Local news

සහෝදරත්වයෙන් පෙරට යාමට සියලු දෙනාට ආරාධනා කරමි

සහෝදරත්වයෙන් පෙරට යාමට සියලු දෙනාට ආරාධනා කරමි

ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන ඊදුල් අල්හා හජ් උත්සවය අදට යෙදී තිබේ.

ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ගේ භක්තිය සහ අසමසම පරිත්‍යාගය සංකේතවත් කරන හජ් සැමරුම සුවිශේෂ වන්නේ ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැලකෙන මක්කම වන්දනාව හේතුවෙනි.

වියවුලෙන් වියවුලට පත් ලොවක අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් තුළ පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳ පුළුල් ආදර්ශයද හජ් උත්සවයෙන් සැපයේ. ජාතිය සහ පුද්ගල තරාතිරම් නොතකා ලොව නන් දෙසින් පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් එක්ව ආගමික වතාවත් ඉටු කරන මෙම අවස්ථාව සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ මහඟු ආදර්ශය ලෝකයට ගෙන යන බව මම විශ්වාස කරමි.

එමෙන්ම, මැද පෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෝකයම මුහුණදී සිටින අසීරුතාව හමුවේ පවා මක්කම වන්දනාවේ යන ඉස්ලාම් බැතිමතුන් එක්ව සමරන්නේ ඊබ්‍රාහිම් නබිතුමාණන් සිය දිවිය තුළ සිදු කළ අසීමිත පරිත්‍යාගය සහ කැපකිරීමයි.

අප රජයේ අරමුණ වන්නේද ආත්මාර්ථකාමීත්වය වෙනුවට පරාර්ථකාමීත්වය රජයන සාමයෙන්, සමගියෙන් පිරි සහකම්පනයෙන් යුත් ජන සමාජයක් ගොඩනැගීමයි. එම ගමනේදී සාමය, සහෝදරත්වය සහ පරිත්‍යාගය සංකේතවත් කරන හජ් සැමරුමේ මගපෙන්වීම් තව තවත් අප ජීවිතවලට සමීප කර ගනිමු’යි මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

ආධ්‍යාත්මික වටිනාකම්වලින් ශ්‍රී ලාංකික සමාජය තව තවත් පෝෂණය කොට සැමට ප්‍රතිලාභ හිමි වන සංවර්ධිත රටක් ගොඩනැගීමට සහෝදරත්වයෙන් පෙරට යාමට සියලු දෙනාට ආරාධනා කරමින් මෙරට සහ ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවට උතුම් ඊදුල් – අල්හා සැමරුමක් වේවා’යි ප්‍රාර්ථනා කරමි.

පස්වන සහ හයවන සමාලෝචන සඳහා අනුමැතිය

පස්වන සහ හයවන සමාලෝචන සඳහා අනුමැතිය

ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකමේ පස් වන සහ හය වන සමාලෝචනය සම්පූර්ණ කරමින් ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය ඊයේ (27) රැස් වු අවස්ථාවේදී මෙම අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වන අතර ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් හිමිවිමට නියමිතව ඇත.

විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ 2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන 3ක මුල්‍ය පහසුකමක් අනුමත කරනු ලැබීය.

එහි පස් වන සහ හය වන සමාලෝචනය අනුමත කිරීම සඳහා IMF විධායක මණ්ඩලය ඊයේ රැස් වු අතර එම රැස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සඳහන් කළේ, අභියෝගාත්මක තත්ත්වය මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාව විස්තීරණ අරමුදල් පහසුකමේ විධිවිධාන ශක්තිමත්ව ක්‍රියාත්මක කර ඇති බවයි.

දිට්වා සුළි කුණාටුවට සහ මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවදානමක් පවතින බවද සඳහන් කර ඇති අතර 2026 වර්ෂයේ ආර්ථික වර්ධනය සියයට 3ක මට්ටම දක්වා මන්දගාමී වනු ඇති බවට පුරෝකථනය කර ඇති අතර ඉන්ධන මිල ඉහළ යාම, සංචාරක ලැබීම් අඩුවීම ඒ සඳහා හේතු වී ඇති බව IMF පෙන්වා දෙයි.

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ බලය මාරුවෙයි

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ බලය මාරුවෙයි

වාරණ නියෝගයක් මත අත්හිටුවා තිබූ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම අද (27) දින පවත්වා ඇත.

එහිදී පොදු විපක්ෂයේ සහායෙන් වැඩි ඡන්ද 2ක් ලබා සභාපති ධුරය හිමි කරගැනීමට සමගි ජන බලවේගයේ වින්සන් ප්‍රැන්සිස් සමත්විය.

ජාතික ජන බලවේගයේ නියෝජිතයාට හිමිවූයේ ඡන්ද 8ක් පමණක් වන අතර උපසභාපතිවරයා තේරීමේ ඡන්දයෙන් වැඩි ඡන්ද 11ක් ලබා පොදු විපක්ෂයෙන් ඉදිරිපත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තුසිත ලක්මාල් එම ධූරයට තේරි පත්විය.

මුජිබර්ගේ පැටිකිරිය හෙළිවෙයි.. මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග සබඳතා

මුජිබර්ගේ පැටිකිරිය හෙළිවෙයි.. මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග සබඳතා

සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ බෝගම්බර බන්ධනාගාරයේ (පල්ලෙකැලේ) බන්ධනාගාරගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරුවෙකු අතර දුරකථන ඇමතුම් 53 ක් හුවමාරු වී ඇති බව විමර්ශකයින් අනාවරණ කරගෙන ඇත.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මන්ත්‍රී මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.

බන්ධනාගාරගත රැඳවියා සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ජංගම දුරකථනයක් සොයා ගැනීමෙන් පසුව ඒ පිළිබඳව සිදුවෙමින් පවතින පරීක්ෂණයකදී මෙම දුරකථන සංවාදය පිළිබඳව  හෙළිදරව් වී ඇත.

ජංගම දුරකථන උපාංගය සවිස්තරාත්මකව පරීක්ෂා කිරීමේදී ඇමතුම් වාර්තා හඳුනාගෙන ඇති බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අතර කාලයක සිට මෙම සමීප සබදතාවය පවත්වාගෙන ගොස් ඇති බවද අනාවරණය වී ඇත.

හිටපු පොලිස්පති වික්‍රමරත්න හොර උසස්වීම් ලබාදී අයිතිවාසිකම් උල්ලංඝණය කරලා

හිටපු පොලිස්පති වික්‍රමරත්න හොර උසස්වීම් ලබාදී අයිතිවාසිකම් උල්ලංඝණය කරලා

හිටපු වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පිරිසකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට අද (27) දින ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් විශාල පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ සම්පත් කේ.බී. විජයරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ එකඟතාවයෙන් යුතුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

2020 ජනවාරි මාසයේදී එවකට පැවති ගෝඨාභය රාජපක්ෂ රජය බලයට පත් වූ වහාම ක්‍රියාත්මක කළ නීතිවිරෝධී උසස්වීම් මාලාවක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට ප්‍රධානතම හේතුව විය.

එවක වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ජාතික පොලිස් කොමිෂන් සභාව එක්ව 2020 ජනවාරි (27) වැනිදා අංක 1059 දරන පොලිස් විශේෂ පණිවිඩය නිකුත් කරමින්, නිලධාරීන් තිදෙනෙකුගේ උසස්වීම් වසර ගණනාවක් ආපස්සට (පෙරදාතම කර) ලබා දීමට පියවර ගෙන තිබුණේය.

එවකට ත්‍රස්තවාදය වැළැක්වීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ (දැනට විශ්‍රාමික) ප්‍රසන්න අල්විස්, කොළඹ දකුණ කොට්ඨාසය භාර පොලිස් අධිකාරී  අනුරුද්ධ බණ්ඩාරනායක, එවකට කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර පොලිස් අධිකාරී මනෝජ් රණගල එලෙස නීතිවිරෝධී ලෙස උසස්වීම් ලබා දුන් තිදෙනා වේ.

ඔවුන් තිදෙනාගේ 2013 වසරේ ලැබූ සහකාර පොලිස් අධිකාරී තනතුර 2008 වසර දක්වා ද, පොලිස් අධිකාරී තනතුර 2014 දක්වා ද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුර 2018 දක්වා ද ආපස්සට බලපැවැත්වෙන පරිදි පෙරදාතම කර, ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ ඉහළින්ම ස්ථානගත කිරීමට වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර තිබුණේය.

කෙසේ වෙතත් එම නඩු තීන්දුවේ කිසිදු තැනක මෙම නිලධාරීන්ට ආපස්සට බලපැවැත්වෙන පරිදි උසස්වීම් දෙන ලෙස නියෝග කර නොමැති බවට වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණය එම පැරණි නඩු වාර්තා කැඳවා පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත.

එමඟින් පැහැදිලි වූයේ හිටපු පොලිස්පතිවරයා සහ පොලිස් කොමිසම දේශපාලන උවමනාවන් මත අසත්‍ය කරුණු දක්වමින් මෙම නීතිවිරෝධී උසස්වීම් ලබා දී ඇති බවයි.

මෙම හොර උසස්වීම් මාලාවේ ප්‍රධානතම දේශපාලන අවශ්‍යතාව වී තිබුණේ ප්‍රසන්න අල්විස් නමැති නිලධාරියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට පත් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමයි.

අනතුරුව කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ජාතික පොලිස් කොමිසම විසින් ගනු ලැබූ එම නීතිවිරෝධී නියෝග සහ පෙරදාතම කිරීම් සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට නියෝග කළේය.

කිසිදු සාධාරණ හේතුවක් හෝ සඳහන් නොකර මෙලෙස ආපස්සට උසස්වීම් දීමෙන් අනෙකුත් නිලධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවත් එමඟින් පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවද තීන්දු වී ඇත.

දින කිහිපයකට සුරාසැල් වසා දමයි

දින කිහිපයකට සුරාසැල් වසා දමයි

2026 රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් අලෙවිසැල්, මස් මාංශ අලෙවිසැල්, සතුන් ඝාතනය කරන ස්ථාන මෙන්ම සූදු සහ රාත්‍රී විනෝදාස්වාද ශාලා විශේෂ දින කිහිපයක් පුරා වසා තැබීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව මැයි මස (30) වැනිදා සහ (31) වැනිදා යන දෙදින තුළ දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබීමට කටයුතු සූදානම් කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් ප්‍රේමරත්න බණ්ඩාර සඳහන් කරයි.

මේ අතර මැයි මස (30), (31) සහ ජූනි මස (01) යන තෙදින පුරා දිවයිනේ සියලුම මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන සහ මස් මාංශ අලෙවිසැල් සම්පූර්ණයෙන්ම වසා තැබිය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමරවීර අත්අඩංගුවට ගන්නැයි නියෝග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමරවීර අත්අඩංගුවට ගන්නැයි නියෝග

ජාතික නිදහස් පෙරමුණේ කටයුතු සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන ලබාගෙන අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා නඩුවට අදාළව, ඇප මත මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

මෙම නඩුව අද (27) දින විවෘත අධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර හිටපු මන්ත්‍රී ජයන්ත සමරවීර උසාවියේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නියෝගය නිකුත් කළේය.

මෙම වාහන අවභාවිත කිරීමේ සිද්ධියට සම්බන්ධව දැනට ඇප මත පසුවන ජාතික නිදහස් පෙරමුණේ හිටපු මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් සහ සේනාරත්න ද සිල්වා ඇතුළු සෙසු සැකකරුවන් පස්දෙනා අද දින අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙම සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ ඉදිරි පියවර ගැනීම සඳහා මේ වන විටත් කරුණු නීතිපති උපදෙස් වෙත යොමු කර ඇති බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය.

වැලිකඩ පොලීසියේ OIC අත්අඩංගුවට

වැලිකඩ පොලීසියේ OIC අත්අඩංගුවට

වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

චීන ජාතිකයන් 19 දෙනෙකුට අයත් විදේශ ගමන් බලපත්‍ර නීතිවිරෝධී ලෙස සකස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාර ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

අද (27) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යෑමක් පෙන්නුම් කර ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 97.33ක් ලෙස සටහන්ව ඇත.

WTI වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 97.33ක් ලෙස සටහන්ව ඇත.

මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 95.05ක් ලෙස සටහන්ව ඇත.

බොරතෙල් මිල ගණන් අඛණ්ඩව පහළ යමින් ප්‍රධාන බොරතෙල් වර්ග කිහිපයක්ම අමෙරිකානු ඩොලර් 100ට වඩා අඩු අගයකට පැමිණ ඇත.

හේමසිරිට සහ පූජිත්ට එරෙහි පාස්කු නඩුවට නියෝග

හේමසිරිට සහ පූජිත්ට එරෙහි පාස්කු නඩුවට නියෝග

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනු කර තිබෙන නඩු අද (27) ප්‍රියන්ත ලියනගේ, විරාජ් විරසූරිය සහ තිලකරත්න බණ්ඩාරගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

නඩු කැඳවු අවස්ථාවේදී විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අනතුරුව මෙම නඩුවලට අදාළ දේශන ඉදිරිපත් කිරීම සඳහා ජුනි මස (12) වනදා කැඳවන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියම කළේය.