Local news

අමෙරිකාවට එරෙහි බිහිසුණු යුද්ධයකට ඉරානයෙන් මිලියනයක හමුදාවක්

අමෙරිකාවට එරෙහි බිහිසුණු යුද්ධයකට ඉරානයෙන් මිලියනයක හමුදාවක්

අමෙරිකාවෙන් එල්ල විය හැකි ගොඩබිම් ආක්‍රමණයක් සඳහා සූදානම් වීමට ඉරානය මේ වනවිට හමුදා භටයින් සහ සිවිල් වැසියන් මිලියනයක පමණ පිරිසක් රැස් කරමින් ඇතැයි තොරතුරු වාර්තා වේ.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය යටතේ ක්‍රියාත්මක බසීජ් පැරා මිලිටරි කණ්ඩායමේ මධ්‍යස්ථාන වෙත ඉරානයේ සිවිල් වැසියන් ස්වෙච්ඡාවෙන් පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු හමුදා රැදී සිටින ගල්ෆ් කලාපයේ හෝටල් ද සිය ඉලක්ක ලෙස සලකා පහරදෙන බව ඉරාන හමුදාව ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෝමූස් වසා දැමුවොත් ශ්‍රී ලංකාව දෙවැනි තැනට

හෝමූස් වසා දැමුවොත් ශ්‍රී ලංකාව දෙවැනි තැනට

ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමෙන් ආහාර මිල ගණන් ඉහළ ගොස් වඩාත් බලපෑමට ලක්විය හැකි බවත් එම රටවල් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි පර්යේෂණ වාර්තාවකින් අනාවරණ වී ඇත.

ආහාර, ඖෂධවල සිට ස්මාර්ට්ෆෝන් දක්වාම භාණ්ඩ රැසක මිල ගණන් මෙලෙස ඉහළ යා හැකි බව ජර්මනියේ කියෙල් ආර්ථික පර්යේෂණ ආයතනය සිදුකළ මෙම පර්යේෂණයෙන් හෙළි වී ඇත.

ඒ අනුව ආහාර මිල ඉහළ යාමෙන් වඩාත් බලපෑමට ලක්විය හැකි රටවල් අතර දෙවැනි තැන ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර එය ප්‍රතිශතාත්මක වශයෙන් 15%ක වර්ධනයක් බව සඳහන් වේ.

එම දරුණු බලපෑමට ලක්වන රටවල් අතර පළමු තැන සැම්බියාව (31%) වන අතර ශ්‍රී ලංකාව (15%), තායිවානය (12%), පකිස්තානය (11%) සහ ඉන්දියාව (10%) ඇතුළු රටවල් ද ඊට අයත් වේ.

ඉන්ධන ගෑස් ඇතුළු බලශක්ති සහ පොහොර ආනයනය කරන සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම ආහාර මිල බලපෑමට දැඩිව ලක්වන බව එහි සඳහන් වේ.

අප්‍රේල් 01 වනදා සිට විශේෂ ආරක්ෂාවක්

අප්‍රේල් 01 වනදා සිට විශේෂ ආරක්ෂාවක්

එළඹෙන අප්‍රේල් මස (01) වනදා සිට අලුත් අවුරුදු උත්සව සමයට සමඟාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් ආරම්භ කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

අවුරුදු සමයේ ජනතාවගේ ගමනාගමනය වැඩි වීම සැලකිල්ලට ගනිමින් විශේෂයෙන් රථ වාහන නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් වැඩි වශයෙන් යොදවනු ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල දුම්රිය ස්ථාන සහ ප්‍රධාන බස් නැවතුම්පොළ ආශ්‍රිතව රථ වාහන පාලන සැලසුම් සහ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ,

“අලුත් අවුරුද්ද සඳහා විශේෂයෙන්ම රථ වාහන නිලධාරීන් යොදනවා. ආරක්ෂාව සඳහා නිලධාරීන් යොදවනවා. ඒ සමගාවීම වෙනත් වර්ෂවලට සමගාමිව. අපි කොළඹ ප්‍රදේශයේ දුම්රිය ස්ථාන ආශ්‍රිතව ප්‍රධාන බස් නැවතුම්පොළ ආශ්‍රිතව ඒ රථ වාහන සැලැස්මවල් සහ ආරක්ෂිත සැලැස්මවල් ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන නගර ආශ්‍රිතව ක්‍රියාත්මක කරනවා. ඒ ආකාරයට විශේෂයෙන් ගම්බිම්බලා යන ජනතාව වෙන්න පුළුවන් සහ නගරයට භාණ්ඩ ලබාගන්න එන අය වෙන්න පුළුවන්.”

ඩොලර් නෝට්ටු ඉතිහාසයේ වසර 165ක සම්ප්‍රදාය ට්‍රම්ප් නිමා කරයි

ඩොලර් නෝට්ටු ඉතිහාසයේ වසර 165ක සම්ප්‍රදාය ට්‍රම්ප් නිමා කරයි

අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් නෝට්ටු ඉතිහාසයේ වසර 165ක් පුරා පැවතගෙන ආ සම්ප්‍රදායක් නිමා කරමින්, එරට වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්සන නව ඩොලර් නෝට්ටු සඳහා ඇතුළත් කිරීමට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මේ වනවිට බලයේ සිටින අමෙරිකානු ජනාධිපතිවරයෙකුගේ අත්සන එරට මුදල් නෝට්ටුවක සටහන් වන ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

1861 වසරේ සිට ඇමරිකානු ඩොලර් නෝට්ටුවල අත්සන් තැබීම සිදු කරනු ලැබුවේ භාණ්ඩාගාර ලේකම්වරයා (Treasury Secretary) සහ භාණ්ඩාගාරිකවරයා (Treasurer) විසින් පමණි.

කෙසේ වෙතත් නව තීරණයට අනුව භාණ්ඩාගාරිකවරයාගේ අත්සන ඉවත් කර ඒ වෙනුවට ජනාධිපතිවරයාගේ අත්සන යොදා නෝට්ටු මුද්‍රණය කෙරෙනු ඇත.

අමෙරිකානු එක්සත් ජනපදයේ 250වන නිදහස් සංවත්සරය (Semiquincentennial) 2026 වසරේ ජූලි මාසයට යෙදී ඇති අතර එම සුවිශේෂී සැමරුම නිමිත්තෙන් මෙම ඓතිහාසික වෙනස සිදුකරන බව අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ අනුව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට්ගේ (Scott Bessent) අත්සන් සහිත ප්‍රථම ඩොලර් 100 නෝට්ටු කාණ්ඩය එළඹෙන ජූනි මාසයේදී මුද්‍රණය කිරීමට නියමිතව ඇත.

උත්සව සමයේ කුකුළු මස් මිල ඉහළට.?

උත්සව සමයේ කුකුළු මස් මිල ඉහළට.?

පවතින ඉන්ධන අර්බුදයත් සමඟ එළඹෙන අලුත් අවුරුදු උත්සව සමයේ කුකුළු මස් මිල ගණන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශයක් කර ඇත.

ඒ අනුව උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් තොග වෙළෙඳපොළට යොමු කිරීම සඳහා පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.

ඉන්ධන අර්බුධයත් සමඟ කුකුළු මස් මිල ඉහළ යාමේ අවදානමක් පැවතියද එය රුපියල් 1,250ක මිල යටතේ පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බව එහි සභාපති අජිත් ගුණසේකර සඳහන් කරයි.

එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ,

“අප්‍රෙල් මාසේ වෙද්දී සියලුම ගොවිපොළවල් උපරිම ධාරිතාවයෙන් නිෂ්පාදන කටයුතු සිදු කරනවා. හිඟයකින් තොරව මස් හා බිත්තර ලබා දෙන්න තමා අපේ උත්සාහය තිබ්බේ. නමුත් රටේ උද්ගත වෙලා තියෙන තත්ත්වය නිසා පවතින ඉන්ධන හිඟය නිසා ප්‍රවාහන වි‍යදම් අධික වෙලා තියෙනවා.

ඒකේ පිරිවැය අපිට දරන්න වෙනවා. එතකොට කුකුල් මස් වලට අධික ඉල්ලුමක් ආවොත් ඒ ප්‍රමාණය දෙන්න පුලුවන්ද කියන එක මත මිල උච්චාවචනය වෙනවා. වෙළෙඳපොල තමා මිල තීරණය කරන්නේ අපි නෙමෙයි. අපි බලාපොරොත්තු වෙනවා හිඟයකින් තොරව සැපයුම ලබා දෙන්න.”

යේමනය පළමු වතාවට ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර එල්ල කරයි

යේමනය පළමු වතාවට ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර එල්ල කරයි

ප්‍රථම වතාවට යේමනයේ සිට ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඊශ්‍රායල හමුදාව තහවුරු කරයි.

පසුගිය දිනයන්හිදී ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය දිගින් දිගටම ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යේමනයේ හූති කැරලිකරුවන් මෙතෙක් මෙම යුද්ධයට සෘජුව සම්බන්ධ නොවී ඇත්තේ සෞදි අරාබිය සමඟ පවතින සටන් විරාමය හේතුවෙන් බව සඳහන් කරයි.

ඊශ්‍රායලයේ ප්‍රධාන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශය සහ බීර් ෂෙබා නගරය අවට තෙවරක්ම ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර ඇත.

අමෙරිකානු ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර

අමෙරිකානු ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර

සෞදි අරාබියේ අල් කර්ජ්හි පිහිටි අමෙරිකානු කඳවුරක් වන ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ගුවන් ප්‍රහාරයෙන් අමෙරිකානු සෙබළුන් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව අමෙරිකානු හමුදා උසස් නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත තහවුරු කර ඇත.

ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වූ පෙබරවාරි (28) සිට මේ දක්වා කාලය තුළ ඉරාන ප්‍රහාරවලින් අමෙරිකානු සෙබළුන් 300කට වැඩි පිරිසක් තුවාල ලබා, 13 දෙනෙකුට දිවි අහිමි වී ඇත.

රටේම ජනතාවට විශේෂ දැනුම්දීමක්

රටේම ජනතාවට විශේෂ දැනුම්දීමක්

තැපැල් දෙපාර්තමේන්තුව විසින් මහජනතාව⁣ වෙත නිවේදනයක් නිකුත් කර ඇත.

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කරමින් සිදු කරන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජංගම දුරකථන SMS මගින් පාර්සලයක් ලබාගැනීම සඳහා මුදලක් ගෙවිය යුතු බව දන්වා එම මුදල මාර්ගත ක්‍රමය ඔස්සේ ගෙවන ලෙසට පාරිභෝගිකයින්⁣ට දන්වා එම වංචාව සිදු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම ක්‍රියාවලිය යටතේ, පාරිභෝගිකයන් විසින් Payment Gateway හරහා තම කාඩ් පතෙහි තොරතුරු ඇතුළත් කරන අවස්ථාවේදී ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් වංචනික ලෙස අත්පත් කරගැනීමට කටයුතු කරන බව තැපැල්පති ආර්.පී සත්කුමාර සඳහන් කරයි.

එනිසා නොහඳුනන සබැඳි වෙත ප්‍රවේශ නොවන ලෙසත් තම බැංකු කාඩ්පත් තොරතුරු හෝ OTP අංක කිසිදු අවස්ථාවක තෙවන පාර්ශ්ව පුද්ලයන්ට හෝ වෙබ් අඩවි වලට ලබා නොදෙන ලෙසද තැපැල්පති ජනතාවට දැනුම් දෙයි.

දුරකථන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන නැවක් ලංකාවට

දුරකථන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන නැවක් ලංකාවට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගියදා සිදුවූ රාජ්‍ය තාන්ත්‍රික දුරකථන සාකච්ඡාවකින් පසුව ලංකා IOC සමාගම වෙත ඉන්ධන නැවක් එවීමට ඉන්දීය තෙල් සමාගම (IOC) තීරණය කර ඇත.

ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳා ගැනීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සිදුවූ අතර ඒ අනුව ඉන්දීය තෙල් සමාගමෙන් ලංකා IOC සමාගමට මෙම ඉන්ධන තොග ලැබීමට නියමිතය.

දැනටමත් ඉන්දීය තෙල් සමාගමට අයත් එක් නැවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ඇති අතර මෙට්‍රික් ටොන් 38,000ක ධාරිතාවයක් යුත් මෙම නැවේ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් ඇතුළත්ය.

රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස, ලංකා IOC සමාගම විසින් කලින් අවලංගු කර තිබූ ඇණවුමක් ද නැවත සක්‍රීය කර ඇත.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලොක්කා අත්අඩංගුවට

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලොක්කා අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.