Local news

ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි

ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි

අද (03) දින බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ඇඟලුම් කම්හලක හදිසි ගින්නක්.. සේවිකාවන් 22ක් රෝහලට

ඇඟලුම් කම්හලක හදිසි ගින්නක්.. සේවිකාවන් 22ක් රෝහලට

අද (03) පෙරවරුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඇති වූ හදිසි ගින්නකින් එහි සේවිකාවන් 22 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇත.

ගින්න හේතුවෙන් පිළිස්සුම් තුවාල ලැබූ සහ විෂ දුම ආඝ්‍රාණය වූ අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් පිරිසක් ඇඹිලිපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

ඇඹිලිපිටිය නෝනාගම සුදුපාලම අසල ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි කර්මාන්ත ශාලාවක ගබඩාවක් තුළ මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

හම්බන්තොට සහ ඇඹිලිපිටිය ගිනි නිවන ඒකක විසින් ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටියි.

ඉරානය වෙත ගමන්කළ තෙල් නැවකට අමෙරිකාවෙන් ප්‍රහාර

ඉරානය වෙත ගමන්කළ තෙල් නැවකට අමෙරිකාවෙන් ප්‍රහාර

අමෙරිකානු හමුදාව විසින් ඉරානය වෙත ගමන් කරමින් තිබූ තෙල් ප්‍රවාහනය කරන නෞකාවකට හෙල්ෆයර් (Hellfire) මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත.

ඉරානයට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කර ඇති නාවික අවහිර කිරීමේ මෙහෙයුමක කොටසක් ලෙස මෙම ප්‍රහාරය සිදුකර ඇති බව වාර්තා වේ.

බොට්ස්වානා ධජය යටතේ ධාවනය වූ M/T Lexie නෞකාවේ එන්ජින් කාමරය ඉලක්ක කරමින් එම මිසයිලය එල්ල කරන ආකාරය අමෙරිකානු මධ්‍යම විධානය නිකුත් කළ වීඩියෝ දර්ශනවල දැක්වෙයි.

එම නෞකාව ඉරානය වෙත ළඟාවීම වැළැක්වීම සඳහා අමෙරිකානු ගුවන් යානයක් හෙල්ෆයර් මිසයිලයක් භාවිත කර එහි එන්ජින් කාමරය අක්‍රීය කළ බව සඳහන් කරයි.

ආර්ථික බලවතුන් සමග එක්වීමට ශ්‍රී ලංකාව සූදානම්

ආර්ථික බලවතුන් සමග එක්වීමට ශ්‍රී ලංකාව සූදානම්

ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වන RCEP (Regional Comprehensive Economic Partnership) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා වන රාජ්‍යතාන්ත්‍රික පියවර සාර්ථකව තබා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.

සිය ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත නිල සංචාරය අවසන් කරමින් කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සිට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මේ බව සඳහන් කරයි.

මෙම සංචාරය අතරතුර සුවිශේෂී ප්‍රගතියක් අත්කර ගනිමින්, RCEP සංවිධානයේ ප්‍රධාන සාමාජිකයන් දෙපළක් වන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය, ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට එකඟතාව පළ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

​ගෝලීය ජනගහනය මෙන්ම ආර්ථික නිපැයුම් අතින් ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම ලෙස සැලකෙන RCEP ආසියානු පැසිපික් කලාපයේ ආර්ථික සහයෝගීතාවය ඉහළ නැංවීම සඳහා රටවල් 15ක සහභාගීත්වයෙන් පිහිටුවා ඇත. 

බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මලයාසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය යන ආසියාන් (ASEAN) කලාපීය සාමාජික රටවල් 10 සහ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, චීනය සහ දකුණු කොරියාව යන සෙසු ප්‍රධාන ආර්ථික බලවතුන් ද ඇතුළත් වේ. 

ඩොලර් මිලියන 695ක IMF මුදල මෙරටට ලැබේ

ඩොලර් මිලියන 695ක IMF මුදල මෙරටට ලැබේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ හය සහ හත් වැනි වාරික වලට අදාළ ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලැබී ඇත.

එම මුදල මෙරට විදේශ සංචිත වලට බැර කර ඇති බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සඳහන් කරයි.

බොරතෙල් මිල ඉහළ⁣ට

බොරතෙල් මිල ඉහළ⁣ට

අද (03) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94.92 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 1.24%ක වර්ධනයකි. 

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.04ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 1.08%ක වර්ධනයකි.

මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.09 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 1.76%ක වර්ධනයකි.

පාකිස්ථානු සබ්මැරීනයක් කොළඹ වරායට

පාකිස්ථානු සබ්මැරීනයක් කොළඹ වරායට

දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS Taimur’, ‘PNS Aslat’නෞකාවන් දෙක සහ ‘PNS/MHangor’සබ්මැරීනය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකෙරිණි.

මෙලෙස කොළඹ වරායට පැමිණි ‘PNS Taimur’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කපිතාන් Niamat Saeed Khanද, ‘PNS Aslat නෞකාවේ අණදෙන නිලධාරී Nadir Mateen Afridiද, ‘PNS/MHangor’සබ්මැරීනයේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් Uzair Farooqද කටයුතු කරනු ලබයි.

එම නෞකාවන්ගේ සහ සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක නිරත වීමටද නියමිතය.

කපිල වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් දෙදෙනාට අධිකරණයෙන් නියෝග

කපිල වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් දෙදෙනාට අධිකරණයෙන් නියෝග

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්නට සහ නීතිඥ උදාර මුහන්දිරම්ට ලබන (05) වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.

කපිල චන්ද්‍රසේනට එරෙහි නඩුවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේ සාක්ෂි විමසීම සඳහා ඔවුන් අධිකරණයට කැඳවන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස සිතාසි නිකුත් කළේය.

සාක්ෂි විමසීම සඳහා නීතිඥවරුන් උසාවියට කැඳවීමට හැකියාව ඇති බවත් නීතිඥවරුන් සාක්ෂි දීමේදී සිය සේවාදායකයින්ට දුන් අවවාද මෙන්ම සේවාදායකයින් විසින් අනාවරණය කරන ලද කරුණුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ අයිතිය ඔවුන්ට ඇති බවත් කපිල චන්ද්‍රසේනට ඇප තැබීමේදී උද්ගත වී ඇති ප්‍රශ්නගත කරුණු සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා නීතීඥවරුන් අධිකරණයට කැඳවන බවද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

කොළඹ සුසාන භූමියෙන් මතුවූ ගිනිඅවි

කොළඹ සුසාන භූමියෙන් මතුවූ ගිනිඅවි

කොළඹ පොදු සුසාන භූමියක සඟවා තිබූ ආයුධ කිහිපයක් සොයාගැනීමට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වී ඇත.

ඒ අනුව මෙරටදී නිෂ්පාදනය කළ මිනි ඌෂි වර්ගයේ ස්වංයක්‍රීය ගිනිඅවියක් සහ විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක්, මැගසිනයක් හා උණ්ඩ 3ක් කොළඹ පොදු සුසාන භූමියක සඟවා තිබියදී සොයාගෙන ඇත.

ඩුබායිහී සිට මෙරටට පිටුවහල් කළ මහවත්තේ චාමර නම් අපරාධකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු අනුව මෙම ආයුධ සොයාගෙන ඇත.

පසුගියදා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ මහවත්තේ චාමර නැමැති අපරාධකරු මේ වනවිට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා සිටියි.

ඉන්ධන මිල හමුවේ බස් ගාස්තු ගැන තීරණයක්

ඉන්ධන මිල හමුවේ බස් ගාස්තු ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය කරනු ලබන්නේ ක්‍රියාත්මක බස් ගාස්තු සංශෝධන සමීකරණය අනුව බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.

ඒ අනුව ඉන්ධන මිල ගණන් ඉහළ ගියද මේ අවස්ථාවේ බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.

ඉන්ධන මිල වෙනස්වීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නම් එම වෙනස 4%කට වැඩි මට්ටමක තිබිය යුතු බවද නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ,

“තෙල් මිල වැඩිවීමත් එක්ක බස් ගාස්තු වැඩිවීමක් වෙන්නේ නැහැ. බස් ගාස්තු වැඩි වෙන්නේ සමීකරණයට අනුවයි. ඒ අනුව 4%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉන්ධන මිල වෙනස් වුණොත් විතරයි බස් ගාස්තු සංශෝධනය කරන්නේ. මෙවර ඉන්ධන මිල වැඩිවීම එම සීමාව ඉක්මවා නැති නිසා බස් ගාස්තු වැඩි කිරීමක් සිදු වෙන්නේ නැහැ.”