Local news

යුද ගැටුම් අස්සේ රුසියානු පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්

යුද ගැටුම් අස්සේ රුසියානු පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්

රුසියාව විසින් අමෙරිකාව සමඟ උදර්පන ගිවිසුම් පවතින රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙස සිය පුරවැසියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

පසුගිය 2022 වසරේ රුසියානු – යුක්‍රේන යුද්ධය ආරම්භ වූ දිනයේ සිට අමෙරිකාවේ දඬුවම් පැමිණවීමේ හැකියාව දැඩි වී ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ හෝ යම් හෙයකින් අමෙරිකානු බලධාරීන් අතට පත් වුවහොත් රුසියානු පුරවැසියන්ට දිගුකාලීන සිරදඬුවම් විඳීමට සිදුවීමේ අවදානමක් පවතින බවද සඳහන් කරයි.

අමෙරිකානු බුද්ධි අංශ විවිධ වාසිදායක ව්‍යාපාරික හෝ සංචාරක දීමනා ලබාදී රුසියානුවන් විදේශ රටවලට ගෙන්වා ගැනීමේ කූට උපක්‍රම භාවිතා කරන බවද සඳහන් කරයි.

රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ,

“අමෙරිකානු සම්බාධක මගින් රුසියානු ආර්ථිකයේ උපායමාර්ගික අංශ ඉලක්ක කර ඇති බැවින්, බොහෝ රුසියානුවන් තමන් නොදැනුවත්වම අමෙරිකානු නීති ක්‍රියාත්මක කරන ආයතනවල සහ බුද්ධි අංශවල ඉලක්ක බවට පත්වීමේ අවදානමක් ඇත.”

ඇමතිගේ විශ්වාසභංගයට පෙර ආණ්ඩුවේ මන්ත්‍රීලාට ඉන්න කියයි

ඇමතිගේ විශ්වාසභංගයට පෙර ආණ්ඩුවේ මන්ත්‍රීලාට ඉන්න කියයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන (10) වැනිදා පාර්ලිමේන්තු විවාදයට ගැනීමට නියමිතය.

ඒ අනුව අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දින කොළඹ රැඳී සිටින ලෙසට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ බොහොමයක් එකඟත්වය පළකර ඇති බව වාර්තා වේ.

මෛත්‍රී ලෝකයේ සියලු නායකයින්ගෙන් ඉල්ලයි

මෛත්‍රී ලෝකයේ සියලු නායකයින්ගෙන් ඉල්ලයි

ඉරාන – අමෙරිකා – ඊශ්‍රායල යුද්ධය නතර නොවුණහොත් ශ්‍රී ලංකාව මීට වඩා බැරෑරුම් ප්‍රශ්න වලට යා හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කරයි.

එනිසා මෙම බිහිසුණු යුද්ධය නතර කර ගැනීමට ලෝකයේ සියලුම රාජ්‍ය නායකයන් මැදිහත් විය යුතු බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කරයි.

මෙම ප්‍රශ්නයෙන් අද ගොඩාක් දුක් විඳින්නේ යුද්ධය තියෙන රටවල්වලට වඩා යුද්ධය නැති රටවල් බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ බව සඳහන් කරයි.

කුවේට් ගුවන්තොටුපළට යළිත් ඩ්‍රෝන ප්‍රහාර

කුවේට් ගුවන්තොටුපළට යළිත් ඩ්‍රෝන ප්‍රහාර

ඉරානය විසින් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉන්ධන ටැංකි වලට යළිත් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාර හේතුවෙන් ගුවන්තොටුපළේ ඉන්ධන ටැංකි වල විශාල ගින්නක් හටගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හදිසි කණ්ඩායම් එම ස්ථානයේ සිටි අතර සිදුවු හානිය සැලකිය යුතු මට්ටමක පවතින බවත් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව එරට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කරයි.

ඉරානයේ ඩ්‍රෝන යානා සහ එයට සහාය දක්වන සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ඉන්ධන ටැංකි වලට හානි සිදුව ඇති බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

අධික උණුසුම භායනකයි.. මොලේට බලපෑම්.. පරිස්සම් වෙන්න

අධික උණුසුම භායනකයි.. මොලේට බලපෑම්.. පරිස්සම් වෙන්න

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය මානසික අවපීඩනයන් ආතතිය, හිතට කරදරය සහ නොසන්සුන් තත්ත්වයන් ඇතිකිරීමට හේතුවන බව මනෝ වෛද්‍ය, විද්‍යා විජේබණ්ඩාර සඳහන් කළාය.

මනෝ වෛද්‍ය, විද්‍යා විජේබණ්ඩාර සඳහන් කළේ,

“අධික උණුසුම් තත්ත්වය මානසික අවපීඩනයන්, ආතති තත්ත්වයන්, හිතට කරදරය නොසන්සුන්කම වැඩි කරන තත්ත්වයන් වෙනවා. අධික උණුසුමත් එක්ක ආතතිය, ඇන්සයිටිතමතාවය, විෂාදය එකට බැදිලා තියෙන නිසා මෙම තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්.  

අධික උණුසුමත් එක්ක ඇග විජලනයට පත්වෙනවා. ඒක නිසා ඇති වන රාසායනික තත්ත්වයන්ගේ වෙනස්වීම නිසා කෙනෙක්ගේ මානසක මට්ටම පහතට වැටෙන්න පුළුවන්. මොලේ තියෙන රාසායනික ද්‍රව්‍ය, හෝමෝන මේ සියලු දේවල බලපෑම නිසා මානසික තත්ත්වය අඩු වෙන්න පුළුවන්.

රස්නය වැඩි වුණාම නින්දට බලපෑම් වෙනවා. මේකත් මානසික මට්ටම අවපීඩනයට ලක් කරන්න හේතු වෙනවා. අධික උණුසුමත් එක්ක කෙනෙකු ආතති තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන්. 

අධි අවධානම් පිරිසක් ඉන්නවා. කාලයක් පුරා රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පිරිස්, කුඩා දරුවන්, ගර්භණි මව්වරු සහ වයෝවෘධ පිරිස. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය කෙළින්ම බලපෑමක් ඇති කරනවා.

මානසික තත්ත්වය කඩා වැටෙන්න අධික උණූසුම් තත්ත්වයත් සමග නුසුදු දියරයක් බැවින් මත්පැන් පානය කිරීම මානසික තත්ත්වය අවපීඩනය වීම ආතති තත්ත්වයන් ඇති වීම වෙන්න පුළුවන්. අධික උණුසුම කල්පනාව අඩුවීම මතකය අඩුවීම වැනි තත්ත්වයන්ට ඇතිවෙන්න පුළුවන්. 

සෞඛ්‍ය ප්‍රවර්ධන කර්යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍යවරිය මේ බව සඳහන් කළාය.

ඉරානයට සිදුවූ හානියට වන්දි ගෙවන තෙක් යුද්ධය නතර කරන්නේ නෑ

ඉරානයට සිදුවූ හානියට වන්දි ගෙවන තෙක් යුද්ධය නතර කරන්නේ නෑ

කිසිදු සටන් විරාම යෝජනාවක් ඉරානය විසින් ඉදිරිපත් කර නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සඳහන් කරයි.

ඉරානය විසින් කරුණු පහකින් යුත් සටන් විරාම සැලැස්මක් ඉදිරිපත් කර ඇති බවට පැතිර යන පුවත් හුදෙක් මාධ්‍ය වල පලවන දෑ පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ආක්‍රමණිකයාට දඬුවම් පමුණුවන තෙක් සහ ඉරානයට සිදුවූ හානි සඳහා පූර්ණ වන්දි ගෙවන තෙක් මෙම යුද්ධය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මූලික මිනිස් අයිතිවාසිකම් කඩලා.. අධිකරණයෙන් නියෝග

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මූලික මිනිස් අයිතිවාසිකම් කඩලා.. අධිකරණයෙන් නියෝග

පවුල් ආරවුල් සිද්ධියකට භාජනය වූ පාර්ශවයක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයකුගේ වෘත්තීය කටයුතු වලට අවහිර කිරීම තුළින් එවක මීගමුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වශයෙන් කටයුතු කළ වුට්ලර් උදයකුමාර සහ එම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති මදුශංක ඩයස් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව අදාළ නීතිඥවරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වුට්ලර් උදයකුමාර විසින් රුපියල් 60000ක් සහ මධුශංක ඩයස් විසින් රුපියල් 30000ක් සිය පුද්ගලික මුදල් වලින් ගෙවිය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණ⁣ය නියෝග කළේය.

ඊට අමතරව එම වගඋත්තරකරුවන් දෙදෙනා රුපියල් 10000 බැගින් පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවිය යුතු බවද නියෝග කළේය.

නීතිඥවරයෙකු වන ප්‍රියලාල් චමින්ද සිරිසේන විසින් ඉදිරිපත් කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගනු ලැබිණි.

ට්‍රම්ප් ධවල මන්දිරයේ භාරකරු මිසක් අයිතිකරු නෙමෙයි.. නියෝගයක්

ට්‍රම්ප් ධවල මන්දිරයේ භාරකරු මිසක් අයිතිකරු නෙමෙයි.. නියෝගයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ ඇතුලේ උත්සව ශාලාවක් ඉදිකිරීමට ආරම්භ කළ ව්‍යාපෘතිය අධිකරණ නියෝගයක් මගින් තාවකාලිකව නතර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර අනුගමනය කළ යුතු නිසි නීතිමය පටිපාටි ධවල මන්දිරය විසින් උල්ලංඝනය කර තිබීම හේතුවෙන් අම‍ෙරිකානු විනිසුරු රිචඩ් ලියොන් විසින් මෙම ඉදිකිරීම් වහාම නතර කරන ලෙසට නියෝග කර ඇත.

ජාතික අගනුවර සැලසුම් කොමිසමට සැලසුම් ඉදිරිපත් නොකිරීම, ව්‍යාපෘතියේ පාරිසරික තක්සේරුවක් ලබා නොගැනීම සහ කොංග්‍රස් මණ්ඩලයෙන් අවසර ලබා නොගැනීම යන චෝදනා මෙහිදී එල්ල වී ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ අයිතිකරු නොව එහි “භාරකරු” පමණක් බවද අම‍ෙරිකානු විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත.

“එක්සත් ජනපදයට අයත් දේපළ සම්බන්ධ සියලු නීති රීති සැකසීමේ අයිතිය කොංග්‍රස් මණ්ඩලයට හිමි වේ.”

මෙවැනි විශාල වෙනසක් කිරීමට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය අනිවාර්යය බැවින් අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ට්‍රම්ප් විසින් උල්ලංඝනය කරන බවද සඳහන් කරයි.

ඊශ්‍රායලයට එරෙහිව හූති කැරලිකරුවන් ප්‍රහාර දැඩි කරයි

ඊශ්‍රායලයට එරෙහිව හූති කැරලිකරුවන් ප්‍රහාර දැඩි කරයි

මේ වනවිට යේමනයේ හූති කැරලිකරුවන් විසින් දකුණු ඊශ්‍රායලය ඉලක්ක කරගෙන ප්‍රහාර වැඩි වශයෙන් එල්ල කර ඇත.

තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවත් මෙම ප්‍රහාර නැවැත්වීමට නම් ඊශ්‍රායලය කොන්දේසි දෙකක් ඉටු කළ යුතු බව හූති කැරලිකරුවන් සඳහන් කරයි.

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමට එකඟ වීම සහ ඉරානයට එරෙහිව අමෙරිකාව එල්ල කරන ප්‍රහාරවලට හවුල් නොවීම බව හූති කැරලිකරුවන් සඳහන් කරයි.

ඉදිරියේදී ප්‍රහාර තවදුරටත් දැඩි කරන බවත් එක් පියවරක් ලෙස ලෝකයේ ඉතා වැදගත් මුහුදු මාර්ගයක් වන බාබ් අල්-මන්ඩෙබ් (Bab al-Mandeb) සමුද්‍ර සන්ධිය වසා දැමීමට සූදානම් වන බව වාර්තා වේ.

ජපානයේ ප්‍රබල භූමිකම්පාවක්

ජපානයේ ප්‍රබල භූමිකම්පාවක්

නැගෙනහිර ජපානයේ ප්‍රදේශවලට රික්ටර් මාපකයේ 5.0ක භූමිකම්පාවක් ඇති වූ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි.

මෙම භූමිකම්පාව හේතුවෙන් පදිංචිකරුවන් කෙටි කාලයකට නොසන්සුන් වූ නමුත් බරපතල හානියක් සිදුවී නොමැති බවද සඳහන් කරයි.

භූමිකම්පාවෙන් පසුව ඊසානදිග ජපානයේ ටෝකියෝ සහ අමෝරි ප්‍රාන්තය අතර ෂින්කන්සන් බුලට් දුම්රිය සේවාව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

එහෙත් කිසිදු අසාමාන්‍යතාවයක් සොයාගත නොහැකි වූ බැවින් එම දුම්රිය මෙහෙයුම් නැවත ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉදිරි දිනවලදී ප්‍රබලත්වයකින් යුත් පසු කම්පන ඇති විය හැකි බැවින් සතියක කාලයක් නිවැසියන් විමසිල්ලෙන් සිටින ලෙස ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු ඇඟවා ඇත.