Foreign news

කුවේට් තෙල් නැවකට ඉරානයෙන් ප්‍රහාර

කුවේට් තෙල් නැවකට ඉරානයෙන් ප්‍රහාර

කුවේට් බොරතෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව කුවේටය සඳහන් කරයි.

මෙම ප්‍රහාරයෙන් නෞකාවට යම් හානි සිදුවී ඇති නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරය එල්ල වන විට ඩුබායි වරායක නවතා තිබූ මෙම නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24දෙනාම ආරක්ෂිතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අදාළ නෞකාව තෙල් වලින් සම්පූර්ණයෙන්ම පිරී තිබූ අතර ඒ හේතුවෙන් නෞකාව තුළ ගින්නක් හටගෙන ඇත.

තෙල් මිල 59%කින් ඉහළට

තෙල් මිල 59%කින් ඉහළට

අමෙරිකාව සහ ඊශ්‍රායලය එකතු වී ඉරානය වෙත පහරදීමෙන් පසුව මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වී මාසයක කාලයක් තුළ ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල 59%කින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෛනික ගෝලීය තෙල් සැපයුමෙන් 20%ක් පමණ සිදුවූ හෝමූස් සමුද්‍ර සන්ධිය මැදපෙරදිග යුද ගැටුම් නිසා අවහිර වීම හේතුවෙන් සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග තෙල් නිෂ්පාදකයින් රතු මුහුද හරහා තෙල් ප්‍රවාහනය කිරීමට කටයුතු කළේය.

හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට පහරදීමත් සමග රතු මුහුද හරහා සිදුකෙරෙන තෙල් ප්‍රවාහනයට අවහිරතා මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් ඛනිජ තෙල් ප්‍රවාහනය කරන ලෝකයේ ප්‍රමුඛතම මුහුදු මාර්ග දෙකකට දැඩි බාධා එල්ල වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ලෝක වෙළෙදපොළේ තෙල් මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇති බව පුරෝකතනය කර ඇත.

යුද ගැටුම් අස්සේ රටවල් 23කින් විකෘති වූ නව කොවිඩ් ප්‍රභේදයක් මතුවෙයි

යුද ගැටුම් අස්සේ රටවල් 23කින් විකෘති වූ නව කොවිඩ් ප්‍රභේදයක් මතුවෙයි

අලුතින් හඳුනාගත් සහ බෙහෙවින් විකෘති වූ නව COVID-19 උප ප්‍රභේදයක් වන BA.3.2 හෙවත් ‘සිකාඩා’ (Cicada) ප්‍රභේදය අමෙරිකාව ඇතුළු රටවල් 23කින් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර ඇත්තේ එහි අසාමාන්‍ය විකෘති පැතිකඩ සහ ප්‍රතිශක්තිය අර්ධ වශයෙන් මග හැරීමේ හැකියාව සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන බවයි.

මෑත කාලීන යාවත්කාලීන කිරීම් වලට අනුව, BA.3.2 අවම වශයෙන් රටවල් 23ක සහ එක්සත් ජනපද ප්‍රාන්ත කිහිපයක සාමාන්‍ය නිරීක්ෂණ හරහා හඳුනාගෙන ඇති බව සඳහන් කරයි.

මෙම නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූවන් දැනට අමෙරිකාවේ සාපේක්ෂව අඩු පිරිසක් වාර්තා වී ඇති අතර එය යුරෝපයේ ඇතැම් රට වලින්ද වාර්තා වී ඇති බව සඳහන් කරයි.

මෙම නව කොවිඩ් ප්‍රභේදය පසුගිය 2022 වසරේදී පැතිර ගිය ඔමික්‍රෝන් (Omicron) BA.3 අනු-ප්‍රභේදයෙන් විකෘති වී පැමිණි අලුත්ම ප්‍රභේදයකි.

චීනය, ඉන්දියාව සහ පකිස්තානයට හෝමූස් අවසර

චීනය, ඉන්දියාව සහ පකිස්තානයට හෝමූස් අවසර

මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන් කිරීම නවතා දැමුවද මේ වනවිට ඒ හරහා ගමන් කරන නෞකා සංඛ්‍යාවේ යම් වර්ධනයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

පාකිස්තාන ධජය සහිත නෞකා 20කට මෙම මුහුදු මාර්ගය හරහා ගමන් කිරීමට ඉරානය අවසර ලබාදී ඇති අතර දිනකට නෞකා දෙක බැගින් ගමන් කරයි.

ඉන්දියාවේ ධජය සහිත ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ‘LPG’ රැගත් ඉන්දියානු නෞකා දෙකක් පසුගිය දිනවල මෙම මුහුදු මාර්ගය හරහා ගමන් කර ඇත.

මැලේසියාවේ පෝට් ක්ලැන්ග් බලා යාත්‍රා කරන චීන බහාලුම් නෞකා දෙකක් ඊයේ (30) දින සාර්ථකව මෙම මුහුදු මාර්ගය හරහා ගමන් කර ඇත.

ඉරානය ගල්ෆ් නැව් ගමනාගමනයට ප්‍රහාර එල්ල කර ඇති අතර මේ හේතුවෙන් නැව් සිය ගණනක් සහ නාවිකයින් 20,000ක් ගල්ෆ් මුහුදේ සිරවී ඇත.

ඉරානයේ සියලුම විදුලි බලාගාර සහ තෙල් නිධි බිමට සමතලා කරනවා

ඉරානයේ සියලුම විදුලි බලාගාර සහ තෙල් නිධි බිමට සමතලා කරනවා

එකඟතාවයකට පැමිණ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානය පියවර නොගතහොත්, එරට විදුලි බලාගාර සහ තෙල් නිධි පුපුරුවා හැර සම්පූර්ණයෙන්ම විනාශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ,

“ඉරානය තුළ අපගේ හමුදා ක්‍රියාන්විතයන් අවසන් කිරීම සඳහා වඩාත් සාධාරණ නව පාලන තන්ත්‍රයක් සමඟ එක්සත් ජනපදය දැඩි සාකච්ඡාවල නිරතව සිටිනවා.

ඒ සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් ලබා තිබුණත්, කිසියම් හේතුවක් මත නුදුරේදීම එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ව්‍යාපාර කටයුතු සඳහා වහාම විවෘත නොකළහොත්.?

අප මෙතෙක් අත නොතැබූ ඉරානයේ සියලුම විදුලි උත්පාදන මධ්‍යස්ථාන, තෙල් ළිං සහ කාර්ග් දූපත, සියලුම ලවණ ඉවත් කිරීමේ බලාගාර පවා පුපුරුවා හැර සම්පූර්ණයෙන්ම විනාශ කිරීමෙන් පසු අපි යුද්ධය අවසන් කරනවා.”

යුද ගැටුම් උග්‍ර වෙයි.. ලොව ප්‍රධාන සමාගම් ගුවන් ගමන් අවලංගු කරයි

යුද ගැටුම් උග්‍ර වෙයි.. ලොව ප්‍රධාන සමාගම් ගුවන් ගමන් අවලංගු කරයි

මැදපෙරදිග යුදමය වාතාවරණය උග්‍ර වීමත් සමඟ ගෝලීය ගුවන් ගමන් ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්ව ඇත.

ප්‍රධාන ගුවන් කේන්ද්‍රස්ථාන වන ඩුබායි, දෝහා සහ අබුඩාබි යන ගුවන් තොටුපළවල් වසා දැමීමට සිදුවීම හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇත.

සිය ගුවන් ගමන් කාලසටහන් සැලකිය යුතු ලෙස වෙනස් කළ හෝ අවලංගු කළ ප්‍රධාන ගුවන් සමාගම්..

Emirates ගුවන් සමාගම = කලාපීය ගුවන් සීමාවන් කොටසක් විවෘත කිරීමත් සමඟ සීමිත ගුවන් ගමන් වාර සංඛ්‍යාවක් පමණක් ක්‍රියාත්මක කරන බව සඳහන් කරයි.

Qatar Airways ගුවන් සමාගම = දෝහා සිට ගමනාන්ත 90ක් දක්වා වූ ගුවන් ගමන් වාර ක්‍රමයෙන් වැඩි කිරීමට පියවර ගන්නා බව සඳහන් කරයි.

Air Canada ගුවන් සමාගම = ටෙල් අවිව් සහ ඩුබායි බලා යන සියලුම ගුවන් ගමන් සැප්තැම්බර් (07) වනදා දක්වා අවලංගු කළ බව සඳහන් කරයි.

Turkish Airlines සමාගම = මැදපෙරදිග කලාපයේ බොහෝ ගුවන් ගමන් මාර්තු මස අවසානය දක්වා අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

Delta නිව්යෝර්ක් සමාගම = ටෙල් අවිව් ගුවන් ගමන් අවලංගු කර ඇති අතර ඇට්ලන්ටා සිට ආරම්භ වීමට තිබූ ගුවන් ගමන් සැප්තැම්බර් (05) දක්වා ප්‍රමාද කර ඇත.

එයර් ෆ්‍රාන්ස් සමාගම = බෙයිරුට් සහ ටෙල් අවිව් ගුවන් ගමන් අප්‍රේල් (04) දක්වාත්, ඩුබායි සහ රියාද් ගුවන් ගමන් මාර්තු (31) දක්වාත් අවලංගු කර ඇත.

KLM සමාගම = ටෙල් අවිව්, රියාද් සහ ඩුබායි ගුවන් ගමන් මැයි (17) දක්වා අත්හිටුවා ඇත.

Lufthansa Group = ලුෆ්තන්සා, ස්විස්, ඔස්ට්‍රියන් සහ බ්‍රසල්ස් එයාර්ලයින්ස් ඇතුළු සමාගම් රැසක් ඩුබායි සහ ටෙල් අවිව් ගුවන් ගමන් මැයි (31) දක්වා අත්හිටුවා ඇත.

“අමෙරිකාවේ මෝඩ මිනිස්සු” මම ආසම ඉරානයේ තෙල් ගන්න

“අමෙරිකාවේ මෝඩ මිනිස්සු” මම ආසම ඉරානයේ තෙල් ගන්න

තමන්ගේ ප්‍රියතම දෙය ඉරානයේ තෙල් ලබා ගැනීම බවත් එනිසා තමාට ඉරානයේ තෙල් ලබාගත හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

තවද ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන “කාග් දූපත” අත්පත් කර ගැනීමට ඇමරිකාවට හැකියාව පවතින බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ,

“ඇත්තම කියනවා නම්, මගේ ප්‍රියතම දෙය තමයි ඉරානයේ තෙල් ලබා ගැනීම. නමුත් අමෙරිකාවේ ඉන්න සමහර මෝඩ මිනිස්සු අහනවා ඇයි ඔබ ඒක කරන්නේ.?’ කියලා. ඒත් ඔවුන් මෝඩ මිනිස්සු.”

අමෙරිකාවට අහිමි වු ඩොලර් මිලියන 470ක සුපිරි යානය

අමෙරිකාවට අහිමි වු ඩොලර් මිලියන 470ක සුපිරි යානය

සෞදි අරාබියේ පිහිටි “Prince Sultan Air Base” වෙත එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයකින් අමෙරිකානු ගුවන් හමුදාවට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 470ක් පමණ වටිනා E-3 Sentry (AWACS) වර්ගයේ ඔත්තු බැලීමේ යානයක් විනාශ වී ඇත.

මෙම ප්‍රහාරයෙන් අදාළ යානයේ රේඩාර් පද්ධතිය සහ බඳ කොටසට (Fuselage) බරපතල හානි සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සහ නිකුත් වී ඇති චන්ද්‍රිකා ඡායාරූප (Satellite Imagery) මගින් තහවුරු වෙයි.

අංක 81-0005 දරන මෙම යානය 552nd Air Control Wing ඒකකයට අයත්වන අතර එය නැවත අලුත්වැඩියා කළ නොහැකි මට්ටමට (Beyond repair) විනාශ වී ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ සඳහන් කරයි.

අමෙරිකානු ගුවන් හමුදාව සතු “පියාඹන රේඩාර් පද්ධතිය” ලෙස සැලකෙන මෙම යානය, කිලෝමීටර් සිය ගණනක් ඈතින් එන සතුරු මිසයිල, ඩ්‍රෝන සහ යානා හඳුනාගෙන ගුවන් මෙහෙයුම් මෙහෙයවීමට යොදා ගන්නා ප්‍රධානතම අවියකි.

දැනට අමෙරිකාව සතුව මෙවැනි ක්‍රියාකාරී යානා පවතින්නේ 16ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 53කට පසුව ගගනගාමීන් 4ක් සඳට යන්න සූදානම්

වසර 53කට පසුව ගගනගාමීන් 4ක් සඳට යන්න සූදානම්

නාසා ආයතනය (NASA) අප්‍රේල් (01) වන දින ගගනගාමීන් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳ වටා ගමනක් දියත් කිරීමට නියමිතය.

පසුගිය 1972 වසරේ සිට වසර පනහකට වැඩි කාලයකට පසුව පළමුවරට මිනිසුන් රැගෙන සඳ දෙසට යෑමට නියමිත ‘ARTEMIS – II’ මෙහෙයුම සඳහා තෝරාගත් ගගනගාමීන් ෆ්ලොරිඩාවට පැමිණ ඇත.

රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර් සහ ක්‍රිස්ටිනා කොච්, කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ ගගනගාමී ජෙරමි හැන්සන් යන නාසා අභ්‍යවකාශගාමීන් මෙලෙස තෝරාගෙන ඇත.

අදාළ මෙහෙයුම අප්‍රේල් (01) වැනිදා දියත් කිරීමට නියමිත අතර එය ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් සඳ බලා පිටත්ව යෑමට නියමිත බව නාසා ආයතනය සඳහන් කරයි.

අදාළ ගමන දින 10කින් සමන්විත අතර එම ගගනගාමින් ඔරියන් කැප්සියුලයකින් මෙම ගමන සිදුකිරීමට නියමිත අතර ඔවුන් වසර දෙකකට වැඩි කාලයක් පුහුණුව ලබා ඇති බවද සඳහන් කරයි.

මෙම මෙහෙයුමේ නියමුවා වික්ටර් ග්ලෝවර් වන අතර ඔහු සඳ අසලින් ගමන් කරන පළමු කළු ජාතික ගගනගාමියා වන බවත් ක්‍රිස්ටිනා කොච් පහළ පෘථිවි කක්ෂයෙන් ඔබ්බට යන පළමු කාන්තාව බවත් ජෙරමි හැන්සන් පළමු අමෙරිකානු නොවන ජාතිකයා වේ.

“ආරක්ෂිත කලාපය” නෙතන්යාහුගෙන් නියෝගයක්

“ආරක්ෂිත කලාපය” නෙතන්යාහුගෙන් නියෝගයක්

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සෆෙඩ් හි පිහිටි හමුදා උතුරු විධාන මූලස්ථානයේ සිට වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් නියෝගයක් නිකුත් කර ඇත.

දකුණු ලෙබනන් කලාපය තුළ පිහිටි “ආරක්ෂිත කලාපය” තවදුරටත් පුළුල් කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් එහිදී හමුදාවට උපදෙස් ලබාදී ඇත.

“දැනට පවතින ආරක්ෂිත කලාපය තවදුරටත් පුළුල් කරන ලෙස මම දැන් උපදෙස් දුන්නා. ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ පවතින තත්ත්වය මූලික වශයෙන් වෙනස් කිරීමට අප අධිෂ්ඨාන කරගෙන සිටිනවා.”

දැනටමත් එම සම්පූර්ණ කලාපයටම ඊශ්‍රායලය ඉවත් වීමේ නියෝග නිකුත් කර ඇති අතර ගොඩබිම් ආක්‍රමණයක් දියත් කරමින් නිවාස සහ යටිතල පහසුකම් විනාශ කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.