Local news

සුරේෂ් සලේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සුරේෂ් සලේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, රොහාන් සිල්වා පියතුමා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පාර්ලිමේන්තු කටයුතු ගැන දැනුම්දීමක්

පාර්ලිමේන්තු කටයුතු ගැන දැනුම්දීමක්

පාර්ලිමේන්තුව හෙට (07), (09) සහ (10) යන දිනවල රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළාය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය (19) දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

අප්‍රේල් (07) වැනිදා පෙ.ව. 11.30 සිට ප.ව 4.45 දක්වා ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝග සහ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති විවාදයට ගැනීමට නියමිතය. 

තවද 2026.03.17 දින පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ද්විත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් නොවුණහොත් මෙදින දෙවනවර කියවීමට තීරණය වී ඇත.

අප්‍රේල් (09) වැනිදා පෙ.ව 11.30 සිට ප.ව 2.00 දක්වා (357 අධිකාරය වූ) යුද්ධ හමුදා පනත යටතේ නියෝග, (358 අධිකාරය වූ) නාවික හමුදා පනත යටතේ නියෝග සහ (359 අධිකාරය වූ) ගුවන් හමුදා පනත යටතේ නියෝග විවාදයට ගැනේ. 

තවද මහජන ආරක්ෂක ආඥා පනත යටතේ සහ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ගරු ජනාධිපතුමා විසින් ප්‍රකාශන පළ කරනු ලැබුවහොත් ඊට අදාළ වූ යෝජනා සම්මත ද්විත්වය මෙදින විවාදයට ගැනීමට තීරණය වී ඇත.

අප්‍රේල් (10) වැනිදා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට තීරණය කර ඇත.

ඉරානෙට ගැහුවොත් අමෙරිකාවට අයිති බලශක්ති ස්ථාන සමතලා කරනවා

ඉරානෙට ගැහුවොත් අමෙරිකාවට අයිති බලශක්ති ස්ථාන සමතලා කරනවා

අමෙරිකාව තම රටට ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊට පෙරළා පහරදීමට ඉරාන හමුදාව පසුබට නොවන බව එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශක එස්මයිල් බගායි සඳහන් කරයි.

ඉරානයේ බලශක්ති සහ පාලම් ආදියට පහර දුන්නොත් අමෙරිකාවට අයිති හෝ ඒ අයට සම්බන්ධ බලශක්ති ස්ථාන වෙත දැඩි ප්‍රහාර එල්ල කරන බවද ප්‍රකාශක එස්මයිල් බගායි සඳහන් කරයි.

මෙම ප්‍රහාර ඉරානය ආසාවෙන් කරන දෙයක් නොවන බවත් අමෙරිකාව සිදු කරන නීතිවිරෝධී වැඩවලට ඉරානයේ ආරක්ෂාව වෙනුවෙන් දෙන උත්තරයක් විතරක් බවද ප්‍රකාශක එස්මයිල් බගායි සඳහන් කරයි.

අලුත් අවුරුද්දට QR

අලුත් අවුරුද්දට QR

සමාජයේ පවතින ඇතැම් සංකීර්ණ ගැටලු විසඳාගැනීමට නම් ඩිජිටල් ගනුදෙනු සඳහා රටක් ලෙස අප ප්‍රවිෂ්ට විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

අලුත් අවුරුද්දට කරන ගනුදෙනු QR හරහා සිදුකරන්න පුළුවන් නම් එය ඉතාමත් හොඳ හැරවුම් ලක්ෂයක් බවට පත්වන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

“ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“QR කිව්වොත් ඔළුවට එන්නේ කුමක් ද.? ඉන්ධන සීමා කිරීම සඳහා තිබෙන මෙවලමක්. QR යටතේ පොහොර දෙන්න යනවා කිව්වා. එතකොට මතයක් හැදුවා පොහොරත් කපන්න තමා යන්නේ කියලා. QR අන්තිමට සීමා කිරීමකට ලඝු වෙලා.

ගනුදෙනු වලටත් ආවොත් මේ කරන්න යන්නේ සීමා කිරීමක්ද, මේ කරන්න හදන්නේ කියලා හිතන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව විශේෂ අධ්‍යාපන වැඩසටහනකුත් අවශ්‍යයි. අපි විශ්වාස කරනවා.

මේ ආරම්භ කරන ලද පියවර අපේ රටේ QR කේතයන් හරහා සිදුවන සියලුම ගනුදෙනු ඉතාම වේගයෙන් ප්‍රචලිත කළ හැකියි. බැංකු සහ මූල්‍ය ආයතනවලට මේ පිළිබඳ විශාල වගකීමක් තියෙනවා. ගොඩක් මුල්‍ය සමාගම් දැන් අලුත් අවුරුද්දට ප්‍රචාරක දැන්වීම් හදනවා.

මම හිතනවා අපිට පුළුවන් නම් මේක නිමිත්තක් බවට පත්කරගෙන අලුත් අවුරුද්දට කරන ගනුදෙනු QR කේතයන් හරහා සිදුකරන ගනුදෙනු බවට පත්කරගන්න පුළුවන් නම් එය ඉතාමත් හොඳ හැරවුම් ලක්ෂයක් බවට පත්වේවි. එතකොට මිනිස්සු වැලඳගන්නවා. අපේ සමාජය අලුත් දේ වැලඳ ගන්න ලෑස්තියි.”

කුණාටුව මැදින් නැව යාත්‍රා කරන දක්ෂ නාවිකයා අනුර

කුණාටුව මැදින් නැව යාත්‍රා කරන දක්ෂ නාවිකයා අනුර

කුණාටුව මැදින් නැව යාත්‍රා කරන නාවිකයා වැඩකාරයෙක් බවත් එම අවස්ථාව දැන් ජනාධිපතිතුමාට ඇවිල්ලා තියෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි.

ලෝකයේ පවතින යුදමය තත්වයත් සමඟ ලංකාවට ඇති වී තිබෙන තත්ත්වය හොඳින් කළමනාකරණය කරගතහොත් එළඹෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට හැකියාවක් පවතින බවද රන්ජන් රාමනායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක යනු කුණු ලෝභයෙක් බවත් එම ලෝභකම රටට සුභදායී බවත් එනිසා මුදල් නාස්තියක් නොමැති බවද රන්ජන් රාමනායක සඳහන් කරයි.

රන්ජන් රාමනායක තවදුරටත් සඳහන් කළේ,

“කුණාටුව මැදින් නැව යාත්‍රා කරන නාවිකයා තමයි වැඩකාරයෙක් වෙන්නේ. ඒ අවස්ථාව දැන් ජනාධිපතිතුමාට ඇවිල්ලා තියනවා. ඔහුට කොරෝනා අවේ නැති වුණාට, සුනාමි ආවේ නැති වුණාට, ගංවතුර ආවා දැන් යුද්දේ ඇවිල්ලා තියනවා.

මැදපෙරදිග, ඒක කළමනාකරණය කර ගත්තොත් ඔහුට හොඳ නමක් තියාගෙන හොඳ ජනාධිපතිවරයෙක් වෙන්න පුළුවන්, අනිත් පාරත් දිනනන් පුළුවන්. ඒක තියෙන්නේ එතුමාගේ අතේ සහ මේ ආණ්ඩුව අතේ. කීපදෙනෙක් හානවා වගේ පේනවා පොඩි පොඩි හෑම් තියනවා.

එහෙම නැති එකක් ඇමරිකාවෙත් නෑ. ලෝකේ හැමතැනම උද්ඝෝෂණ ගෝ හෝම් කියන සටන් පාඨ තියනවා. ඒක නවතින්නේ නෑ අපේ ඩියුටිය එන එන කෙනාට ගෝ හෝම් කියන එක නෙවෙයි. එන කෙනාගෙන් වැඩක් ගන්න එක.

මම දන්න විදියට එයා හරි ලෝභයි. අනුර කුමාර දිසානායක කියන්නේ කුණු ලෝභයෙක්, ඒ ලෝභකම රටට හොඳයි නාස්තිය නෑ. ඉස්සර හිටිය ජනාධිපතිවරු ලෝභ නෑනේ. අපේ සල්ලි පිස්සෝ වගේ වියදම් කළා. රට විකිණුවා.

මෙයා කුණු ලෝභයෙක්. අපේ ගෙදර තාත්තා කුණු ලෝභයෙක් වුණාම ගෙයි ඉඩමත් ඉතුරුයි, ගේත් ඉතුරුයි, සේප්පුවේ සල්ලිත් ඉතුරුයි, වී බිස්සේ වීත් තියනවා. අනුර කුමාර දිසානායක මහත්තයාගේ ලෝභකම නිසා සල්ලි ගොඩක් ඉතුරු වෙලා තියනවා.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රන්ජන් රාමනායක මේ බව සඳහන් කරයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස් – කොත්තු මිල තවත් ඉහළ⁣ට

අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස් – කොත්තු මිල තවත් ඉහළ⁣ට

අද (06) දින මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල ගණන් රුපියල් 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ගෑස් මිල විශාල ප්‍රමාණයකින් ඉහළ යෑම හේතුවෙන් මෙලෙස කෑම මිල ගණන් ඉහළ නංවා ඇති බව එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් සඳහන් කරයි.

පොල්තෙල් මිල අඩුවීම හේතුවෙන් කෙටි කෑම මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බවද එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් සඳහන් කරයි.

යළි කිසිම දිනෙක අමෙරිකාවට සහ ඊශ්‍රායලයට විවෘත වන්නේ නෑ

යළි කිසිම දිනෙක අමෙරිකාවට සහ ඊශ්‍රායලයට විවෘත වන්නේ නෑ

යළි කිසිම දිනෙක අමෙරිකාවට සහ ඊශ්‍රායලයට හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

හෝමූස් හරහා යාත්‍රා කෙරෙන නෞකා වලින් ප්‍රවාහන ගාස්තු අය කිරීම සඳහා නව නීති කෙටුම්පත් කිරීමට පසුගියදා ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව ඇත.

අදාළ කෙටුම්පතට අනුව ඉරානයේ රියාල් මුදල් ඒකකයෙන් අදාළ ගාස්තු ගෙවිය යුතු බවත් ඉරානයට සම්බාධක පනවා ඇති රටවල නාවික ගමනගාමනය සීමා කෙරෙන බවත් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට හෝමූස් හරහා ගමනාගමනය තහනම් කරන බවද සඳහන් වේ.

හෝමූස් සමුද්‍ර සන්ධියේ අනෙක් සීමාවේ පිහිටි ඕමානය සමග සම්බන්ධීකරණය වී, එය පාලනය කිරීමට ඉරානය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

සුව ඇමතිගේ ප්‍රකාශය හමුවේ වෛද්‍යවරුන් අඩියක් පස්සට ගනී

සුව ඇමතිගේ ප්‍රකාශය හමුවේ වෛද්‍යවරුන් අඩියක් පස්සට ගනී

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද (06) පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

ලබන (09) වන බ්‍රහස්පතින්දා අමාත්‍යවරයා සමඟ සිය ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීම පදනම් කරගනිමින් සිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කරයි.

ඊශ්‍රායලය විසින් පලස්තීන දරුවන් 350කට වැඩි පිරිසක් සිරගත කරයි

ඊශ්‍රායලය විසින් පලස්තීන දරුවන් 350කට වැඩි පිරිසක් සිරගත කරයි

ඊශ්‍රායලය විසින් පලස්තීන දරුවන් 350කට වැඩි පිරිසක් සිරගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රචණ්ඩකාරී අත්අඩංගුවට ගැනීම්, හුදකලා කිරීම සහ චෝදනාවකින් තොරව රඳවා තබා ගැනීම ඇතුළු උල්ලංඝනයන්ට ළමයින් මුහුණ දෙන බව පලස්තීන අයිතිවාසිකම් කණ්ඩායම් සඳහන් කරයි.

ළමුන් අත්අඩංගුවට ගැනීම වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන බවත් එය සංවිධානාත්මක මර්දන මෙවලම් හරහා මුළු පරම්පරාවක්ම යටත් කර ගැනීමේ පැහැදිලි අභිප්‍රාය පිළිබිඹු කරන බවද සඳහන් කරයි.

මේ අතර ගාසා තීරයේ ළමුන් දුසිම් ගනනක් යුද්ධය අතරතුර අතිශය භයානක තත්වයන් යටතේ අත්අඩංගුවට ගැනීම, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම, සංචාර ප්‍රතික්ෂේප කිරීම සහ සන්නිවේදනය කපා හැරීම වැනි බරපතල උල්ලංඝනයන් සිදුකර ඇත.

බො⁣රතෙල් බැරලයක මිල ඩොලර් 200ක් දක්වා ඉහළට.? අනතුරු අඟවයි

බො⁣රතෙල් බැරලයක මිල ඩොලර් 200ක් දක්වා ඉහළට.? අනතුරු අඟවයි

අමෙරිකාව සහ ඉරානය අතර පවතින අර්බුදය හේතුවෙන් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 200ක් දක්වා ඉහළ යා හැකි බවට විශ්ලේෂකයින් අනතුරු අඟවා ඇත.

තෙල් මිලෙහි තියුණු වැඩිවීමක් සහ පුළුල් ආර්ථික බිඳවැටීමක් ඇතුළුව යුද්ධයේ දුරදිග යන ගෝලීය ප්‍රතිවිපාක පිළිබඳව ජාත්‍යන්තර ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකා සිනා ටූසි අනතුරු අඟවා ඇත.

“ගෝලීය බොරතෙල් මිල බැරලයකට ඩොලර් 200 දක්වා ඉහළ යාම, එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා රටවල් අවපාතයකට හෝ අවපාතයකට තල්ලු කිරීම එහි අවදානමට ලක්ව ඇත.”