Foreign news

ඉරානයට එරෙහිව ට්‍රම්ප් සමග එකතු නොවන රටවලට යෝජනා දෙකක්

ඉරානයට එරෙහිව ට්‍රම්ප් සමග එකතු නොවන රටවලට යෝජනා දෙකක්

ඉරානයට එරෙහි යුදමය ක්‍රියාමාර්ග සඳහා එක්වීම ප්‍රතික්ෂේප කරන රටවල් ඉලක්ක කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය විවේචන එල්ල කර ඇත.

ඉන්ධන ලබාගැනීමට නොහැකිව සිටින, එහෙත් ඉරාන පාලනයට එරෙහි මෙහෙයුම්වලට සහාය නොදෙන බ්‍රිතාන්‍යය වැනි රටවල් වෙත උපහාසාත්මක යෝජනාවක් ඉදිරිපත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ,

“මා සතුව ඔබට යෝජනා දෙකක් තිබෙනවා. පළමුවැන්න, අමෙකාවෙන් ඉන්ධන මිලදී ගන්න, අප සතුව ඕනෑ තරම් තිබෙනවා. දෙවැන්න, දැන්වත් ප්‍රමාද වී හෝ ධෛර්යය උපදවාගෙන හෝමුස් සමුද්‍ර සන්ධියට ගොස් ඔබට අවශ්‍ය දේ බලහත්කාරයෙන් ලබාගන්න.”

මේ අතර සැපයුම් රැගත් අමෙරිකානු ගුවන් යානාවලට ප්‍රංශ ගුවන් සීමාව භාවිත කිරීමට අවසර නොදීම ඉතාම අහිතකර බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ලොව විශාලතම ජනගහනය ගණනය කරන්න මිලියන 3ක් සූදානම්

ලොව විශාලතම ජනගහනය ගණනය කරන්න මිලියන 3ක් සූදානම්

ලොව වැඩිම ජනගහනයක් සිටින ඉන්දියාවේ සෑම පුද්ගලයෙකුම ගණනය කිරීමේ දැවැන්ත කාර්යය සඳහා එරට නිලධාරීන් මිලියන 3කට අධික පිරිසක් වසරක කාලයක් පුරා මෙහෙයුම් දියත් කිරීමට සූදානම් වේ.

ඒ අනුව අප්‍රේල් (01) වනදා සිට ඉන්දියාවේ සෑම පුද්ගලයෙකුම ගණනය කිරීම ආරම්භ වන බවත් සංගණනය අදියර කිහිපයකින් ක්‍රියාත්මක වන බවද ඉන්දීය රජය නිවේදනය කරයි.

පළමු අදියර – අප්‍රේල් (01) වනදා සිට අන්තර්ජාලය හරහා ස්වයංව ලියාපදිංචි වීමට අවස්ථාව ලබාදීම.

දෙවන අදියර – නිවාස සහ නිවාසවල තත්ත්වයන් පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා නිලධාරීන් නිවසින් නිවසට යාම.

තෙවන අදියර – පුද්ගලයන්ගේ ආර්ථික සහ සමාජීය තොරතුරු මෙන්ම කුලය පිළිබඳ තොරතුරු රැස් කිරීම.

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම සියලු දත්ත ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ වාර්තා කරන බැවින් ප්‍රතිඵල ඉතා ඉක්මනින් නිකුත් කිරීමට හැකි වනු ඇති බව සංගණන කොමසාරිස් මෘතුංජය කුමාර් නාරායන් සඳහන් කරයි.

ඉදිරි දින තීරණාත්මකයි.. අමෙරිකාව චීනයට සහ රුසියාවට අනතුරු අඟවයි.?

ඉදිරි දින තීරණාත්මකයි.. අමෙරිකාව චීනයට සහ රුසියාවට අනතුරු අඟවයි.?

චීනය සහ රුසියාව විසින් ඉරානයට සහාය වීම සඳහා දරන උත්සාහයන් පිළිබඳව අමෙරිකාව දැඩි අවධානයෙන් පසුවන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි.

එනිසා අවශ්‍ය සෑම අවස්ථාවකදීම එම මැදිහත්වීම් වලට එරෙහිව ක්‍රියා කරන බවද අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (31) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කරයි.

මැදපෙරදිග ගැටුමේ ඉදිරි දින කිහිපය ඉතා තීරණාත්මක වනු ඇති බවත් ඉරාන සන්නද්ධ හමුදාවලින් සෙබළුන් විශාල වශයෙන් පලායෑමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද ඔහු සඳහන් කරයි.

රුසියාව සහ චීනය ඉරානයට උදව් කරන ආකාරය පිළිබඳව අමෙරිකාව නිවැරදිව දන්නා බවත් ඒ සියල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවන නමුත් අවශ්‍ය තැන්වලදී ඔවුන්ට සෘජුව මුහුණ දෙන බවද ඔහු සඳහන් කරයි.

ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කළේ,

“අප සතුව විකල්ප වැඩි වෙමින් පවතිනවා, නමුත් ඉරානයට ඇති විකල්ප සීමිතයි. ගතවූ එකම මාසය තුළ අප යුද්ධයේ කොන්දේසි තීරණය කර අවසන්. ඉදිරි දින කිහිපය තීරණාත්මකයි.”

ඊශ්‍රායලයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට මිසයිල ප්‍රහාර

ඊශ්‍රායලයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට මිසයිල ප්‍රහාර

උතුරු ඊශ්‍රායලයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට ඉරානය සහ ලෙබනනය එක්වී මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මාසයේ ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායල යුද්ධය ආරම්භ වීමෙන් පසුව එම පිරිපහදු මධ්‍යස්ථානයට එල්ල වූ දෙවන ප්‍රහාරය මෙය වේ.

හයිෆා හි බසාන් තෙල් පිරිපහදුව ලෙසද හැඳින්වෙන මෙම පිරිපහදු මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් විශාල ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක්, අන්තරායකර ද්‍රව්‍ය අවදානම් සහ මහජනතාවට කිසිදු අනතුරක් නොමැති බව ඊශ්‍රායලයේ ගිනි නිවන හා ගලවා ගැනීමේ සේවය සඳහන් කරයි.

ඉරානයේ ජල පිරිපහදු මධ්‍යස්ථාන විනාශ කරනවා – ට්‍රම්ප්

ඉරානයේ ජල පිරිපහදු මධ්‍යස්ථාන විනාශ කරනවා – ට්‍රම්ප්

ඉතාම කෙටි කාලයක් තුළ ඉරානය සමග එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් ඉරානයේ ජල පිරිපහදු මධ්‍යස්තාන විනාශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

අමෙරිකාව හිතාමතාම කිසිදු ජල පිරිපහදු මධ්‍යස්ථානයක් මෙතෙක් ඉලක්ක කර නොමැති නමුත් අමෙරිකානු භටයින් ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙන් අදාළ ප්‍රහාර එල්ල කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

මුහුදු ජලයේ ලවණ ඉවත් කොට එය පරිභෝජනය කළ හැකි තත්ත්වයට පත් කිරීම ජල පිරිපහදු මධ්‍යස්ථාන හරහා සිදුකරයි.

පලස්තීනුවන්ට ඊශ්‍රායලයෙන් මරණ දණ්ඩනය

පලස්තීනුවන්ට ඊශ්‍රායලයෙන් මරණ දණ්ඩනය

ඊශ්‍රායලය වෙත මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පලස්තීනුවන්ට යුද අධිකරණ හමුවේ මරණ දණ්ඩනය දීමේ නීතියක් ඊශ්‍රායල පාර්ලිමේන්තුව සම්මත කර ඇත.

මෙම මරණ දණ්ඩනය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් අන්ත දක්ෂිණාංශිකයින් වෙත ලබා දුන් පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙස විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

දින 30ක් ඇතුළත ක්‍රියාත්මක වන මෙම නීතිය, අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු මන්ත්‍රීවරුන් 120 දෙනෙකු විසින් අනුමත කරන ලද අතර ඊට විරුද්ධව ඡන්ද 48ක් සහ එක් අයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

කෙසේ වෙතත් පලස්තීන ජාතිකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වන ඊශ්‍රායල ජාතිකයින්ට මෙම මරණ දණ්ඩනය පැනවෙන්නේ නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුවේට් තෙල් නැවකට ඉරානයෙන් ප්‍රහාර

කුවේට් තෙල් නැවකට ඉරානයෙන් ප්‍රහාර

කුවේට් බොරතෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව කුවේටය සඳහන් කරයි.

මෙම ප්‍රහාරයෙන් නෞකාවට යම් හානි සිදුවී ඇති නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරය එල්ල වන විට ඩුබායි වරායක නවතා තිබූ මෙම නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24දෙනාම ආරක්ෂිතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අදාළ නෞකාව තෙල් වලින් සම්පූර්ණයෙන්ම පිරී තිබූ අතර ඒ හේතුවෙන් නෞකාව තුළ ගින්නක් හටගෙන ඇත.

තෙල් මිල 59%කින් ඉහළට

තෙල් මිල 59%කින් ඉහළට

අමෙරිකාව සහ ඊශ්‍රායලය එකතු වී ඉරානය වෙත පහරදීමෙන් පසුව මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වී මාසයක කාලයක් තුළ ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල 59%කින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෛනික ගෝලීය තෙල් සැපයුමෙන් 20%ක් පමණ සිදුවූ හෝමූස් සමුද්‍ර සන්ධිය මැදපෙරදිග යුද ගැටුම් නිසා අවහිර වීම හේතුවෙන් සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග තෙල් නිෂ්පාදකයින් රතු මුහුද හරහා තෙල් ප්‍රවාහනය කිරීමට කටයුතු කළේය.

හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට පහරදීමත් සමග රතු මුහුද හරහා සිදුකෙරෙන තෙල් ප්‍රවාහනයට අවහිරතා මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් ඛනිජ තෙල් ප්‍රවාහනය කරන ලෝකයේ ප්‍රමුඛතම මුහුදු මාර්ග දෙකකට දැඩි බාධා එල්ල වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ලෝක වෙළෙදපොළේ තෙල් මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇති බව පුරෝකතනය කර ඇත.

යුද ගැටුම් අස්සේ රටවල් 23කින් විකෘති වූ නව කොවිඩ් ප්‍රභේදයක් මතුවෙයි

යුද ගැටුම් අස්සේ රටවල් 23කින් විකෘති වූ නව කොවිඩ් ප්‍රභේදයක් මතුවෙයි

අලුතින් හඳුනාගත් සහ බෙහෙවින් විකෘති වූ නව COVID-19 උප ප්‍රභේදයක් වන BA.3.2 හෙවත් ‘සිකාඩා’ (Cicada) ප්‍රභේදය අමෙරිකාව ඇතුළු රටවල් 23කින් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර ඇත්තේ එහි අසාමාන්‍ය විකෘති පැතිකඩ සහ ප්‍රතිශක්තිය අර්ධ වශයෙන් මග හැරීමේ හැකියාව සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන බවයි.

මෑත කාලීන යාවත්කාලීන කිරීම් වලට අනුව, BA.3.2 අවම වශයෙන් රටවල් 23ක සහ එක්සත් ජනපද ප්‍රාන්ත කිහිපයක සාමාන්‍ය නිරීක්ෂණ හරහා හඳුනාගෙන ඇති බව සඳහන් කරයි.

මෙම නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූවන් දැනට අමෙරිකාවේ සාපේක්ෂව අඩු පිරිසක් වාර්තා වී ඇති අතර එය යුරෝපයේ ඇතැම් රට වලින්ද වාර්තා වී ඇති බව සඳහන් කරයි.

මෙම නව කොවිඩ් ප්‍රභේදය පසුගිය 2022 වසරේදී පැතිර ගිය ඔමික්‍රෝන් (Omicron) BA.3 අනු-ප්‍රභේදයෙන් විකෘති වී පැමිණි අලුත්ම ප්‍රභේදයකි.

චීනය, ඉන්දියාව සහ පකිස්තානයට හෝමූස් අවසර

චීනය, ඉන්දියාව සහ පකිස්තානයට හෝමූස් අවසර

මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන් කිරීම නවතා දැමුවද මේ වනවිට ඒ හරහා ගමන් කරන නෞකා සංඛ්‍යාවේ යම් වර්ධනයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

පාකිස්තාන ධජය සහිත නෞකා 20කට මෙම මුහුදු මාර්ගය හරහා ගමන් කිරීමට ඉරානය අවසර ලබාදී ඇති අතර දිනකට නෞකා දෙක බැගින් ගමන් කරයි.

ඉන්දියාවේ ධජය සහිත ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ‘LPG’ රැගත් ඉන්දියානු නෞකා දෙකක් පසුගිය දිනවල මෙම මුහුදු මාර්ගය හරහා ගමන් කර ඇත.

මැලේසියාවේ පෝට් ක්ලැන්ග් බලා යාත්‍රා කරන චීන බහාලුම් නෞකා දෙකක් ඊයේ (30) දින සාර්ථකව මෙම මුහුදු මාර්ගය හරහා ගමන් කර ඇත.

ඉරානය ගල්ෆ් නැව් ගමනාගමනයට ප්‍රහාර එල්ල කර ඇති අතර මේ හේතුවෙන් නැව් සිය ගණනක් සහ නාවිකයින් 20,000ක් ගල්ෆ් මුහුදේ සිරවී ඇත.