Local news

සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය

සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ යෙදුණු ගෞරවනීය භික්ෂූන්වහන්සේගේ සහභාගිත්වයෙන් මෙරටදී ‘Walk for Peace Program in Sri Lanka’ නමින් පැවැත්වීමට නියමිත සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම පිළිබඳ සාකච්ඡාවක් ආචාර්ය පූජ්‍ය මේල්පිටියේ විමලකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම ‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමන වෙනුවෙන් ඇමරිකානු සාම පාගමන සඳහා නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ‌ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ දොළොස් නමක් මේ මස (21) වනදා මෙරටට වැඩම කිරීමට නියමිත අතර අප්‍රේල් (22) වනදා සිට අප්‍රේල් (28) වනදා දක්වා දින හතක් පුරා මහා සංඝරත්නය ප්‍රමුඛ පිරිස මෙම සාම පාගමනෙහි නිරත වනු ඇත.

අප්‍රේල් (21) වන දින ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මෙම සාම පාගමනේ කටයුතු ආරම්භ කෙරෙන අතර අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලබා ගන්නා ශ්‍රී මහා බෝධි අංකුරයක්ද මෙම සාම පාගමනේ වැඩම කරවීමට නියමිතය.

එමෙන්ම, ඓතිහාසික රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව වෙත සාමයේ පණිවිඩය ලබාදීම සිදු කෙරේ.

අප්‍රේල් (22) වනදා උදෑසන සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව නැවත දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන සාම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල් (28) වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතය.

සාම පාගමනේ නිමාව සනිටුහන් කරමින් එහි වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත භාර දීමට නියමිතය.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේද දායකත්වය යටතේ පැවැත්වීමට නියමිත මෙම සාම පාගමනට එක් වන භික්ෂූන්වහන්සේගේ දානය සහ ගිලන්පස සූදානම් කිරීම, සනීපාරක්ෂක කටයුතු මෙන්ම ආරක්ෂාව සැපයීම ඇතුළු සංවිධාන කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අමෙරිකානු නීතිපතිනිය ධුරයෙන් ඉවත් කරයි

අමෙරිකානු නීතිපතිනිය ධුරයෙන් ඉවත් කරයි

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට නීතිපතිනි පෑම් බොන්ඩි (Pam Bondi) වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇත.

මාසයක කාලය තුළ ට්‍රම්ප් පරිපාලනයේ සිදුවූ දෙවන ප්‍රධානතම කැබිනට් මට්ටමේ වෙනස් කිරීම ලෙස මෙය සැලකෙයි.

ජනාධිපති ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුම ඔස්සේ මෙම තීරණය තහවුරු කර ඇති අතර ඇය පෞද්ගලික අංශයේ ඉහළ තනතුරකට යොමුවනු ඇති බවද සඳහන් කර ඇත.

මෙම හදිසි ඉවත් කිරීමට ප්‍රධානතම හේතුව, ලිංගික අපරාධ චෝදනා ලැබ සිටින ප්‍රකට මූල්‍යකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටයින්ට අදාළ රහසිගත ලිපිගොනු සම්බන්ධයෙන් පෑම් බොන්ඩි කටයුතු කළ ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා තුළ ඇති වූ දැඩි අප්‍රසාදයයි.

අනතුරුව එම පුරප්පාඩු වූ නීතිපති ධුරයේ වැඩ බැලීම සඳහා ජනාධිපති ට්‍රම්ප් විසින් නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්ච් (Todd Blanche) පත් කර ඇත.

එමෙන්ම ස්ථිර නීතිපති ධුරය සඳහා වත්මන් පරිසර ආරක්ෂණ ඒජන්සියේ (EPA) ප්‍රධානී ලී සෙල්ඩින් (Lee Zeldin) පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද අමෙරිකානු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විවිධ පුද්ගලයින් ඝාතනය කළ පිල්ලෙයාන්ගේ ආයුධ ගබඩාව

විවිධ පුද්ගලයින් ඝාතනය කළ පිල්ලෙයාන්ගේ ආයුධ ගබඩාව

එකල පැවති දේශපාලන වාතාවරණය මත ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ගිනිඅවි 399ක් ලබාදී තිබෙන බව (02) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය.

ඒ අනුව එකල ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ පාර්ශ්වයට T56 ගිනිඅවි 362ක්, 9mm වර්ගයේ ගිනිඅවි 36ක් සයි මයික්‍රෝ වර්ගයේ එක් ගිනිඅවියක් නිකුත් කර ඇත.

කෙසේ වෙතත් එම ගිනිඅවි සියල්ල නැවත ආරක්ෂක අමාත්‍යාංශයට ලබාදී නොමැති බව, එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.

පිල්ලෙයාන් සෙවනපිටිය ප්‍රදේශයේ වධකාගාරයක් පවත්වාගෙන ගොස් තිබෙන බවත් එම ස්ථානයට සිවිල් පුද්ගලයින්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය සේවකයින්, පොලිස් නිලධාරීන් ගෙනගොස් දරුණු වධහිංසාවට ලක්කිරීම්, කප්පම් ගැනීම් සහ ඝාතනය කිරීම් සිදුකර තිබෙන බවද අනාවරණය වී ඇත.

ඉරානයේ විශාලතම පාලම විනාශ කළ ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ඉරානයේ විශාලතම පාලම විනාශ කළ ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ඉරානයේ කරාජ් (Karaj) හි පිහිටි උසම සහ වැදගත්ම යටිතල පහසුකම් ව්‍යාපෘතියක් වන B1 පාලම ගුවන් ප්‍රහාරයකින් විනාශ කිරීමෙන් අනතුරුව, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.

ඉරාන B1 පාලම කඩා වැටෙන දර්ශන සිය Truth Social ගිණුම ඔස්සේ ප්‍රසිද්ධ කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ,

“ඉරානයේ විශාලතම පාලම බිමට සමතලා විය. එය නැවත කිසිදා භාවිතා කළ නොහැක. තවත් බොහෝ දේ ඉදිරියට සිදුවනු ඇත.”

“ප්‍රබල රටක් ලෙස පැවතීමට නම් ඉතිරි දේත් විනාශ වීමට පෙර, ප්‍රමාද නොවී ගනුදෙනුවකට එළඹීමට දැන් කාලයයි.”

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් මිසයිල සහ ඩ්‍රෝන උපාංග ප්‍රවාහනය කිරීම සඳහා මෙම පාලම ප්‍රධාන සැපයුම් මාර්ගයක් ලෙස භාවිතා කළ බව අමෙරිකානු නිලධාරීන් සඳහන් කරයි.

කොළඹ ප්‍රදේශ රැසක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසක ජල කප්පාදුවක්

මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (03) දිනයේ ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව කලටුවාව සහ ලබුගම ජලාශ වලින් ජලය සපයන පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

පාදුක්ක ප්‍රදේශයට (02) රාත්‍රී 8.00 සිට අද (03) රාත්‍රී 8.00 දක්වා ජල කප්පාදුව මේ වන විට ක්‍රියාත්මක වේ.

හෝමාගම ප්‍රදේශයට අද (03) රාත්‍රී 8.00 සිට හෙට (04) රාත්‍රී 8.00 දක්වා පැය 24ක කාලයකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

පැලැන්වත්ත ප්‍රදේශයට හෙට (04) රාත්‍රී 8.00 සිට (05) වනදා රාත්‍රී 8.00 දක්වා පැය 24ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතව ඇත.

මෙම ජල කප්පාදුව ඉහත ප්‍රදේශ වලට දින තුනකට වරක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

WTI Crude බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 111.54 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 11.41%ක වැඩිවීමකි.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 109 ඉක්මවා ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 114.84 දක්වා ඉහළ ගොස් ඇත.

ප්‍රදේශ රැසකට තද වැසි

ප්‍රදේශ රැසකට තද වැසි

අද (03) දින සවස් කාලයේදී ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල, ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. 

අමානුෂික ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් 9ක් අත්අඩංගුවට

අමානුෂික ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් 9ක් අත්අඩංගුවට

තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් නව දෙනෙකු මට්ටක්කුලිය පොලීසිය විසින් (02) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19ත් 40ත් අතර වයසේ පසුවන මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

පසුගිය (31) රාත්‍රියේදී මට්ටක්කුලිය, ගැමුණුපුර ප්‍රදේශයේදී අදාළ ඝාතනය සිදුකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (03) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

විශාල පිරිසක් ඝාතනය කළ පිල්ලෙයාන්ගේ වධකාගාරය.. සියල්ල හෙළිවෙයි

විශාල පිරිසක් ඝාතනය කළ පිල්ලෙයාන්ගේ වධකාගාරය.. සියල්ල හෙළිවෙයි

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නීතිපති උපදෙස් ලැබෙනතුරු රක්ෂිත බන්ධනාගාර කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය (02) නියෝග කළේය.

එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සඳහන් කළේ,

“ස්වාමිනි, මේ සැකකාර සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සෙවනපිටිය ප්‍රදේශයේ වධකඳවුරක් පවත්වාගෙන ගිහින් තියෙනවා.

එම ස්ථානයට සිවිල් පුද්ගලයින්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය සේවකයින් මෙන්ම පොලිස් නිලධාරීන් වගේ විවිධ පුද්ගලයින් ගෙන ගොස් දරුණු වධහිංසාවට ලක්කිරීම්, කප්පම්ගැනීම් මෙන්ම මරා දැමීම්ද සිදුකර තිබෙනවා.

මේ ප්‍රශ්නගත මහාචාර්යවරයාත් පැහැරගෙන ගොස් රඳවාගෙන ඉඳලා ඝාතනය කරලා පුළුස්සලා තියෙන්නේ මේ ස්ථානයේදීයි. සාක්ෂිකරුවන් දෙදෙනෙක් ප්‍රකාශ ලබාදී තිබෙනවා එම මහාචාර්යවරයා මේ කඳවුරේ රඳවාගෙන ඉදලා පසුව ඝාතනය කළා කියලා.

ඇතැම් ඝාතන වලින් පසු මෘතශරීර එම කඳවුරේම වළදමා ඇති බවටයි දැනට සාක්ෂි අනාවරණය වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් කැඳවපු වාර්තාවක දැක්වෙනවා මේ සැකකරුට මෙවැනි කඳවුරක් පවත්වාගෙන යාමට කිසිදු නෛතික බලයක් ලබාදී නැහැ කියලා.

ඒ වගේම පැවති දේශපාලන වාතාවරණය මත එකල ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම සැකකරුගේ පාර්ශ්වයට නිකුත් කර තිබූ T56 ගිනිඅවි 352ක්, 9mm වර්ගයේ ගිනිඅවි 36ක් සයි මයික්‍රෝ වර්ගයේ එක් ගිනිඅවියක් නැවත ආරක්ෂක අමාත්‍යාංශයට ලබාදී නොමැති බවද එම වාර්තාවේ දැක්වෙනවා.

ඒ අනුව ස්වාමිනි මෙම සැකකරු එරෙහිව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 296 මිනිමැරීම යටතේ චෝදනා ගොනුකරනවා.”

වෛද්‍යවරුන්ගේ තර්ජන වලට බය නෑ.. ඇමති නලින්ද දැඩි තීරණයක

වෛද්‍යවරුන්ගේ තර්ජන වලට බය නෑ.. ඇමති නලින්ද දැඩි තීරණයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කළ වැඩ වර්ජනයට කිසිදු සාධාරණ පදනමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

එය හුදෙක් දේශපාලනිකව රජය අපහසුතාවයට පත් කිරීමේ චේතනාවෙන් සිදු කරන්නක් බවද සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

සීමාවාසික පුහුණුව අවසන් කළ නවක වෛද්‍යවරුන් 453 දෙනෙකුට රජයේ සේවයට එක්වීමට ඇති අවස්ථාව GMOA විසින් අවහිරකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එහෙත් සීමාවාසික වෛද්‍යවරුන්ට රජයේ සේවයට ඇතුළත් වීම සඳහා අයදුම් කිරීමට ලබාදී ඇති කාලය එළැඹෙන සෙනසුරාදා දහවල් 12.00න් අවසන් වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එළැඹෙන සෙනසුරාදා දහවල් 12.00න් පසුව දිනය කිසිසේත්ම දීර්ඝ නොකරන බැවින් කාගෙවත් තර්ජනයට හෝ කාගෙවත් විකෘති සහගත ප්‍රකාශ වලට අහුවෙන්නේ නැතුව ඉල්ලුම් කරන ලෙසද අමාත්‍යවරයා සඳහන් කරයි.

යම් හෙයකින් වෛද්‍යවරුන්ට පත්වීම් ලබා ගැනීමට බාධා කරන හෝ තර්ජනය කරන කණ්ඩායම් සිටී නම්, ඒ පිළිබඳව වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“මේ වැඩ වර්ජනයට කිසිදු පදනමක් නෑ. මොකක්හරි හේතුවක් අල්ලගෙන දේශපාලනිකව ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ වුවමනාව හැර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මේ වැඩ වර්ජනය කරන්න කිසි සාධාරණ හේතුවක් තිබුණේ නැහැ.”

“මේකට කිසිඳු පදනමකුත් නැහැ. මේකෙන් කාටවත් සුගතියක් වෙන්නෙත් නැහැ. සෙනසුරාදා දවල් 12.00 වෙනකොට රජයේ සේවයට ඇතුළත් කිරීම සඳහා යම්කිසි වෛද්‍යවරයෙක් නේවාසික පුහුණුවෙන් පසුව ඉල්ලුම් කරේ නැත්නම්, ඔහුට රජයේ සේවයට ඇතුළත් වෙන්න බැහැ.

දැන් ඒ අය ඉන්න රෝහල්වලින් ඒ අයගේ සේවාව අවසන් වෙනවා. ඊළඟට ඒ අයගේ වැටුප් නතර වෙනවා. එතකොට ඒ අයට සිද්ධවෙන්නේ උපාධිය ලබාගෙන සීමාවාසික පුහුණුව අවසන් කරලා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙච්ච වෛද්‍යවරු හැටියට පුද්ගලික සේවයේ නිරත වෙන්න.

ඉල්ලුම් නොකරපු කිසිම කෙනෙක්ට රාජ්‍ය සේවයට ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට මේ කියන්නේ, ඔබ කිසිවෙකුට බය වෙන්න එපා. 

ඔබට කවුරුහරි කණ්ඩායමක් හැටියට හෝ පුද්ගලයෝ හැටියට රජයේ සේවයට ඇතුලත් කිරීම සඳහා අයදුම් කිරීමට එරෙහිව ඔබව බියගන්වන ආකාරයට යම් තර්ජනයක් කරලා තිබෙනවා නම්, වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ ගැන පැමිණිලි කරන්න.”