ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල, නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු සහ විනිමය අනුපාත ඉහළ යාම හේතුවෙන් මතුව ඇති පිරිවැය පියවා ගැනීම සඳහා ලාෆ් ගෑස් මිල ඉහළ දැමු බව එම සමාගමේ අධ්යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය සඳහන් කරයි.
සෞදි අරාම්කෝ සමාගම විසින් සෑම මාසයකම ආරම්භයේදී ප්‍රකාශයට පත් කරන ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඒ අතර ප්‍රධාන සාධකයක් බවද ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය සඳහන් කරයි.
මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් මිල ඉහළ යාම හේතුවෙන් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයකට රුපියල් 706ක අමතර පිරිවැයක් එකතු වී ඇති බවද ඔහු සඳහන් කරයි.
ගෑස් ප්‍රවාහනය සඳහා වැය වන නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ද යුදමය තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති අතර ඒ හරහා සිලින්ඩරයකට තවත් රුපියල් 417ක පිරිවැයක් එකතු වී ඇති බවද ඔහු සඳහන් කරයි.
අදාළ මිල සංශෝධනයට සියයට 18ක වැට් බද්දෙන් රුපියල් 256ක මුදලක් ඇතුළත් වන බවත් බැංකු ණය සහ ණයවර ලිපි (LC) හරහා ගෑස් මිලදී ගැනීමේදී සමාගමට දැරීමට සිදුවන මූල්‍ය පිරිවැය ලෙස තවත් රුපියල් 90ක් එකතු වන බවද ඔහු සඳහන් කරයි.
තවද, විනිමය අනුපාතයේ සිදුවූ වෙනස්වීම් හේතුවෙන් රුපියල් 299ක අමතර පිරිවැයක් දැරීමට සිදු වීමද මේ සඳහා බලපා ඇති බවද ඔහු සඳහන් කරයි.
ඒ අනුව මෙම සියලු පිරිවැය එකතු කළ විට රුපියල් 1,769ක මිල වැඩිවීමක් සිදු කළ යුතු වුවද, සමාගම විසින් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති බවද ඔහු සඳහන් කරයි.
මෙම මිල ගණන් සංශෝධනය මඟින් සමාගම අමතර ලාභයක් අපේක්ෂා නොකරන බවත් එය සමාගමේ පිරිවැය පියවා ගැනීම සඳහා ගණනය කළ මිලක් පමණක් වන බවද ඔහු සඳහන් කරයි.
