Local news

කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹෙයි

කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹෙයි

රටේ පොදු ප්‍රවාහන සේවාව සුරක්ෂිත කරමින් මගී ජනතාවට විධිමත්, කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ රජයේ තිරසර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යතාර්ථයක් බවට පත්කරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අද (09) නිල වශයෙන් ආරම්භ විය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී මෙහි සමාරම්භය සිදුවිය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ව්‍යපෘති කළමනාකරණ ඒකකයේ සැලසුම්කරණයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා යෝජකත්වයෙන් දුම්රිය කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මෙම ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමත ක්‍රමවේදයන්ට අනුගතව ක්‍රියාත්මක කරයි.

මේ යටතේ මගී ජනතාවට අවශ්‍ය විවිධ සේවාවන් සපයන නව තෙමහල් ගොඩනැගිල්ලත් ඉදි කිරීමට යෝජිතය.

එම සේවා ගොඩනැගිල්ල තුල නවාතැන් පහසුකම්, විවේකාගාර, ප්‍රමිතිගත භෝජනාගාර, සනීපාරක්ෂක පද්ධති, තොරතුරු මධ්‍යස්ථානයක්, ඖෂධහලක්, තැපැල් සේවා මධ්‍යස්ථානයක් ඇතුළු ජනතානවට දෛනිකව අවශ්‍ය සේවාවන් සිදුකරගත හැකි අංගවලින් යුක්ත වේ.

දුම්රිය ස්ථානයේ අභ්‍යන්තරයේ ස්ථාපිතව පවතින ඉපැරණි මගී යකඩ ගුවන් පාලම් පද්ධතිය විදුලි සෝපාන සහ ස්වයංක්‍රීය තරප්පු පෙළ සහිතව නිර්මාණය කරන අතර, සියලුම දුම්රිය වේදිකාවන්ට ප්‍රවේශවිය හැකි පරිදි එම ගුවන් පාලම ඉදිකෙරේ.

එහිදී එම මගී ගුවන් පාලම් එක් අන්තයක් කොම්පඤ්ඤවීදිය සහ ඩී. ආර්. විජේවර්ධන මාවත දෙසටත් අනෙක් අන්තය මරදාන සහ බැස්ටියන් මාවත දෙසටත් ප්‍රවේශ වියහැකි පරිදි සැළසුම් සහගතව ඉදිකෙරෙන අතර මෙම ව්‍යාපෘතියට ඩිජිටල් තාක්ෂණය සහිත e – gate පහසුකම මගී ජනතාව වෙනුවෙන් ලබාදීම ඇතුලත් වේ.

මෙම නව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොදු මගී රථවාහන අංගනයක් ද සැලසුම් කර ඇති අතර, ත්‍රිරෝද රථ, කුළී රථ, පෞද්ගලික වාහන ආරක්ෂිතව නවතා තැබීමට අවශ්‍ය පහසුකම් සහිතව එය ඉදිකෙරේ.

මෙම ව්‍යාපෘතිය මාස 15 ක කාලයක් ඇතුලත නිම කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සදහා වැයවන වියදම රුපියල් මිලියන 2,162කි.

එම පිරිවැය මුදලින් රුපියල් මිලියන 1,500 ක් ආසියානු සංවර්ධන බැංකු ණය වශයෙන් ලබාගන්නා අතර ඉතිරි රුපියල් මිලියන 662 ශ්‍රී ලංකා රජයේ අරමුදල් ලෙස යොදාගෙන ඇත.

සාටකය පොරවගෙන හිටියට හූණු බිකක් තරම්වත් මොළයක් නෑ

සාටකය පොරවගෙන හිටියට හූණු බිකක් තරම්වත් මොළයක් නෑ

හුණ්ඩු වගේ ආණ්ඩු තිබ්බ කිවුවම ඒක තේරුම් ගන්න බැරි බවත් එයට හේතුව සාටකය පොරවගෙන හිටියට හූණු බිකක් තරම්වත් මොළයක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී (08) අදහස් දක්වමින් මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර සඳහන් කළේ,

“දැන් ඒගොල්ලොන්ට හුණ්ඩු වගේ ආණ්ඩු තිබ්බ කිවුවම ඒක තේරුම් ගන්න බෑ. ඒකෙ තිබ්බ පණිවිඩය තේරෙන්නේ නෑ. මොකද හූණු බිකක් තරම්වත් මොළයක් නෑනේ ඔය සාටකය පොරවගෙන හිටියට. එනිසා ඒක තේරෙන්නේ නෑ.”

“අර කෙහෙල් ගෙඩියේ නම ගහලා බෙදපු හාදයා පොතක් ලිවුවා. දැන් ඒ පොත හොයාගන්නත් නෑ. මොකද අර මහ බැංකු හොරු නිදහස් කරන්න, එහෙම හොරකමක් වුණේ නෑ කියලා පොත ලිවුවා. දැන් පොත එයාලම අතුරුදහන් කරලා තියෙනවා.”

හෙට සිට සිංහරාජ දින හයකට වැසෙයි

හෙට සිට සිංහරාජ දින හයකට වැසෙයි

හෙට (10) සිට (15) වෙනිදා දක්වා දින හයක් ලෝක උරුම සිංහරාජය වනාන්තරයේ කුඩව ප්‍රධාන පිවිසුම වසා තැබෙන බව සිංහරාජය වන පාලක කාර්යාලය සඳහන් කරයි.

අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් මෙලෙස දින හයක් සිංහරාජය වනාන්තරය වසා තැබෙන බව සිංහරාජය වන පාලක කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුන ලබන (16) වනදා සිට සුපුරුදු පරිදි සංචාරකයන් සඳහා වනාන්තරයේ ප්‍රධාන පිවිසුම යළි විවෘත කෙරෙන බව සිංහරාජය වන පාලක කාර්යාලය සඳහන් කරයි.

අසාධ්‍ය රනිල් සුවය ලබා දිවයිනට

අසාධ්‍ය රනිල් සුවය ලබා දිවයිනට

ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස්ගතව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (09) දින උදෑසන යළි දිවයිනට පැමිණ ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය මාර්තු (15) වන දින හෘද සැත්කමක් සඳහා සිංගප්පූරුව බලා පිත්ව ගියේය.

අද (09) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොලින් මෙරටට පැමිණි රනිල් වික්‍රමසිංහ මේ වනවිට සිය නිවෙස බලා ගොස් ඇත.

සිංගප්පූරුවේදී ශල්‍යකර්මයක් සිදුකළ රනිල් වික්‍රමසිංහ සති 02ක කාලයක් විවේක ගැනීමට නියමිත බව වාර්තා වේ.

වර්ජනයේ නිරත වෛද්‍යවරුන්ට ඇමතිගෙන් රතු එළියක්

වර්ජනයේ නිරත වෛද්‍යවරුන්ට ඇමතිගෙන් රතු එළියක්

GMOA වෛද්‍යවරුන් විසින් සිදුකරන වැඩවර්ජනය අසාධාරණ බවත් ඒ සඳහා රජය මුහුණ දෙන්න සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මෙම වෛද්‍යවරුන් තවදුරටත් වර්ජනය සිදු කරනවා නම්, ඔවුන් තවදුරටත් මේ විදිහට හැසිරෙනවා නම් ඔවුන් සමඟ සාකච්ඡාව කරන්නේ නැති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගම‌ය සමඟ අද (09) සිදුකිරීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (09) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“දවස් 5ක් වැඩවර්ජනයක් කරලා තියෙනවා. එක පැත්තකින් මැද පෙරදිග අර්බුදයක් පවතින වෙලාවක මෙහෙම වැඩවර්ජනයක් කරන එක කිසිම සාධාරණයක් නෑ.

අනිත් එක මේකට හේතුව කරගෙන තියනේනේ, පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම. ඒ පත්වීම් ලැයිස්තුව සකස් කරන්න GMOA සිටිය යුතුයි කියන ස්ථාවරයේ සිටිමින්, ඔවුන් වැඩවර්ජනය කරනවා.”

“මේ දේශපාලන අරමුණු වෙනුවෙන් කුඩා කල්ලියක් කරන වැඩවර්ජනය තවදුරටත් කරගෙන යන්න එපා කියන ඉල්ලීම මම කරනවා. කොහොමටත් මේ විදිහට නම් හැසිරෙන්නේ අද ලබාදීපු සාකච්ඡාවක් මම කරන්නෑ.

මේ විදිහට නම් හැසිරෙන්නේ, ඒ සාකච්ඡා වැඩක් නෑ. එනිසා ඒ සාකච්ඡා GMOA එකටත් ලබා දෙන්නේ නැත. මේ වැඩවර්ජන අසාධාරණයි. අපි ඒක රජය හැටිය මුහුණ දෙන්න සූදානම්.”

23 හැවිරිදි තරුණියට සිදුවු අවාසනාවන්ත ඉරණම

23 හැවිරිදි තරුණියට සිදුවු අවාසනාවන්ත ඉරණම

අකුණු සැර වැදීමකින් 23 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හඳපානාගල කෙන් හත ප්‍රදේශයේදී මෙම තරුණියට අකුණු සැර වැදී ඇති අතර අකුණු සැර වැදීමෙන් පසු ඇය එම ස්ථානයේ දීම මියගොස් ඇත.

නිවස අසල ඇති හේනේ වැඩ කරමින් සිටි මවට සහ පියාට වර්ෂාව හේතුවෙන් කුඩයක් ලබාදී යළි නිවස වෙත කැඳවාගෙන ඒමට ගිය අවස්තාවේදි මෙම අවාසනාවන්ත සිදුවීමට තරුණිය මුහුණ දී ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ලොක්කෝ 17කට මාරුවීම්

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ලොක්කෝ 17කට මාරුවීම්

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 17 දෙනෙකුට මාරුවීම් ලබාදී ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව අදාළ ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු වලට අනුව මෙම ස්ථාන මාරුවිම් ලබාදී ඇත.

සියලුම පොලිස් නිලධාරීන්ට අවුරුදු තෑගි තහනම් කරයි

සියලුම පොලිස් නිලධාරීන්ට අවුරුදු තෑගි තහනම් කරයි

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බොහෝ පොලිස් ස්ථානවල අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු සිදුකිරීම සඳහා නිලධාරීන්ගෙන් මුදල් එකතු කිරීමට සූදානම් වන බවට සහ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය ලබාගනිමින් අලුත් අවුරුදු සාද පැවැත්වීමට සූදානම් වන බවට ලැබී තිබු තොරතුරු හේතුවෙන් මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇත.

විශේෂයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින්ට සුබ පැතීමේ අංගයක් වශයෙන් පිරිනමනු ලබන හැම්පර්ස්, තෑගි වවුචර් පත් පිරිනැමීම සිදුනොකළ යුතු අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එවැනි දෑ භාරගැනීම ද සිදුනොකළ යුතු බවට පොලිස්පතිවරයා දැනුම් දී ඇත. 

බාහිර පාර්ශ්වයන් හෝ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වයෙන් යුතුව සිය පොලිස් ස්ථානවල සිංහල අලුත් අවුරුදු සාද පැවැත්වීම නොකළ යුතු බවට පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

පොලිස් ස්ථානවල සිදුකරන අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු වෙනුවෙන් එක් පොලිස් නිලධාරියෙකු වෙනුවෙන් රුපියල් 250ක මුදලක් පොලිස් ත්‍යාග අරමුදලෙන් ලබාදීමට අනුමැතිය ලබාදී ඇති බව පොලිස්පතිවරයා සඳහන් කර ඇත.

අදාළ උපදෙස්වලට පටහැනිව කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට අධීක්ෂණ නිලධාරීන් විසින් කටයුතු කළ යුතු බවද පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

ඊශ්‍රායලයට දරුණු ප්‍රහාර එල්ල කරනවා.. ඉරානය අනතුරු අඟවයි

ඊශ්‍රායලයට දරුණු ප්‍රහාර එල්ල කරනවා.. ඉරානය අනතුරු අඟවයි

ලෙබනනය ඉලක්ක කරමින් ඊශ්‍රායලය එල්ල කළ දරුණු ප්‍රහාර මාලාවෙන් පසුව ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා ඇත.

ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් අමෙරිකා – ඉරාන සාම ගිවිසුමක් ඇති කරගැනීමේ සාකච්ඡාද අවධානමකට ලක්වී ඇති බව ඉරානය අනතුරු අඟවා ඇත.

ඊශ්‍රායලය විනාඩි 10ක් වැනි කෙටි කාලයක් තුළ ලෙබනනයේ ඉලක්ක 100ක් වෙත එල්ල කළ දරුණු ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 250ක පමණ පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

වැඩවර්ජන අස්සේ නවක වෛද්‍යවරු 436 දෙනාට පත්වීම්

වැඩවර්ජන අස්සේ නවක වෛද්‍යවරු 436 දෙනාට පත්වීම්

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම් කළ නවක වෛද්‍යවරු 436 දෙනාට ඔවුන්ගේ නව පත්වීම් හා සේවා ස්ථාන ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව මෙම වෛද්‍යවරුන් සියලුදෙනා අද (09) සිට එළැඹෙන (11) වැනිදා දක්වා වූ කාලය තුළ තමන් අනුයුක්ත කර ඇති දිවයින පුරා රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතනය වෙත වාර්ථා කල යුතුව ඇත.

දිවයින පුරා පවතින අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම නවක වෛද්‍යවරු අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.