Local news

පාකිස්තාන ප්‍රහාරයෙන් 130කට වැඩි පිරිසක් මරුට.!

පාකිස්තාන ප්‍රහාරයෙන් 130කට වැඩි පිරිසක් මරුට.!

තලේබාන් සටන්කරුවන් ඉලක්ක කරමින් පාකිස්තානය එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවෙන් තලේබාන් සටන්කරුවන් 130කට වැඩි පිරිසක් මියගොස් 200කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව පකිස්තානය තහවුරු කරයි.

දේශසීමා ගැටලුවක් හේතුවෙන් ඇෆ්ගනිස්තානය විසින් පාකිස්තානයට එල්ල කළ ප්‍රහාර වලට පළිගැනීමක් ලෙස පාකිස්තානය ඊයේ (26) රාත්‍රියේ මෙම ප්‍රහාර මාලාව එල්ල කළේය.

‘ගසබ් ලිල් හක්’ ලෙසින් නම් කර ඇති මෙම මෙහෙයුම යටතේ පාකිස්තාන ගුවන් හමුදාව කාබුල්හි තලේබාන් හමුදා මූලස්ථානය ඇතුළු ස්ථාන රැසකට බෝම්බ හෙළා ඇත.

ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ ආක්‍රමණයට සිය සන්නද්ධ හමුදා දැඩි ප්‍රතිචාරයක් දක්වන බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් සඳහන් කරයි.

ප්‍රියංකරගේ නඩුවක සාක්ෂි විභාගයට දින නියම කරයි.!

ප්‍රියංකරගේ නඩුවක සාක්ෂි විභාගයට දින නියම කරයි.!

ශ්‍රී ලංකන් කේටරින් සමාගම විසින් එම සමාගමට අයත් රුපියල් තුන් ලක්ෂ විසි දහසක මුදලක් මුදා හැරීම තුළින් රජයට පාඩු සිදු කර දූෂණය නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම නඩුවක් ගොනු කර ඇත. 

ඒ අනුව හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවනු ලැබීය.

අනතුරුව එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුවේ පළමුවන සාක්ෂිකරුට සාක්ෂි දීම සඳහා මාර්තු මස (24) වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

අනතුරුව සාක්ෂි විභාගය මාර්තු (24) වනදා කැඳවීමට දින නියම කෙරුණි.

මර්වින් සහ ප්‍රසන්නට අධිචෝදනා.!

මර්වින් සහ ප්‍රසන්නට අධිචෝදනා.!

රජයේ ඉඩම් අනිසි ලෙස පරිශීලනය කිරීම සඳහා කූට ලේඛන සකස් කිරීමේ චෝදනාව මත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණේය.

ඒ අනුව කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමකට ව්‍යාජ ලේඛන සකස් කළ බවට එල්ල වූ චෝදනා මත මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට ගම්පහ මහාධිකරණයේදී අද (27) අධිචෝදනා භාරදී ඇත.

ගම්පහ අංක දෙක මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න ඉදිරියේ මෙම නඩුව විභාගයට ගෙන තිබුණ අතර එම අවස්ථාවේදී විත්තිකරුවන් සියලු දෙනාටම විදේශගත වීම තහනම් කර, ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර වහාම අධිකරණ භාරයට ගන්නා ලෙස නියෝග කළාය.

අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ අතිරේක ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට විනිසුරුවරිය නියෝග කළාය.

කන බත් පතටවත් සාධාරණයක් කරන්නේ නැති සිංහ පෝතකයින්.!

කන බත් පතටවත් සාධාරණයක් කරන්නේ නැති සිංහ පෝතකයින්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ කාගෙවත් බූදලයක්, කාටවත් සල්ලි හම්බ කරන්න ගොඩනගපු බිස්නස් එකක් නෙමෙයි. එහෙත් දැන් ක්‍රිකට් කරවන මහත්තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් තම අල්ලේ නටවන තත්ත්වය පත්කරගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කරවන මහත්තුරු කරපු දුෂණ අක්‍රමිකතා ගැන රටටම හෙළිකර තිබියදී සහ කෝප් කමිටුවේදී මේ සම්බන්ධව හෙළිදරව් කළද තවමත් ඔවුන් ක්‍රිකට් හරහා බිස්නස් කරමින් සිටියි.

දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ මුලසුන දරන සභාපති ඇතුළු අනෙකුත් තනතුරු දරන සියලුම දෙනා බලය තහවුරු කරගැනීමට ක්‍රීඩා පනත් පවා වෙනස් කළේය. රට ගැන කිසිදු හැගීමක් නැති ඔවුන් මේ වනවිටත් ක්‍රිකට් හරහා බිස්නස් කරමින් සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ රටේ ජනතාවට ආගමක් වගේ. ජනතාවට සතුටු වෙන්න තිබුණ එකම අවස්ථාව තමයි ක්‍රිකට්. මෙතරම් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කළ මහත්තුරු කියන පුද්ගලයින් තවමත් එම තනතුරුවල සිටිය යුතුද.?

එම පුද්ගලයින්ගේ පදේට නටන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් කියන නාමය විනාශ කරමින් රට ගැන නොසිතා තම ආදායම් ගැන පමණක් සිතා ක්‍රීඩා කරමින් රටේ ප්‍රේක්ෂකයින් ඉදිරියේ බොරුවට කිඹුල් කඳුලු හලයි.

ක්‍රීඩකයින්ගේ මෙම රගපෑම සහ රට වෙනුවෙන් ක්‍රීඩා නොකිරීම නිසා වැටෙන්න ඕන උපරිම පහළට ශ්‍රී ලංකා ක්‍රිකට් වැටී අවසන්. එනිසා තවදුරටත් ලංකාවේ ක්‍රිකට් වැටෙන්න නොදී අඩියක් හරි ඉදිරියට ගන්න යම්කිසි තීන්දු තීරණ ගත යුතුයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයිනි, රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම ඔබේ වගකීමක්. ඔබ රටට සෙල්ලම් කරන්නේ අපේ රටේ බත් කාලා. එනිසා කන බත් පතටවත් නිගා නොකර, සල්ලි පස්සේ පන්නන්නේ නැතිව රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න.

ලංකාවේ දක්ෂ ක්‍රිඩකයින් ඉන්නවා ජාතික කණ්ඩායමට සෙල්ලම් කිරීමට බලාපොරොත්තුවෙන්. එනිසා තමන් හරියට ක්‍රීඩා කරන්නේ නැතිනම්, රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න බැරිනම් දක්ෂයින්ට ඒ තැන ලබාදී කණ්ඩායමෙන් ඉවත් වෙලා ගෙදර යන්න.

මේ අතර හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් සඳහන් කළේ, රොෂාන් මහනාම, අරවින්ද ද සිල්වා හෝ ජනාධිපතිවරයෙක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් නිලවරණය සඳහා තරඟ වැදුනහොත් කිසිදු ආකාරයකින් ජයග්‍රහණය කිරීමට හැකියාවක් නොමැති බවයි.

ඒ සඳහා කිසිඳු කෙනෙකුට අඟිලි ගැසිය නොහැකි බවත් එවැනි ස්වාධීන තත්වයක් යටතේ පත් වූ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට කිසිදු ආණ්ඩුවකට හැකියාවක් නොමැති බවද හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් සඳහන් කරයි.

ලෝක රන් මිල ඉහළට.!

ලෝක රන් මිල ඉහළට.!

ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල අද (27) දින ඉහළ ගොස් ඇත.

ඒ අනුව රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5187යි සත 50ක් ලෙස සටහන් වුණි.

රන් අවුන්සයක මිල, පසුගිය සතියේ අමෙරිකානු ඩොලර් 4981යි සත 70ක් ලෙස සටහන් වුණි.

දිවයිනට රැගෙන ආ ‘පොඩි ලැසී’ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට.!

දිවයිනට රැගෙන ආ ‘පොඩි ලැසී’ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට.!

අත්අඩංගුවට ගෙන අද (27) දින අලුයම මෙරටට ගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම, ඝාතන සිද්ධි රැසකට පොලිසියට අවශ්‍යව සිටින ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” නමැති සැකකරු කටුනායක ගුවන්තොටුපලින් පිටතට රැගෙනවිත් ඇත.

මෙම සැකකාර “පොඩි ලැසී” නැමැත්තා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 142 දරන ගුවන් යානයෙන් දිවයිනට රැගෙන ආවේය.

මෙම සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කරයි.

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි.!

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි.!

2025 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ඉංජිනේරු තාක්ෂණවේදය විෂයයේ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ 2026 මාර්තු (06) දින සිට 2026 මාර්තු (15) දින දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විෂය අංක 52 – නර්තනය (දේශීය), විෂය අංක 53 – නර්තනය (භාරත), විෂය අංක 54 – සංගීතය (පෙරදිග) සහ විෂය අංක 55 – සංගීතය (කර්ණාටක) යන විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ 2026 මාර්තු (09) දින සිට 2026 මාර්තු (16) දින දක්වා පැවැත්වීමට නියමිතය.

විෂය අංක 56 – සංගීතය (බටහිර), විෂය අංක 57 – නාට්‍ය හා රංග කලාව (සිංහල), විෂය අංක 58 – නාට්‍ය හා රංග කලාව (දෙමළ) සහ විෂය අංක 59 – නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි) යන විෂයයන් සඳහාද ප්‍රායෝගික පරීක්ෂණ 2026 මාර්තු (09) දින සිට 2026 මාර්තු (16) දින දක්වා පැවැත්වීමට නියමිතය.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අයදුම්පතෙහි සඳහන් ලිපිනයට තැපැල් මඟින් යැවීමට කටයුතු කරනු ඇත.

ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07කට පෙර සිට දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මඟින්ද ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනේ අපිට බනින්න එපා.. දසුන් හඬා වැටෙයි.!

අනේ අපිට බනින්න එපා.. දසුන් හඬා වැටෙයි.!

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්ත පරාජය ගැන නායක දසුන් ශානක සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා ඇත.

නායක දසුන් ශානක සඳහන් කළේ,

“මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ඉවත්වීමට සිදුවීමේ කනගාටුව ඔබත් සමග මම බෙදා ගන්නවා. එංගලන්තයට එරෙහි තරගාවලිය පරාජය වීම ඇතුළුව නායකත්වය මුහුණ දුන් අභියෝග නොතකා කණ්ඩායමක් ලෙස අපි දැවැන්ත විශ්වාසයක්, පැහැදිලි සැලසුම් සහ ඉහළ බලාපොරොත්තු සහිතව මෙම තරගාවලියට පැමිණියා.

ශ්‍රී ලංකාව සමසත්කාරක රටක් නිසා, පසුගිය පරාජයන් ආපසු හරවා මෙවර ලෝක කුසලාන තරගාවලියේ දිගු දුරක් යාමට අපට හැකියාව ඇති බව මම සැබවින්ම විශ්වාස කළා. ඔබ බොහෝ දෙනෙකුට මා කෙරෙහි සහ කණ්ඩායම කෙරෙහි දැනෙන කලකිරීම, වේදනාව සහ කෝපය මට සම්පූර්ණයෙන්ම වැටහෙනවා. 

මම නිහතමානීව ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හෝ ක්‍රිකට් පද්ධතිය තුළ වෙහෙස මහන්සි වී වැඩකරන සහ මෙම උරුමය ඉදිරියට ගෙන යාමට උපරිම උත්සාහය දරන ක්‍රීඩකයින්ව අත්නොහරින ලෙස. මිලියන ගණනකගේ බලාපොරොත්තු සහ සිහින අපේ උරහිස් මත තබාගෙන සිටින දන්නා විට පරාජය කිසි විටකත් පහසු නෑ.

ක්‍රිකට් ක්‍රීඩාවට ලංකාවේ සුවිශාල ආකර්ශනයක් ඇති පසුබිමක විවේචන, සාකච්ඡා සහ සෑම තැනකම බෙදා ගන්නා හැඟීම් මට තේරුම් ගන්න පුළුවන්. කෙසේ නමුත් තත්ත්වය කුමක් වුවත්, මා දන්නා සියල්ල ඉදිරියටත් මම කණ්ඩායම වෙනුවෙන් ලබා දෙනවා. මම සෑම විටම ක්‍රීඩාව ක්‍රීඩා කර ඇත්තේ එක් අරමුණක් ඇතිව. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන්.

ඔබට ලැබිය යුතු ප්‍රතිඵලය අපට ලබා දීමට නොහැකි වීම ගැන මට කනගාටුයි. අප වෙනුවෙන් පෙනී සිටීම ගැන ඔබට ස්තූතියි.”

හිටපු ඇමති චන්ද්‍රානිට දුන් නියෝගය.!

හිටපු ඇමති චන්ද්‍රානිට දුන් නියෝගය.!

හිටපු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාරියට එරෙහිව ගොනුකර ඇති අධි චෝදනා සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මූලික විරෝධතා ඉදිරිපත් කළේය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අදාල නඩුව මාර්තු මස (05) වනදා යළි කැඳවීමට නියම කළේය.

ජනපති අනුර හෙට අනුරාධපුරයට.!

ජනපති අනුර හෙට අනුරාධපුරයට.!

අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට එම ඉඩම්වල පරම අයිතිය ප්‍රදානය කෙරෙන ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (27) ප.ව 2.00ට අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ අවසර පත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට තම ඉඩමෙහි පරම අයිතිය නොමැති වීමෙන් අදාළ භූමිය මානව අවශ්‍යතා හා සංවර්ධන අවශ්‍යතාවන්ට යොදවා ගැනීමේදීත්, එම භූමිය ආර්ථික ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමේදීත් විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇත.

මේ වන විටිත් ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති අවසර පත්‍ර හා දීමනාපත්‍ර වල කොන්දේසි ඉවත් කර එම දීමනාපත්‍ර සඳහා 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනතේ 2 වගන්තියට අනුකූලව නිදහස් ප්‍රදාන පත්‍රයක් ලබා දීමට කටයුතු කරනු ලැබේ. මෙම වැඩසටහන යටතේ ස්වකීය කැමැත්තෙන් රජයට භාරදෙන අවසර පත්‍ර හා දීමනාපත්‍ර සඳහා ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍රය ලබා දීම සිදු කෙරේ.

හෙට (27) දිනයේදි අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර 500ක් ප්‍රතිලාභීන් වෙත බෙදා දීමට නියමිත අතර ඉදිරියේදී මෙම වැඩසටහන දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.