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

ඒ අනුව අදාළ සමාගම් දෙකට මෙරටට ඉන්ධන මිලදී ගැනීමේ ටෙන්ඩර් සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවන බවද සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

මෙරටට බොරතෙල් මිලදී ගැනීමේ ටෙන්ඩරයක් ලබන (21) වනදා විවෘත වන අතර රුසියානු සමාගම් දෙකටද ඒ සඳහා අයැදුම් කළ හැකි බවද සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

මෙරටට ඉන්ධන මිලදී ගැනීම සඳහා සමාගම් 15කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත.

බොරතෙල් මිල තවත් ඉහළ⁣ට

බොරතෙල් මිල තවත් ඉහළ⁣ට

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (15) දිනයේදී තවදුරටත් ඉහළ ගොස් ඇත.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 86.19ක් දක්වා ඉහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක් ඩොලර් 80.40ක් දක්වා ඉහළ ගොස් ඇත.

බැසිල්ට අසනීපයි.. හැබැයි අසනීපය මොකක්ද අපි දන්නෑ

බැසිල්ට අසනීපයි.. හැබැයි අසනීපය මොකක්ද අපි දන්නෑ

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ වනවිට රැදීසිටින රට සහ ලංකාව අතර දුරස්ථ තත්ත්වයක් තිබෙන නිසා ඔහුගේ අසනීපය මොකක්ද කියා තමන් දන්නේ නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රී ජගත් කුමාර මේ බව සඳහන් කරයි.

එහිදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ තවමත් අසනීපයෙන් සිටිනවාද.?

“මම හිතන්නේ උසාවියට ඉදිරිපත් කරලා ඇති ඒ කාරණා. මොකද අපි ඉන්න තැන සහ එතුමා ඉන්න රට අතර බොහොම දුරස්ථ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඉන්න තැන, අසනීපය මොකක්ද, ඒ සියලු තත්ත්වයන් අපි දන්නෑ. අපිට තොරතුරු තියෙන්නේ එතුමා අසනීප තත්ත්වයකින් හිටිය කියන කාරණාව.“

බැසිල් රාජපක්ෂ ලංකාවට ඇවිල්ලා නඩු වලට ඉදිරිපත් වෙන්නේ නැද්ද.?

“ඒක එතුමගෙන්ම අහන්න ඕන ප්‍රශ්නයක්. එතුමා ඉදිරියේදී මේ සම්බන්ධව මැදිහත්වෙයි. මොකද කවුරුවත් අධිකරණය මගහැරීමක්, අධිකරණයට පසුබෑමක් වෙන්නේ නෑ. අධිකරණයට එනවා.“

තොරතුරු දෙන්න එපා.. වහාම පොලීසියට දැනුම් දෙන්න

තොරතුරු දෙන්න එපා.. වහාම පොලීසියට දැනුම් දෙන්න

“දඩ මුදල් ගෙවන ලෙසට” ඔබේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණොත් ඒ සම්බන්ධයෙන් වහාම ළඟම පොලිස් ස්ථානයට දැනුම්දෙන ලෙසට පොලිසිය ජනතාවට දැනුම් දීමක් කරයි.

රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර සඳහන් කළේ,

“ඔබ විසින් සිදුකරන ලද රථවාහන වැරදි කිහිපයක් සඳහා සතියක් ඇතුළත වහාම ලබාදී ඇති සබැඳියාව (web link) හරහා ගොස් අදාළ ‘දඩ මුදල් ගෙවන ලෙසට’ පොලිස් රථවාහන කොට්ඨාසය මගින් යොමු කළ ආකාරය හැඟවෙන පරිදි ඔබගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් (Whatsapp) හෝ වෙනයම් අයුරකින්‍ ව්‍යාජ කෙටි පණිවුඩයක් ලැබිලා ඇති.”

“නමුත් එහෙම කෙටි පණිවුඩයක් රථවාහන කොට්ඨාසය මගින් ලබාදීලා නැහැ. මේවා සම්පූර්ණ ව්‍යාජ පණිවුඩ‍. මෙවැනි web link හරහා ගිහින් තමන්ගේ පුද්ගලික තොරතුරු, බැංකු තොරතුරු ලබාදෙන්න යන්න එපා. ඒ,  web link විවෘත කරන්න යන්නත් එපා. එවැනි ව්‍යාජ කෙටි පණිවුඩයක් ලැබුණොත් ළඟම තියෙන පොලිසියට දැනුම් දෙන්න. පොලිස් රථවාහන කොට්ඨාසය මගින් එවැනි කිසිම කෙටි පණිවුඩයක් ලබාදෙන්නේ නැහැ.”

උසස් පෙළ විභාගය – දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

උසස් පෙළ විභාගය – දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අ.පො.ස උසස් පෙළ 2026 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව අදාළ පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට ජූලි මස (28) වැනි දින දක්වා මාර්ගගතව සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

තවද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk හෝ onlineexams.gov.lk.eic සබැඳිය වෙත පිවිස මේ සඳහා මාර්ගගතව අයදුම්පත් යොමු කළ යුතු බවද සඳහන් කරයි.

මේ සම්බන්ධව කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම්, 0112784208 / 0112784537 / 0112785922 යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකි බවද සඳහන් කරයි.

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ට්‍රම්ප් අඩියක් පස්සට ගනී

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ට්‍රම්ප් අඩියක් පස්සට ගනී

ලොව බලශක්ති සැපයුම් සඳහා අතිශය වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව් වලට 20%ක ගාස්තුවක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා තීරණය කළේය.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව් වලට 20%ක ගාස්තුවක් පැනවීමට ගත් තීරණය වහාම අත්හැරීමට තීරණය කර ඇත.

එම යෝජනාව වෙනුවට ගල්ෆ් කලාපයේ මිත්‍ර රාජ්‍යයන් සමඟ ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් පුළුල් කරමින් ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

අගමැති හරිනි කටාර් බලා පිටත්ව යයි

අගමැති හරිනි කටාර් බලා පිටත්ව යයි

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානිට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව යයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් හිටපු එමීර්වරයාගේ අභාවය පිළිබඳ ශෝකය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය.

මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව යළි තහවුරු කිරීම මෙන්ම, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබිඹු කරයි.

බන්ධනාගාර භූමියේ හිස් උණ්ඩ 271ක්.. ගැටුමට හේතුව හෙළිවෙයි 

බන්ධනාගාර භූමියේ හිස් උණ්ඩ 271ක්.. ගැටුමට හේතුව හෙළිවෙයි 

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමට අදාළ විමර්ශන සම්බන්ධයෙන් වන නීතී කෘත්‍ය අද (14) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුකෙරුණි.

මීගමුව බන්ධනාගාර භූමිය තුළ තිබී හිස් උණ්ඩ 271ක් සිදුකළ විමර්ශන වලදී සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (14) අනාවරණ කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 01 විමර්ශන නිලධාරින් සඳහන් කළේ,

“ස්වාමිනි, මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වෙද්දි බන්ධනාගාර නිලධාරීන් 136 දෙනෙකුගෙන්, රැදවියන් 141 දෙනෙකුගෙන් සහ පොලිස් විශේෂ කාර්යබලකා නිලධාරීන් 09 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඊට අනුව සිදුවීම වන අවස්ථාවේ බන්ධනාගාරයේ සිට ඇති මුළු රැඳවියන් ගණන 2417ක්. බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 166 දෙනෙකුත් සිට තිබෙනවා. නොසන්සුන්තාවයට මුල්වූ පළමු සිදුවීම වෙලා තියෙන්නේ ජුලි (05) වනදා.

සාමාන්‍යයෙන් රැඳවියන්ට ශාරීරික ව්‍යායාම් කරන්න විනාඩි 30ක කාලයක් ලබාදෙනවා. මෙදින A(1) වාට්ටුවේ රඳවා සිටි කටුවැල්ලේගම සුරේෂ් නම් රැඳවියා තමන්ට ව්‍යායාම් සඳහා වැඩි කාලයක් ලබාදෙන්නැයි ඉල්ලා බන්ධනාගාර නිලධාරීයෙකුට පරුෂ වචනයෙන් බැන මරණ තර්ජන කර තිබෙනවා. පසුව එදින A(1) වාට්ටුවේ දොර විවෘත කළ අවස්ථාවක සුරේෂ් නැමැති මේ රැඳවියා වාට්ටුවෙන් පිටතට පැන 02 වාට්ටුවේ සිටි රැඳවියන් පිරිසකට පහරදී තිබෙනවා. මෙය තමයි නොසන්සුන්තාවයට මුල් වූ සිදුවීම.

මෙහිදී මුල් අවස්ථාවේ රැඳවියන් දෙදෙනෙකුත් පසු අවස්ථාවක තවත් අයෙකුත් ලෙස රැඳවියන් තිදෙනෙක් මියගොස් තිබෙනවා. 36 දෙනෙක් රෝහල්ගත කරලා. එය කලහකාරී ලෙස දිග්ගැස්සිලා බන්ධනාගාර ඖෂධ හලට හා පරිපාලන ගොඩනැගිල්ලට රැඳවියන් අලාභහානි සිදුකර තිබෙනවා. බන්ධනාගාරයේ පරිපාලන ගොඩනැගිල්ලත් රැඳවියන්ගේ භාරයට පත්වෙලා. 05 වෙනිදා සවසම බන්ධනාගාර නිලධාරීන් පොලිසියට දැනුම්දීලා ආරක්ෂාව ඉල්ලලා තියෙනවා.

මීගමුව මූලස්ථාන පොලිස් නිලධාරීන් පැමිණියත් තත්ත්වය මුලුමනින්ම පාලනය කරගැනීමට නොහැකි වූ නිසා බන්ධනාගාර මූලස්ථානයේ සිට හදිසි ප්‍රතිකාර උපක්‍රමික බලකායේ නිලධාරීන් 89 දෙනෙකු මීගමුව බන්ධනාගාරයට කැඳවා තිබෙනවා. (05) වෙනිදා රාත්‍රියේත් රැඳවියන් වහලය උඩට නැගලා සංවිධාන වෙමින් කලහකාරීව හැසිරුණු බවට සාක්ෂි ලැබී තිබෙනවා. පසුදින උදෑසන ආහාරය දීමට බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාරය තුළට ගිය අවස්ථාවේ යළි නොසන්සුන්තාවය ඇතිවී තිබෙනවා.

ඇතැම් රැඳවියන් සර්ලාට ගහන්න ඉන්නේ සර්ලා යන්න කියලා බන්ධනාගාර නිලධාරීන්ට පවසා තිබෙනවා. පෙරවරු 10.30ත් 10.50ත් අතර කාලයේ නොසන්සුන්තාවය ගැටුම්කාරී තත්ත්වයක් කරා වර්ධනය වෙලා. තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර හදිසි ප්‍රතිකාර උපක්‍රමික බලකායේ නිලධාරීන්ද බන්ධනාගාරය ඇතුළට ගිය ආවස්ථාවේදී රැඳවියන් සංවිධානාත්මකව ගල්මුල්, පොලුමුගුරු, ව්‍යායාම් උපකරණ යකඩ කොටස්වලින් අමානුෂික ලෙස පහරදී තිබෙනවා.

ගැටුම මැද මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් බන්ධනාගාරයෙන් පිටතට පැමිණියත් බන්ධනාගාරයේ පිහිටීම පිළිබඳ අවබෝධයක් නොමැති, කොළඹින් පැමිණි නිලධාරීන්ට පිටතට ඒමට හැකියාව ලැබී නැහැ. පළමු දිනයේ නොසන්සුන්තාවය ඇතිවූ අවස්ථාවේ බන්ධනාගාරයේ අවි ගබඩාවේ එක් පැත්තක අවි ඉවත්කරලා තියෙනවා. නමුත් අනික් කොටසේ අවි ගැටුම අතරතුර රැඳවියන් අතට පත්වෙලා. නොසන්සුන්තාවය අතරතුර බන්ධනාගාරයේ ඇතුළු පැත්තේ සිට නිලධාරීන්ට ගිනිඅවියක් එල්ල වී තිබෙනවා.

එම අවස්ථාවේදී තමයි පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කඳුළු ගෑස් එල්ල කර තිබෙන්නේ. එත් මෙල්ල නොවුන නිසා අහසට වෙඩි තබා තිබෙනවා. එයිනුත් මෙල්ල නොවුන අවස්ථාවේ තමයි නිලධාරීයෙක් බන්ධනාගාර දොරටුවේ කුහරයෙන් ඇතුළට වෙඩි තබන්නේ. ඉන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බන්ධනාගාරයට ඇතුල් වූ විට කොළඹින් ගිය නිලධාරීන් බිම වැටී සිටින අයුරු දැක තිබෙනවා.”

“ස්වාමිනි, සිදුකළ වැඩිදුර විමර්ශනයේදී T58 ගිනිඅවියක් සහ මැගසින් එකක් බන්ධනාගාර අභ්‍යන්තරයෙන් හමුවුණා. එසේම බන්ධනාගාර භූමිය තුළ තිබී හිස් උණ්ඩ 271ක් සොයාගෙන තිබෙනවා. විමර්ශනයට අදාළව මේ වෙද්දි මීගමුව බන්ධනාගාර නිලධාරීන් සතුව පැවති ගිනිඅවි 50ක් සහ වැලිකඩ බන්ධනාගාරයෙන් ගිය නිලධාරීන් සතු ගිනිඅවි 10ක් ලෙස මුළු ගිනිඅවි 60ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් බන්ධනාගාරයට වූ අලාභය පිළිබඳ වාර්තාවක් කැඳවියයුතුව තිබෙනවා. බන්ධනාගාරයේ තිබූ CCTV වලට අදාළ DVR දෘඩ තැටි 02ක් අපි නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒවා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක වෝහාරික විද්‍යාගාරයට යොමුකර වාර්තාව කැඳවිය යුතුයි. මේ විමර්ශනයට අදාළව අප නීතිපතිවරයාගේ සහාය ඉල්ලා තිබෙනවා.

දැනට දණ්ඩ නීති සංග්‍රහයේ 296 මිනිමැරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෙන්ම, තුවක්කු ආඥා පනත හා පොදු දේපළ පනත යටතේ වන වරද සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යනවා.විමර්ශන අවසානයේදී සැකකරුවන් නම් කිරීමට බලාපොරොත්තු වෙනවා.“

එම නොසන්සුන්තාව ඇතිවූ අවස්ථාවේ බන්ධනාගාරයේ සිටි රැඳවියන් 2,417 දෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

අමෙරිකා – ඉරාන යුද ගැටුම් අස්සේ උඩුගුවනින් ආ රුසියානු බලවතා කවුද.?

අමෙරිකා – ඉරාන යුද ගැටුම් අස්සේ උඩුගුවනින් ආ රුසියානු බලවතා කවුද.?

ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය ගැටුම්කාරී තත්ත්වය යළි උත්සන්නව පවතින අවස්ථාවක රුසියාව විසින් සිය අතිවිශේෂිත “ටියුපොලෙව් Tu-214PU” (Tupolev) ගුවන් යානයක් ඉරානයේ ටෙහෙරාන් නුවර වෙත යොමු කර ඇත.

මෙම විශේෂිත ගුවන් යානය (ලියාපදිංචි අංකය RA-64531) රුසියාවේ මොස්කව් නුවර සිට සෘජුවම ඉරානයේ ටෙහෙරාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි බව ගුවන් ගමන් දත්ත (Flightradar24) ඔස්සේ තහවුරු වී ඇත.

මෙය සාමාන්‍ය මගී ගුවන් යානයක් නොව, රුසියානු රාජ්‍ය නායකයින් සහ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් සඳහා සන්නිවේදන සහ මෙහෙයුම් පාලනය කිරීමට යොදා ගන්නා “පියාසර විධාන මධ්‍යස්ථානයකි” (Airborne Command Post)

මෙම යානය තුළ අති නවීන සන්නිවේදන පද්ධති, සංකේතනය කළ දත්ත හුවමාරු කිරීමේ පහසුකම් සහ න්‍යෂ්ටික යුද තත්ත්වයන් හමුවේ වුවද ක්‍රියාත්මක විය හැකි ආරක්ෂිත පද්ධති ස්ථාපිත කර ඇත.

මෙම යානය සෘජු ප්‍රහාරක යානයක් නොවන නමුත්, යුද පිටියකදී හෝ අර්බුදකාරී අවස්ථාවකදී ගොඩබිම පදනම් වූ සන්නිවේදන පද්ධති බිඳ වැටුණහොත්, අහසේ සිට හමුදා මෙහෙයුම් පාලනය කිරීමට අතිශය වැදගත් යානයකි.

ඉරානයේ හමුදා ඉලක්ක වෙත අමෙරිකාව යළි ප්‍රහාර එල්ල කිරීම සහ ඉරානය විසින් ඊට ප්‍රතිචාර දැක්වීමත් සමඟ දෙරට අතර පැවති සටන් විරාමය මේ වනවිට බිඳ වැටී ඇත.

එවැනි වාතාවරණයක් තුළ රුසියාව මෙම යානය ඉරානයේ ටෙහෙරානයට යැවීම ඉරානය කෙරෙහි රුසියාවේ පවතින උපායමාර්ගික සහයෝගය ප්‍රදර්ශනය කිරීමක් ලෙස විශ්ලේෂකයින් හඳුන්වයි.