Local news

ලක්ෂ 500ක දේපළ රාජසන්තකයි.. 103කට රතු නිවේදන.!

ලක්ෂ 500ක දේපළ රාජසන්තකයි.. 103කට රතු නිවේදන.!

විදෙස්ගතව සිටින අපරාධකරුවන් 103 දෙනෙකු මෙරටට රැගෙන ඒමට ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මේ වසර තුළදී එලෙස රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් තිදෙනෙකු දිවයිනට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යු. වුට්ලර් සඳහන් කරයි.

මේ වසරේ ගතවූ කාලය එලෙස අපරාධ සිදුකර විදේශයන්හී සැඟවී සිටින පුද්ගලයින්ගේ ලක්ෂ 500ක දේපළ රාජසන්තක කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට රැගෙන එයි.!

කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට රැගෙන එයි.!

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙලෙස අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත පිරිස අතර ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළු 10 දෙනෙක් ඇතුලත් වෙයි.

මෙම කණ්ඩායම පසුගිය දෙවැනිදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී අද (09) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේයැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලට අනුව මෙම නීති කෘත්‍ය ක්‍රියාත්මක වේ.

සෞඛ්‍ය ඇමති විමල්ගෙන් සහ ස්වර්ණවාහිනියෙන් රුපියල් බිලියන බැගින් ඉල්ලයි.!

සෞඛ්‍ය ඇමති විමල්ගෙන් සහ ස්වර්ණවාහිනියෙන් රුපියල් බිලියන බැගින් ඉල්ලයි.!

පසුගිය 2026 පෙබරවාරි 06 වනදා හෝ ඊට ආසන්න දිනයකදී හිටපු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකළ අදාළ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සහ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයට එරෙහිව රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යොමු කර තිබේ.

අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වනුයේ අමාත්‍යවරයාට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සහ එය ප්‍රචාරය කිරීම යන චෝදනා මත මෙම පියවර ගෙන ඇති බවයි.

මෙරටදී අසාධු ලේඛනගත ඖෂධ සමාගම් හිමිකරුවෙකුට අයත් ණය කාඩ්පතක් භාවිතා කරමින් අමාත්‍යවරයා ඉන්දියාවේදී රුපියල් මිලියනයක පමණ භාණ්ඩ මිලදී ගෙන ඇති බවට මහජනතාවට ඒත්තු යන ආකාරයෙන් සහ හැඟවෙන පරිදි හිටපු මන්ත්‍රීවරයා විසින් ප්‍රසිද්ධියේ කරුණු දක්වා ඇති බව එම නිවේදනයේ සඳහන්.

මෙම ප්‍රකාශය පදනම් කරගනිමින් ස්වර්ණවාහිනී නාලිකාව විසින් 2026 පෙබරවාරි 07 වනදා රාත්‍රී 6.50 ප්‍රවෘත්ති විකාශය ඔස්සේ “Story of the Day” යනුවෙන් විශේෂාංගයක් ලෙස හැඳින්වීමක් ද සහිතව එම පුවත ප්‍රචාරය කර තිබේ.

අදාළ ප්‍රවෘත්තිය විකාශය කිරීමට පෙර එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව අමාත්‍යවරයාගෙන් කිසිදු විමසීමක් සිදු නොකළ බවත්, කරුණු දැක්වීමට අමාත්‍යවරයාට එම වැඩසටහන තුළ අවස්ථාවක් ලබා නොදුන් බවත් යොමු කළ එන්තරවාසියේ සඳහන් කර ඇත.

මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බවත්, එය හුදෙක් අමාත්‍යවරයාගේ කීර්ති නාමයට සහ මහජන විශ්වාසයට හානි කිරීමේ ද්වේශසහගත අරමුණින් සිදු කර ඇති බවත් නීතිඥවරයා මගින් යැවූ ලිපියේ අවධාරණය කර තිබේ.

එබැවින් සිදු වූ හානිය වෙනුවෙන් විමල් වීරවංශ මහතාගෙන් මෙන්ම ස්වර්ණවාහිනී නාලිකාවට හිමිකාරීත්වය දරන Ben Holdings (PVT) Ltd සහ EAP Broadcasting Company Limited යන ආයතනවලින් රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා ඇති අතර, එසේ නොමැති නම් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් දැනුම් දී ඇත.

පළමු ජය වාර්තා කළ සිංහ පෝතකයින්.!

පළමු ජය වාර්තා කළ සිංහ පෝතකයින්.!

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවති පළමු තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 163ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමේ සියලුදෙනා දැවී රැස්කරගැනීමට හැකි වුයේ ලකුණු 143ක් පමණි.

දයාසිරිට ජනතා විරෝධයක්.. ජනතාව හූ කියා එළවයි.!

දයාසිරිට ජනතා විරෝධයක්.. ජනතාව හූ කියා එළවයි.!

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට කුරුණෑගල, කොබෙයිගනේ පැවති ජන හමුවකදී ජනතා විරෝධයක් එල්ල වී ඇත.

මන්ත්‍රී දයාසිරි ජයසේකරට ජනතා විරෝධයක් එල්ල වන ආකාරයේ දර්ශන සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වෙමින් පවතියි.

එහිදී රැස්ව සිටි ජනතාව මන්ත්‍රී දයාසිරි ජයසේකරට විරෝධයක් එල්ල කරමින් සඳහන් කළේ,

“රට කාපු ඇවිල්ලා ඉන්නේ. එන්නකෝ. රට කාපු මහත්තයෙක් ඇවිල්ලා ඉන්නවා. පොඩ්ඩක් එනකන් ඉන්නේ. ලැජ්ජා තියෙනවද දන්නේ නැහැ ඇවිල්ලා ඉන්නේ.

මුන්ට ලැජ්ජ නම් නැහැ. පොඩ්ඩක් එනවද දන්නේ නැහැ මහත්තයා වොයිස් කට් එකක් දෙන්න. කාලකන්නි ගහලා එලවන්න ඕනේ. අර අරහෙත් හූ කියලා එලෙව්වා.

ජනාධිපති අරමුදලෙන් ඉල්ලලා කාලනේ තියෙන්නේ. ලැජ්ජා නහර කපලනේ තියෙන්නේ. කන්න පුළුවන් හැම තැනින්ම කාලා ඇවිල්ලා ඉන්නවා. මිනිහට හැම තැනින්ම හූ කියනවා. තාම ඉතින් යනවා.

හොරා කෑම පුරුදුවෙලා ඉතින්, නැවතත් ඉතින් හොරා කෑමට තමයි අරමුණ තියෙන්නේ. වෙන අරමුණක් නැහැ. ඕකා දයාසිරි නෙමෙයි රිලාසිරිනේ. රිලාසිරි ඇවිල්ලා ඉන්නවා.

මල ගෙදරකටත් යන්න බැහැ හූ කියනවා. පඩුවස්නුවරට දයාසිරි. ජනතාවට අම්මට සිරි. හූ.. හූ.. හූ..”

වැඩ තහනමට ලක්වූ චමින්ද කුලරත්නට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට තීරණය කරයි.!

වැඩ තහනමට ලක්වූ චමින්ද කුලරත්නට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට තීරණය කරයි.!

වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ල විභාග කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇත.

මේ අතර කථානායකවරයාට එරෙහිව නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ගොනු කර තිබූ පැමිණිල්ල විභාග කිරීම සඳහා එම කොමිෂන් සභාව තීරණය කර ඇත.

බස් රථ හිමියන්ට බිමල් අනතුරු අඟවයි.. ලයිසන් කැන්සල්.!

බස් රථ හිමියන්ට බිමල් අනතුරු අඟවයි.. ලයිසන් කැන්සල්.!

බස් රථයේ හිමිකරුවා නොදැන මත්ද්‍රව්‍ය භාවිතා කරන බස් රථ රියදුරු හෝ කොන්දොස්තරවරයෙකු ඉන්න පුළුවන් කියා විශ්වාස කරන්නේ නැති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

එනිසා මත්ද්‍රව්‍ය භාවිතා කරන බස් රථ රියදුරෙකු හෝ කොන්දොස්තරවරයෙකු හඳුනා ගැනීමට හැකි වුවහොත් එම බස් රථයේ හිමිකරුගේ මාර්ග බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,

“බස් හිමියා දන්නවා තමන්ගේ බස් රථ රියදුරා හෝ  කොන්දොස්තරවරයා මත්ද්‍රව්‍ය භාවිතා කරනවාද නැද්ද කියලා. ඒනිසා බස් හිමියන්ට කියනවා, කිසිසේත්ම ඊට ඉඩ දෙන්න එපා. එසේ නොවුණොත් මාර්ග බලපත්‍රය නැතිවෙන්න පුළුවන්. 

අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නෑ බස් රථයේ හිමිකරුවා නොදැන මත්ද්‍රව්‍ය භාවිතා කරන බස් රථ රියදුරු හෝ කොන්දොස්තරවරයෙකු ඉන්න පුළුවන් කියලා. ඒනිසා ඔබේ බලපත්‍රය අහිමි කරගන්නවා වෙනුවට වගකීමෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි නොවුණ යොදව ගන්න ඔබේ ව්‍යාපාරයට. නැත්නම් ඔබට ව්‍යාපාරය අහිමි වෙයි.”

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කරයි.

අමිතිරිගල මැදගොඩ මෝටර් රථ යතුරුපැදි අනතුරකින් 3ක් ජීවිතක්ෂයට.!

අමිතිරිගල මැදගොඩ මෝටර් රථ යතුරුපැදි අනතුරකින් 3ක් ජීවිතක්ෂයට.!

රුවන්වැල්ල පොලිසිය පවසන්නේ අද (8) පස්වරු 5.00ට පමණ තල්දූව, අමිතිරිගල මැදගොඩ ප්‍රදේශයේ දී මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම අනතුරෙන් පසු මෝටර් රථය ප්‍රපාතයකට පෙරළී ඇති අතර, යතුරුපැදිය ද ගිනිගැනීමකට ලක්ව තිබූ බවට වාර්තා වෙයි.

තුවාලකරුවන් තිදෙනෙක් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර කාර් රථයේ දෙදෙනකු සහ යතුරුපැදියේ සිටි අයකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.

මෙරට ළමා අපයෝජන සම්බන්ධයෙන් භයානක අනාවරණයක්.!

මෙරට ළමා අපයෝජන සම්බන්ධයෙන් භයානක අනාවරණයක්.!

ජාතික ළමාආරක්ෂක අධිකාරිය පවසන්නේ ළමා අපයෝජන සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි මහාධිකරණවල නඩු 4,289ක් මේ වන විට පවරා ඇති බවයි.

ළමයින්ට අදාළව කරනු ලබන අසභ්‍ය පල කිරීම්, කුට්ටනයට ලක් කිරීම්, ලිංගික සංසර්ගය සඳහා ළමයින් කුළියට ගැනීම හෝ සේවයේ යෙදවීම, කෘෘරත්වයට භාජනය කිරීම, ස්ත්‍රී දූෂණය බරපතළ ලිංගික අපයෝජනය යන වැරදි සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මහාධිකරණවල අදාළ අධි චෝදනා ගොනුකර ඇති බව වාර්තා වේ.

එම අධිකාරිය පවසන්නේ 1998 අංක 28 දරණ අපරාධ නඩු විධිවිධාන සංශෝධන දන්ඩ නීති සංග්‍රහයට අනුව මෙම නඩු පැවරීම සිදුකර ඇති බවයි.

ඒ අතරින් නඩු 1,683ක් ජනවාරි මාසයේ කැඳවා තිබූ බව ද ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ ‘දිට්වා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම’ යටතේ ඩොලර් මිලියන 22ක් ලැබී අවසන්.!

එක්සත් ජාතීන්ගේ ‘දිට්වා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම’ යටතේ ඩොලර් මිලියන 22ක් ලැබී අවසන්.!

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම (HPP)” සඳහා මේ දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 22.4 ක් ආධාර ලැබී ඇති බවයි.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට 2026 අප්‍රේල් දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සහාය වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 35.3 ක මුදලක් අපේක්ෂා කරන මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කළේය.

මේ සඳහා, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, ජපානය, නවසීලන්තය, අමෙරිකාව, එංගලන්තය මෙන්ම යුරෝපීය සංගමය ඇතුළු විවිධ ආයතන සහ රටවලින් අරමුදල් ලැබුණි.

ඒ අනුව දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මේ වන විට ආපදාවට ලක් වූ  පුද්ගලයින් 216,000 කට අධික පිරිසකට ප්‍රතිචාර දක්වා ඇති බව කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නවතම දත්ත අනුව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම යටතේ අධ්‍යාපනය, ආහාර, පෝෂණය, ආරක්ෂාව, සෞඛ්‍ය, නවාතැන් සහ කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබේ.

පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ දරුණුතම ගංවතුර හා නායයෑම් හානිය දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ අතර එය රටේ දිස්ත්‍රික්ක 25 පුරාම මිලියන 2.2 ක් පමණ ජනතාවට බලපෑවේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, 2025 දෙසැම්බර් 29 වන දින වන විට සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 646 දෙනෙකු මියගොස් 173 දෙනෙකු අතුරුදහන් වී ඇත.

සුළි කුණාටුවෙන් ආපදාවට පත් වූ ප්‍රදේශ සඳහා අවශ්‍ය සහන කටයුතු රජය විසින් මෙහෙයවනු ලබන අතර, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානුෂීය හවුල්කරුවන්, ජාත්‍යන්තර සහ ජාතික සිවිල් සමාජ සංවිධාන සහ පෞද්ගලික අංශයේ මෙන්ම ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ආධාරවල සහාය හිමි වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය බලපෑමට ලක් වූ ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම  අමාත්‍යාංශ, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය බලධාරීන් විසින් සිදුකරනු ලබයි.