Local news

සම්පත් මනම්පේරිගේ විමර්ශනයකට ජොන්ස්ටන් කැඳවයි

සම්පත් මනම්පේරිගේ විමර්ශනයකට ජොන්ස්ටන් කැඳවයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ ඇත.

සම්පත් මනම්පේරී නමැති පුද්ගලයාට කුලී පදනම මත වාහනයක් ලබාදීමේ සිදුවීමකට අදාළව සිදුවන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට එලෙස පැමිණ ඇත.

නීතිවිරෝධී ලෙස මෙම වාහන ගනුදෙනුව සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

බැසිල් දිගින් දිගටම අධිකරණය මග හරිනවා.. තරාතිරම අදාළ නෑ.. කුදලාගෙන එනවා

බැසිල් දිගින් දිගටම අධිකරණය මග හරිනවා.. තරාතිරම අදාළ නෑ.. කුදලාගෙන එනවා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂට එරෙහිව මාතර සහ කොටුව අධිකරණ මගින් වරෙන්තු නිකුත් කර ඇතත්, ඔහු දිගින් දිගටම අධිකරණය පැහැර හරිමින් සහ මග හරිමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

හිටපු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ රටෙන් පැන ගොස් සැගවී සිටින්නේ තමන් කළ අපරාධ හෙළිවේ යැයි පවතින බිය සහ නීතියට ඇති බිය නිසා බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

ශිෂ්ටසම්පන්න පුරවැසියන් ලෙස කළ යුත්තේ අධිකරණයට ඉදිරිපත් වී තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීම මිස, මහජන දේපළ කොල්ලකා නීතිය මගහැර සිටීම නොවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම වරෙන්තු නිකුත් කර ඇති බවත් ඉදිරි නඩු දිනයේදී ඔහු අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

බැසිල්ට දැන් පැවරී ඇත්තේ අධිකරණය හමුවට පැමිණ තමාට එරෙහි වරෙන්තුව ඉවත් කරවා ගැනීම බවත් එසේ නොමැති නම් නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් ලෙස පොලිසිය විසින් ගත යුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

දේශපාලනඥයෙක්ද.? නැද්ද යන්න හෝ පුද්ගලයාගේ තරාතිරම කුමක්ද.? යන්න ශ්‍රී ලංකා පොලිසියට අදාළ නොවන බවත් වරෙන්තු ලැබූ ඕනෑම අයෙකුට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙරට නඩු විභාග සඳහා අවශ්‍ය පුද්ගලයන් සොයා ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා ‘බ්ලූ නෝටිස්’ නිකුත් කරන බවත් අපරාධ නීතිය යටතේ ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කිරීමට අවශ්‍ය සියලු නීතිමය පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය අත්හිටුවයි

ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය අත්හිටුවයි

ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති ප්‍රකාරව තමන් වෙත පැවරී ඇති බලතල අනුව අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇති අතර ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය (අංකය 2489/48) ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ඇති ජාතික ක්‍රීඩා සංගම් වන්නේ,

ශ්‍රී ලංකා අත්පන්දු සංගමය (Handball)

ශ්‍රී ලංකා කැරම් සංගමය (Carrom)

ශ්‍රී ලංකා හොකී සංගමය (Hockey)

මෙම ක්‍රීඩා සංගම්වල පාලනය, පරිපාලනය හා වෙනත් යම් අත්‍යවශ්‍ය කටයුතු යථායෝගී අයුරින් ඉටු කිරීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා “නිසි බලධාරියා” ලෙස පත් කර ඇත.

එම සංගම්වල පාලනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පවරා ඇති අතර මෙම පත් කිරීම 2026 මැයි මස (19) වැනි දින සිට ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

මෙම පියවර ගැනීමට බලපෑ ප්‍රධාන හේතුන් ලෙස පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරගැනීම, නව නිලධාරීන් පත්කර ගැනීම සඳහා වූ නිලවරණ ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සම්පූර්ණ කරගැනීම යන කරුණු දක්වා ඇත. 

ජාතික ක්‍රීඩා සංගම් හි සංශෝධිත ව්‍යවස්ථාව යටතේ වාර්ෂික මහ සභා රැස්වීම් පවත්වා, නිලවරණයකින් නව නිලධාරීන් තෝරා පත්කර ගන්නා තෙක් එම සංගම්වල සියලුම කාර්යයන් කරගෙන යාම සහ කළමනාකරණය කිරීමේ පූර්ණ බලය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පවරා ඇත.

ප්‍රදේශ රැසකට අද සවස තද වැසි

ප්‍රදේශ රැසකට අද සවස තද වැසි

අද (02) දින සවස ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවත් ඌව පළාතේත් අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මීගොඩ අනතුර සිදුකළ රියදුරුට මිනීමැරුම් චෝදනා.?

මීගොඩ අනතුර සිදුකළ රියදුරුට මිනීමැරුම් චෝදනා.?

මීගොඩ ප්‍රදේශයේදී දන්සැලකට කැබ් රථයක් කඩා වැදීමෙන් (31) දින මධ්‍යම රාත්‍රියේ සිදුවූ බිහිසුණු අනතුරෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට එරෙහිව යාංගල්මෝදර අනතුරේදී මෙන් නීතිපතිවරයාට මිනීමැරුම් චෝදනාව යටතේ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ හැකි බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා සඳහන් කරයි.

කෙසේ වෙතත් එසේ කටයුතු කළ හැක්කේ මූලික පොලිස් විමර්ශන සහ මහේස්ත්‍රාත් අධිකරණයේ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව බවද මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා සඳහන් කරයි.

එම අනතුර දැක දැක නොසැලකිලිමත් ලෙස වාහනය එහා මෙහා ගැනීමෙන් මෙම මරණ චේතනාවිතව කර ඇති බවක් පෙනී යන බවත් යාංගල්මෝදරට වඩා මෙය දරුණු තත්වයක් වන්නේ ඒ නිසා බවද මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා සඳහන් කරයි.

පසුගිය 2005 වසරේදී යාංගල්මෝදර අනතුර සිදුවූ බවත් දීර්ඝ නඩු විභාගයකින් පසු 2013 වසරේදී කුරුණෑගල මහාධිකරණය එහි රියදුරුට සහ කොන්දොස්තරවරයාට මරණීය දණ්ඩනය නියම කළ බවද මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා සඳහන් කරයි.

මෙම බිහිසුණු අනතුරින් 15 හැවිරිදි දැරියක්, කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් තුන්දෙනෙකු මියගිය පිරිස අතර වන බවත් තුවාල ලැබූ තවත් 7 දෙනෙකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.

එම කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ බීමත්ව සිටි බවත් එම සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් බවද පොලීසිය සඳහන් කරයි.

ඉබෝලා වෛරසය සහ මෙනින්ජයිටීස් රෝගය සඳහා ලංකාව සූදානම්.?

ඉබෝලා වෛරසය සහ මෙනින්ජයිටීස් රෝගය සඳහා ලංකාව සූදානම්.?

මේ දිනවල ලොව පුරා පැතිර යන ඉබෝලා වෛරසය සහ මෙරට පැතිර යන මෙනින්ජයිටීස් රෝගය සම්බන්ධව සෞඛ්‍ය අංශ අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මෙරට පැතිර යන මෙනින්ජයිටිස් රෝගය පාලනය සඳහා සෞඛ්‍ය අංශ කටයුතු කරමින් පවතින බවත් ඒ සඳහා ජනතා සහයෝගය බලාපෙරොත්තු වන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඉබෝලා රෝගය සම්බන්ධව වසංගත රෝග විද්‍යා ඒකකය විශේෂ අවධානය යොමු කර ඇති බවත් ඒ සම්බන්ධව අවශ්‍ය කෙරෙන උපදෙස් සෞඛ්‍ය අංශ වෙත ලබාදී ඇති බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්විමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“අප්‍රිකානු රටවල් කිහිපයක තමයි මේක ඉස්සෙල්ලාම ආරම්භ වුණේ.  ඊට පස්සේ WHO එක මේක හදිසි තත්ත්වයක් ලෙස වාර්තා කළා. එතැන් සිටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය මේ සම්බන්ධව නිරන්තරව අවධානය යොමු කරමින් අවශ්‍ය කරන උපදෙස් අපේ සෞඛ්‍ය පද්ධතියට ලබා දීලා තිබෙනවා.

ඒ අනුව කටයුතු කරමින් පවතිනවා. අනිත් එක පසුගිය දවස්වල වාර්තා වුණු මෙනින්ජයිටිස් කියන රෝගය සම්බන්ධයෙනුත් ඒක වාර්තා වුණු පළවෙනි දවසේ සිටම ඒ ගැන අවධානය යොමු කර එය වළක්වා ගැනීම සඳහා වන පියවර ගත්තා.”

ඥානසාර හිමිට එරෙහි වසර 12ක් පැරණි චෝදනාවක්

ඥානසාර හිමිට එරෙහි වසර 12ක් පැරණි චෝදනාවක්

ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඊයේ (01) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල ඉදිරියේ කැඳවිය.

ඒ අනුව බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාග කරන දිනය නියම කිරීම සඳහා එළඹෙන ජූනි මස (26) වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (01) නියම කළේය.

පසුගිය 2014 වසරේ විල්පත්තුව ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකින් ඉස්ලාම් දහමට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

එහිදී මෙම නඩුවට අදාළ වීඩියෝ සාක්ෂි මෙහෙයවීමට තමන් අපේක්ෂා කරන බවත් ඊට අදාළ වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ තිබෙන බවත් එම සංයුක්ත තැටි කොළඹ මහාධිකරණයට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.

“මීට වසර 14කට පමණ පෙර” සිදුවූ සිද්ධියක් පදනම් කරගෙන මෙම නඩුව ගොනු කර තිබෙන බවත් එය “කෙටියෙන් අවසන් කර ගැනීමට” සිය සේවාදායකයා අපේක්ෂා කරන බවත් ඒ පිළිබඳ නීතිපතිවරයා සමග සාකච්ඡා කිරීමට තමන් කටයුතු කරන බව විත්තිකාර ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කරයි.

අනතුරුව විනිසුරුවරයා සඳහන් කළේ, මෙම චෝදනාවලට වරද පිළිගෙන නඩුව අවසන් කිරීමට විත්තිකරුට හැකියාව තිබෙන බවත් එම කටයුතු වලට තම අධිකරණය මැදිහත් නොවන බවයි.

විනිසුරුවරයා මෙම නඩුව විභාග කරන දිනය නියම කිරීම සඳහා ජූනි මස (26) වනදා කැඳවන ලෙස නියම කළේය.

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ දැනුම්දීමක්

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ දැනුම්දීමක්

2026 වර්ෂයට බලපත්‍ර අලුත් කිරීමට සමගාමීව, ජීවිත ආරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ගේ ගිනිඅවි සඳහා සහතිකයක් නිකුත් කිරීම සම්බන්ධව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

බලපත්‍රය ලබාගෙන අඩ වර්ෂයක් ගතවූ විට ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ගිනිඅවිය ඉදිරිපත් කර ගිනිඅවියේ ක්‍රියාකාරීත්වය සහ එහි අංකය බලපත්‍රයෙහි අංකය සමඟ සැසඳෙන බවට සහතිකයක් ලබාගත යුතු බව ආරක්ෂක කවුන්සිලයෙන් සියළුම ජීවිතරාක්ෂක ගිනිඅවි අලුත්කර ගත් බලපත්‍රලාභීන් වෙත උපදෙස් ලබාදී ඇත.

ඉදිරියට සෑම අඩ වර්ෂයකම ජීවිතාරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ගේ ගිනිඅවි සහ බලපත්‍ර ඉහත සඳහන් පරිදි පරීක්ෂා කර එම සහතිකය නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් වෙත දන්වා ඇත.

ලංකාවේ මෙනින්ජයිටීස් බවට සැක රෝගීන් 237ක්

ලංකාවේ මෙනින්ජයිටීස් බවට සැක රෝගීන් 237ක්

මෙනින්ජයිටීස් සැක සහිත රෝගීන් 237 දෙනෙකු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මෙම රෝගී තත්ත්වය මුලින්ම පසුගිය අප්‍රේල් (15) වැනිදා මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර, පසුව රිකිල්ලගස්කඩ, මහනුවර, බදුල්ල, වැලිමඩ සහ දියතලාව යන ප්‍රදේශවලින්ද රෝගීන් වාර්තා වූ බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා සඳහන් කළාය.

වාර්තා වී ඇති රෝගීන් අතර බහුතරය පාසල් දරුවන් වන අතර ඊයේ (31) පස්වරුව වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේ රෝගීන් 59 දෙනෙකු පමණක් බවත් අනෙක් සියලු දෙනා සුවය ලබා නිවෙස් බලා ගොස් ඇති බවද විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා සඳහන් කළාය.

මේ වනවිට වැඩි වශයෙන් වාර්තා වන්නේ වෛරස් ආසාදන හේතුවෙන් ඇතිවන මෙනින්ජයිටීස් රෝගීන් බවත් උණ, හිසරදය සහ වමනය මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ අතර වන අතර මෙනින්ජයිටීස් රෝගය බොහෝවිට දින කිහිපයක් ඇතුළත සුව වන බවද විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා සඳහන් කළාය.

රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පිරිසිදු පානීය ජලය භාවිත කිරීම සහ හැකි සෑම විටම උණුකර නිවාගත් ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.

අමෙරිකාව සමග සාකච්ඡා නෑ.. ඉරානයෙන් තීරණයක්

අමෙරිකාව සමග සාකච්ඡා නෑ.. ඉරානයෙන් තීරණයක්

අමෙරිකාව සමඟ පවත්වමින් සිටි සාකච්ඡා තාවකාලිකව නතර කිරීමට ඉරානය තීරණය කර ඇත.

ඊශ්‍රායලය විසින් ලෙබනනය ඉලක්ක කර සිදුකරන ක්‍රියාවන් නිසා එරට සටන් විරාමය උල්ලංඝනය වී ඇති බව ඉරානය සඳහන් කරයි.

මෙයට විරෝධය දැක්වීමක් ලෙස, අමෙරිකාව සමඟ පවත්වමින් සිටි සාකච්ඡා තාවකාලිකව නතර කිරීමට ඉරානය තීරණය කර ඇත.