Local news

පොලිස් නිලධාරින් දෙදෙනෙක් ගංජා තොගයක් සමග මාට්ටු

පොලිස් නිලධාරින් දෙදෙනෙක් ගංජා තොගයක් සමග මාට්ටු

වවුනියාව පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් කේරළ ගංජා කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 970ක් සමඟ අත්අඩංගුවට ගත් බව වවුනියාව, ඊරට්ටපෙරියකුලම පොලීසිය සඳහන් කරයි.

වවුනියාව පොලිස් නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා ඊරට්ටපෙරියකුලම පොලිසිය වෙත භාරදී ඇත.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරුන් දෙදෙනා සහ ගංජා තොගය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

හෙට සිට ගෙවීම් QR ක්‍රමයට

හෙට සිට ගෙවීම් QR ක්‍රමයට

ජාතික “QR” ගෙවීම් පද්ධතිය හඳුන්වාදීම හෙට (06) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි.

මුල්‍ය ගනුදෙනු සඳහා ක්‍රියාත්මක කරන මෙම “QR” පද්ධතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව ක්‍රියාත්මක කරයි.

මුල්‍ය ගනුදෙනු සඳහා “QR” කේතය හඳුන්වා දීමේ ජාතික වැඩසටහන (National QR Payment Adoption Launch)  ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පැවැත්වීමට නියමිතය.

අසරණ ජීවිත එක්ක සෙල්ලම් කරන වෛද්‍යවරුන්ගේ කෙඳිරිය

අසරණ ජීවිත එක්ක සෙල්ලම් කරන වෛද්‍යවරුන්ගේ කෙඳිරිය

ස්ථාන මාරුවීම් සිදුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයන නිරත වු අතර මෙතෙක් ඊට විසඳුම් නොලැබීම හේතුවෙන් අද (05) උදෑසන සිට ඔවුන් යළිත් සංකේත වැඩවර්ජනයක නිරත වී සිටියි.

මේ අතර පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා නවක වෛද්‍යවරුන් අයදුම් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සිදුවු තර්ජන හේතුවෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කරයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ,

“අපි දැක්කා පශ්චාත් සීමාවාසික පුරප්පාඩු ලේඛනයේ අයදුම් කරන්න සුදුසුකම් ලබලා හිටිය වෛද්‍යවරුන්ට අනවශ්‍ය බලපෑම් කරලා, අනවශ්‍ය තර්ජන කරලා, ඔවුන්ව රාජ්‍ය සේවයෙන් අයින් කරනවා කියලා අපි දැක්කා තර්ජනය කිරීම්.

අපි දැක්කා ඔවුන්ගේ වැටුප නවත්වනවා කියලා තර්ජනය කිරීම්. අපිට ආරංචි වුණා රෝහල්වල ඔවුන් නැවතිලා ඉන්න නිල නිවාසවලින් එළියට දානවා කියලා ඔවුන්ට බලපෑම්, තර්ජන කරලා තිබුණා. මේ සියලු බලපෑම් හමුවේ නවක වෛද්‍යවරු ඉතාම අසරණ තත්ත්වයට පත්වෙලා හිටියේ.”

ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු.. අවවාදාත්මක නිවේදනයක්

ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු.. අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ උතුරුමැද පළාත් සහ අම්පාර දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත.

ඉහත ප්‍රදේශවල ඇතැම් ස්ථාන වෙත සවස 2.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත තද වැසි සමග තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

අතුරුදන් නියමුවා අමෙරිකාව බේරා ගනී

අතුරුදන් නියමුවා අමෙරිකාව බේරා ගනී

අමෙරිකානු ප්‍රහාරක F-15 යානයක් ඉරානය වෙඩි තබා බිම හෙළීමෙන් පසුව අතුරුදන්ව සිටි අමෙරිකානු ගුවන් නියමුවා මුදාගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

මුදාගත් ගුවන් නියමුවා තුවාල ලබා ඇති නමුත් ඔහු ඉක්මනින් සුවය ලබනු ඇති බවත් ඔහු ඉරානයේ දුෂ්කර කඳුකර ප්‍රදේශයක සිටි බවද ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

මෙම මෙහෙයුම සඳහා ගුවන් යානා කිහිපයක්ම සම්බන්ධ වී ඇති අතර අමෙරිකානු හමුදාව ගෙවුණු පැය 24 පුරාම අදාළ ගුවන් නියමුවාගේ පිහිටීම නිරීක්ෂණය කරමින් සිටි බවද සඳහන් කරයි.

ගුවන් නියමුවා මුදාගැනීමේදී දරුණු වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවද වාර්තා වේ. 

හදවතින් බැඳී එකම ශ්‍රී ලාංකික පවුලක්ව ඉදිරියට යමු

හදවතින් බැඳී එකම ශ්‍රී ලාංකික පවුලක්ව ඉදිරියට යමු

අදට (05) දිනට යෙදී ඇති පාස්කු ඉරුදිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක නිකුත් කළ පණිවිඩය පහතින්.

ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා කිතුනු බැතිමත්හු ඉමහත් භක්තියන් යුතුව පාස්කු ඉරිදා දිනය සමරති. එය බලාපොරොත්තුවේ, අලුත් වීමේ සහ දයාවේ සදාතනික බලය සිහිපත් කරන්නකි.

ආගමික උත්සවයක් සේම පාස්කු උත්සවය යනු මනුෂ්‍යත්වය, ප්‍රේමය සහ දරා ගැනීමේ හැකියාව පිළිබඳ යළි මෙනෙහි කරවන කිතුනුවන්ගේ සංස්කෘතික මංගල්‍යයකි. මරණය පරදා උත්ථානය ලැබූ ක්‍රිස්තුස් වහන්සේ දැඩි අධිෂ්ඨානයත් කැපවීමත් තිබේ නම් අඳුර පරදා ආලෝකයත්, බිය පරදා විශ්වාසයත්, වේදනාව පරදා සදාකාලික ප්‍රීතියත් ජයගත හැකි බව ජීවනාදර්ශයෙන් ලොවට පෙන්වා දුන්හ. තමන් වෙනුවෙන් ජිවිතය පූජා කළ යේසුස් වහන්සේ උදෙසා එක්සත්ව නැගී සිටි ජනතාව ලෝකයට එක්සත්භාවයේ යහ-පණිවිඩය ලබා දුන්හ.

මේ මොහොතේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලොව පුරා ජනතාව මහත් පීඩා විඳින බවද අපට අමතක කළ නොහැකිය. එදිරිවාදය පෙරදැරිව ගෙන යන යුද්ධය වෙනුවට සියලු ලෝ වැසි ජනතාව සාමය සහ සහජීවනය ප්‍රාර්ථනා කරති. මේ උතුම් පාස්කු උදාවේදී සාමය කරා යන ගමන්මඟ හෙළිපෙහෙළි වේවා’යි ප්‍රාර්ථනා කරමි.

ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමෙහි දැක්වෙන පරිදි අපගේ හදවත් ප්‍රේමයෙන්, ඉවසීමෙන් සහ සමාව දීමේ උතුම් ගුණ දියෙන් පුරවාලමින් එක මවකගේ දරුවන් මෙන් භේද දුරලා හදවතින් බැඳී එකම ශ්‍රී ලාංකික පවුලක්ව ඉදිරියට යමු. ඒ සඳහා සහෝදරත්වයෙන් අත්වැල් බැඳගනිමු!

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය වීම සිහිපත් කරන මෙම උතුම් පාස්කු දිනය සමරන සියලුම ශ්‍රී ලාංකික මෙන්ම ලෝවැසි කිතුනු බැතිමතුන්ට මම මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

ඔබ සැමට දයාවේ සහ සාමයේ පැතුම් ඉටු වන සුබ පාස්කු මංගල්‍යයක් වේවා!

ඉරාන හමුදා නායකයින් රැසක් ඝාතනය කළා – ට්‍රම්ප්

ඉරාන හමුදා නායකයින් රැසක් ඝාතනය කළා – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරානය වෙත එල්ල කළ ප්‍රහාර වලින් ඉරානය අදූරදර්ශී ලෙස මෙහෙයවූ හමුදා නායකයින් රැසක් ඝාතනය කර කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ටෙහෙරානයට එල්ල කළ දරුණු ප්‍රහාර වලින් තවත් ඉලක්ක රැසක් විනාශ වූ බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

අයදුම්පත් කැඳවීම අවසන්.. 96%ක් සාර්ථකව අයදුම් කරයි

අයදුම්පත් කැඳවීම අවසන්.. 96%ක් සාර්ථකව අයදුම් කරයි

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කර තිබූ පරිදි (04) වන දින මධ්‍යහ්න 12.00ට අවසන් කළේය.

මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනෙකු අතුරින් 435 දෙනෙකු එනම් මුළු පිරිසෙන් 96%ක් පත්වීම් සඳහා සාර්ථකව අයදුම් කර ඇත.

මෙම වෛද්‍ය නිලධාරීන් පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති ආකාරය සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය පදනම් කර ගනිමින් නව රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

තෝරා ගන්නා ලද අයදුම්කරුවන්ගේ නාමලේඛනය, ඔවුන් අනුයුක්ත කරන ලද සේවා ස්ථාන, සේවයට වාර්තා කළ යුතු දිනය පිළිබඳ විස්තර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරියේදී කඩිනමින් ප්‍රකාශයට පත් කරයි.

විනිවිදභාවයකින් යුත් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ සිදු කෙරෙන මෙම අනුයුක්ත කිරීම් හරහා දිවයින පුරා පවතින වෛද්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

දිවි බේරාගත් අමෙරිකානු ගුවන් නියමුවාට ඉහළ මිලක්

දිවි බේරාගත් අමෙරිකානු ගුවන් නියමුවාට ඉහළ මිලක්

ඉරාන හමුදාව විසින් බිම හෙළු අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා අල්ලා ගැනීමට සහයෝගය ලබාදෙන පුද්ගලයින්ට ඉරාන රජය ත්‍යාගයක් ලබා දෙන බවට දැනුම්දීමක් කර ඇත.

ගුවන් නියමුවා අල්ලා ගැනීමට උදව් කරන ඕනෑම පුරවැසියෙකුට අමෙරිකානු ඩොලර් 66,000ක ත්‍යාගයක් ලබාදෙන බව ටෙහෙරාන් රජය ඉරාන වැසියන්ට පොරොන්දුවක් ලබාදී ඇත.

මේ අතර ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් අතුරුදහන් වූ අමෙරිකානු නියමුවා සෙවීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාරයක්

රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාරයක්

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු යුක්‍රේනයේ වෙළෙඳපොළකට මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර දින දෙකකට පෙර යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරයෙන් සිවිල් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.